ශී‍්‍ර ලංකා ජනපති මානව හිමිකම් කොමසාරිස්ට යුද රහස් දෙන්නේ නැතිලූ

ලඟදීම ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරාට ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවට සම්බන්ධ අතිශයින් රහසිගත තොරතුරු ලබාදීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කොට ඇත.

මානව හිමිකම් කොමසාරිස් විසින් දිගුදුර විහිදුම් බලකාය පිළිබඳ විස්තර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව දැනගන්නට ලැබී ඇති අතර, එම කිසිවක් ඔහුට ලබා නොදන බවජනාධිපතිවරයා පැහැදිලිව ප‍්‍රකාශ කොට ඇත. මානව හිමිකම් කොමසාරිස්වරයෙකු රටක රහසිගත බලකායන් පිලිබඳව පළමුවතාවට කරුණු ඉල්ලා සිටි අවස්ථාව මෙම අවස්ථාව බව වාර්තා වේ.

නව පක්‍ෂයේ නායකයා දිනේෂ් ගුණවර්ධන

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගොඩනගන නව පෙරමුණේ නායකයා දිනේෂ් ගුණවර්ධන මහතා බව එම පෙරමුණෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පෙරමුණට මහින්ද රාජපක්‍ෂ මහතාගේ සම්පූර්ණ සහයෝගය ලැබෙන අතර, ඔවුන් ‘නෙළුම් පොහාට්ටුව’ ලකුණෙන් එළැඹෙන සෑම මැතිවරණයකටම මුහුණ දෙනු ඇත. දැනට ආණ්ඩුවේ සිටින ඇමතිවරරු 20කට අධික ප‍්‍රමාණයක් මෙම නව පෙරමුණට සහයෝගය දෙන අතර, ඔවුන් සහයෝගය දෙන ආකාරය පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹ නැත. නව පෙරමුණ යටතේ ඉදිරි පලාත් පාලන මැතිවරණයට තර`ග කරන පලාත් පාලන අපේක්‍ෂකයින්ගේ නම් ලැයිස්තු තෝරා ගැනීම දැනටමත් අවසන් කොට ඇත.

ශ‍්‍රී ලංකාවේ දොස්තරලා ඊශ‍්‍රායල් හමුදා නිලධාරීන් සමග වකුගඩු ජාවාරම් කරලා

ශී‍්‍ර ලංකාවේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඊශ‍්‍රායල් හිටපු හමුදා නිලධාරියෙකු වූ 65 හැවිරිදි එව්ගේට් සැන්ඩ්ලර් නැමැත්තෙකු සමග වකුගඩු බද්ද කිරීමේ ජාවාරමක නියැලී සිටි බව ඊශ‍්‍රායල් අධිකරණ වාර්තාවල සඳහන් වේ.

2012 වසරේ සිට මෙම තැරැව්කරු සමග එක්ව එම නීතිවිරෝධී වකුගඩු ජාවාරම සිදුවී තිබේ. මේ පිබිබඳව ජාත්‍යන්තර පොලීසිය හෙළි කරගෙන ඇති කරුණුවලට අනුව මෙම විශ‍්‍රාමික හමුදා නිලධාරියා 2012 වසරේ ටෙක්සාස්හි 83 හැවිරිදි මෝටර් රථ අලෙවි නියෝජිතයෙකුගේ වකුගඩු බද්දයක් සිදුකිරීමට ඇමරිකන් ඩොලර් එක්ලක්‍ෂ හැත්තෑපන් දහසක්ද, 2014 වසරේ ඩොරීන් නැමැති ඊශ‍්‍රායල් කානාත්වකගේ වකුගඩු සැත්කමක් කිරීම සඳහා ඇමරිකන් ඩොලර් දෙලක්‍ෂයක් ද ලබාගෙන ඇත. මෙම සැත්කම් දෙක ශ‍්‍රී ලංකාවේ සිදුකිරීමට කටයුතු සළසා තිබියදී මෙම ඊශ‍්‍රායල් හමුදා නිලධාරියා එරට පොලීසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරි පත් කොට දඩුවම් ලබා දී ඇත. ශ‍්‍රී ලංකාවේ වකුගඩු සැත්කම් කිරීම සඳහා ඉන්දියාවට අමතරව ඊශ‍්‍රායලය, යුක්රේනය වැනි රටවල්වලින් ද පැමිණ ඇති අතර, ඊශ‍්‍රායල් ජාතිකයින්ට වකුගඩු ලබා දීම සඳහා වැඩි වශයෙන් පැමිණ ඇත්තේ පලස්තීන ජාතිකයින්ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කැඩූ පළාත් පාලන ආයතන සභාපතිවරුන්ට පරීක්‍ෂණ

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් නායක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඇතුලූ වර්තමාන නායකත්වය දැඩි ලෙස විවේචනයට ලක්කළ පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ විපක්‍ෂ නායකවරු දස දෙනෙකුට අධික පිරිසකට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කොට ඇත.

ඒ මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කොට ඇත්තේ ‘ජනාධිපතිතුමාට බැනලා කෑ ගහලා තර්ජනය කරලා කවුරුහරි හිතනවානම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය බය කරන්න පුලූවන් කියලා ඒක හීනයක් විතරයි. පක්‍ෂයක් වුනාම විනයක් තියෙන්න  ඕනේ. විනයක් නැතිව පක්‍ෂයක් තබා මරණාධාර සමිතියක්වත් ගෙනියන්න බැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කරන්න කාටවත් අපි දෙන්නේ නෑ. පක්‍ෂයේ විනය කඩ කරන සියලූ දෙනාට විරුද්ධව පරීක්‍ෂණ පවත්වලා දඩුවම් දෙනවා’ යැයි ප‍්‍රකාශ කොට ඇත.

සහල් පිටි සෑදීමට පෞද්ගලික කොම්පැණියකට වී විකිණීමෙන් වී අලෙවි මණ්ඩලය පාඩු ලබයි

පසුගිය යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 50/-ට මිලදී ගත් වී, රු. 22/- බැගින් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව සහල් පිටි කරන සමාගමකට විකිණීම නිසා වී අලෙවි මණ්ඩලය රුපියල් ලක්‍ෂ 1700කට ආසන්න මුදලක පාඩුවක් ලබා ඇත.

මෙසේ වී මෙට්‍රික් ටොන් 6000ක් විකුණා ඇත. මේ ආකාරයෙන්ම මධ්‍යසාර නිෂ්පාදන සමාගමකට සහ සත්ව ආහාර නිෂ්පාදන සමාගමකට ද ටෙන්ඩර් කැඳවා තමන් මිලට ගත් වී, රු. 35/- බැගින් අඩු මිලට විකුණා ඇත. මේවා මෙසේ විකිණීමට උපදෙස් දී ඇත්තේ ආණ්ඩුවේ ඉහල පෙලේ උපදේශකයෙකු විසිනි.

පසුගිය යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව රුපියල් මිලියන 8000කට වඩා මුදලක් වැය කළේය.

රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ 700ක් හිඟයි

වකුගඩු, පිළිකා, හදවත් යන රෝගවල භාවිතා කරන අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 700කට අධික ප‍්‍රමාණයක් දිවයින පුරා රජයේ රෝහල්වල හි`ගවී ඇත.

එසේම, ඖෂධ ප‍්‍රතිප්තතියයක් රජය සම්මත කළ ද බෙහෙත් මිල 15% සිට 50% දක්වා සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇති බව ඖෂධ වෙළෙඳසැල් හිමියෝ ප‍්‍රකාශ කරති. එසේම, මීට අමතරව රජයේ රෝහල් කටයුතු සඳහා අත්‍යාවශ්‍ය උපකරණ හා මෙවලම් ද හි`ගයක් පවතී. සමහර රෝහල්වල ඖෂධ හා අවශ්‍ය මෙවලම් රෝගීන්ගේ ඥාතීන් ලවා ගෙන්වා ගැනීමට කටයුතු කරති.

මේ සියල්ල එසේ වෙද්දී සෞඛ්‍ය ඇමති කිසිදු බෙහෙත් ද්‍රව්‍යයක් හිඟ නැතැයි ප‍්‍රකාශ කරමින් දේශපාලන වේදිකාවල කරන කථා පිළිබඳව ජනතාව ඉමහත් කළකිරීමෙන් සිටිති.

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් බන්ධනාගාරයට!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු තවත් සිව් දෙනෙකු දින 14 ක් සඳහා රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

අද (30) අපරාධ මූල්‍ය කොට්ඨාශය වෙත ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබූ යෝෂිත රාජපක්ෂ ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලදුව අධිකරණය මෙම නියෝගය දෙනු ලැබීය.

යෝෂිත රාජපක්ෂ සමග හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක, සී.එස්.එන්. නාලිකා ප්‍රධානී රොහාන් වැලිවිට මෙන්ම එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ නිශාන්ත රණතුංගද මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති අතර, සී.එස්.එන්. නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු  ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව පවත්වාගෙන යෑම ඔවුන්ට එරෙහි  චෝදනා බවයි වාර්තා වන්නේ.

සජින් වාස්, නාමල්ට එරෙහිව එෆ්.සී.අයි.ඩී.යට ඔත්තු දෙයි

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ලඟම හිතවතෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයේ සාක්‍සිකරුවෙකුවීමේ කොන්දේසි මත ඇප පිට නිදහස් වී දැන් ඇමති ආරක්‍ෂකයින්ගේ ආරක්‍ෂාව යටතේ සිටී. ඔහු විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂගේ විදේශ ගිණුම් පිළිබඳව එෆ්සීඅයිඩී එකට තොරතුරු සපයා ඇති බව වාර්තා වේ. විශේෂයෙන් සිංගප්පූරුවේ එච්.එස්.බී.සී. බැංකුවේ ඇති නාමල් රාජපක්‍ෂගේගිණුම් පිළිබඳව ඔවුන් මෙසේ ඔත්තු සපයා ඇත.

ජනමාධ්‍යවේදීන්ට සිදුවූ ගැහැට පිළිබඳ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඉල්ලයි

ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේන්ගේ සංගමය විසින් පසුගිය සමයේ ජනමාධ්‍යවේදීන්ට මුහුණ දීමට සිදුවූ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස ආණ්ඩුවට බල කරමින් විශාල ප‍්‍රමාණයේ බැනරයකට රටපුරා අත්සන් ගැනීමට කටයුතු කොට ඇත.

ජනමාධ්‍යවේදිනගේ ඝාතන, අතුරුදහන් කිරීම්, ප‍්‍රහාර මෙන්ම ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව ප‍්‍රහාර, ගිනි තැබීම්, තර්ජන මෙන්ම බලහත්කාරී බලපෑම් යනාදී සකලවිද අපරාධ ගැන සොයා බැලීම සඳහා මෙම කොමිසම පත්කරන ලෙස ඉල්ලා සිටී.

පොලොන්නරුවේ ඉඩම් ටික විදේශිකයෝ හා දේශපාලන පුත්තු ලබා ගනී

පොලොන්නරු දිස්ත‍්‍රික්කයට අයත් වැලිකන්ද මහවැලිතැන්න ප‍්‍රදේශයේ විශාල ඉඩම් ප‍්‍රමාණයක් අපනයන කෘෂිකර්මාන්තය පදනම් කරගෙන දීර්ඝකාලීනව බදු දීමේ ක‍්‍රියාවලියක් සැළසුම් කරමින් තිබේ.

මෙම සැළසුමට අනුව එම ඉඩම් ඉහලම දේශපාලන පුත‍්‍රයෙකු විසින් ලබා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මේ වන විටත් රටපුරා තෝරාගත් ඉඩම් ආයෝජන මණ්ඩලය විසින් විදේශ ආයෝජකයන්ට දීර්ඝ කාලීනව බදු සඳහා විකිණීමට කටයුතු කරගෙන යයි. ඊට අමතරව තවත් විශාල ඉඩම් ප‍්‍රමාණයක් දේශීය ආයෝජකයින්ගේ විවිධ ව්‍යාපෘති සඳහා දිගුකාලීනව බදු දීමේ සැළසුම් සකස් කොට ඇත.