නැගෙනහිර මහ ඇමතිට දැමූ තහංචි ඉවතට

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් සහභාගීවන උත්සව නියෝජනය නොකිරීමට හා ඔහුට ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළත්වීමට අවසර ලබානොදීමට ත්‍රිවිධ හමුදාව විසින් ගෙන තිබූ තීරණය ඉවත් කර තිබේ.

අද සිට ක්‍රියාත්මකවන පරිදි මෙම තීරණය ගත් බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

නොර්වේ විදෙස් රජ්‍ය ලේකම් පැමිණෙයි

නොර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් මහතා තෙදින නිළ සංචාරයක් සදහා අද දිවයිනට පැමිණෙයි.

මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග නොර්වේ විදේශ අමාත්‍යංශ ලේකම්වරයා අද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ටෝර් හැට්‍රම් මහතා මෙරට රැඳී සිටින කාලය තුළ විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, අමාත්‍යවරුන් වන  මලික් සමරවික්‍රම සහ රවුෆ් හකීම් යන මහත්වරුන් සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

ඊට අමතරව ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා සමග ද, නොර්වේ රා‍ජය විදේශ ලේකවරයා සාකච්ඡා කරනු ඇත.

හෙට දිනයේ ඔහු යාපනයේ සංචාරයක නිරත වන අතර එහිදී උතුරු පළාත් ආණ්ඩුකාර රේජිනෝල්ඩ් කුරේ මහතා සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා සමග සාකච්ඡාවල නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

නොර්වේ විදේශ කටයුතු අමාත්යාංශයේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් මහතා 2007, 2010 කාලය තුළ ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය : බුද්ධි අංශ ලිපි ලේඛන CIDයට ලබා දෙන්නැයි, හමුදාපතිට නියෝග

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ පරීක්ෂණ සඳහා හමුදා බුද්ධි අංශ කඳවුරුවල ඇති තොරතුරු හා ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධ්කරණය යුද හමුදාපතිවරයාට අද නියෝග කළේ ය.

ඒ, ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කල කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා මෙම නියෝගය කළේ ය.

මීට පෙරද එම තොරතුරු ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් නියෝග කර තිබුණ ද එයට නිසි ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් ය.

2009 ජනවාරි 8 වන දින අත්තිඩිය මලගලගේ ප්‍රාතමික විද්‍යාලය ඉදිරිපිටදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩිතබා ඝාතනය කෙරිණ.

සංක්‍රමණිකයන් 700 ක් දියේ ගිලී මිය යයි

පසුගිය දින කීපය තුළ ලිබියාවේ වෙරලතීරයට නුදුරින් සිදුවූ මුහුදු යාතා අනතුරු මාලාවකින් 700 කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් මරණයට පත්වූ බව එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය පවසයි.

සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඒජන්සි ආයතනයේ කාර්ලොටා සාමි(Carlotta Sami) පැවසුවේ පසුගිය සතියේ බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඉතාලියට දකුණින් මුහුදේ දී බෝට්ටු ගිලී ගොස් ඇති බවයි.

ඔවුන් මුහුදේ ගමන් කිරීමට නුසුදුසු මට්ටමේ යාත්‍රා වලින් යුරෝපයට ලඟා වීමට උත්සාහ කරද්දී මෙසේ අනතුරට පත්වී තිබේ.

ඉතාලි නාවික හමුදාවේ කැමරාවකට හසුවූ පෙරැළුණු එක් යාත්‍රාවක් සිටි සංක්‍රමණිකයන් ගෙන් 135 දෙනෙකු බේරා ගැනීමට හැකිවූ අතර මළ සිරුරු 45 ක් හමුවී තිබේ.

එම යාතාවේ නියමු ඉතාලි ජාතික ෆ්‍රැන්සිස්කෝ පැවසුවේ සන්සුන්වී සිටින ලෙස යාත්‍රාවේ මගීන් ගෙන් ඉල්ලා සිටි නමුත් ඔවුන් කලබල වීම හේතුවෙන් යාත්‍රාව පෙරලුනු බවයි.

එහෙත් තවත් සියයක පමණ පුද්ගලයන් පිරිසක් සොයාගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සංක්‍රමණිකයන් පිලිබඳ කටයුතු කිරීමේ විශේෂ මුහුදු ආරක්ෂක කණ්ඩායම පවසන්නේ මියගිය සංඛ්‍යාව 900 දක්වා ඉහල යා හැකි බවයි.

රාජිත ඉවත්කරන්නැයි දොස්තර සංගමය ජනපතිට කියයි

සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලයි.

ඇමැති දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යංශයේ කටයුතු වලට දේශපාලනමය වශයෙන් මැදිහත් වන බවත් එය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් කියන සංගමය ඔහුගේ බිරියද ඇමැති නියෝජනය කරමින් අමාත්‍යංශ රැස්වීම් වලට එන බවත් කියති.

අද පැවැති පුවත්පත් සාකච්ඡාවකදී සංගමයේ ලේකම් දොස්තර නලින්ද හේරත් හා මාධ්‍ය ප්‍රකාශක දොස්තර නවීන් ද සොයිසා ඇමැති විවේචනයට ලක් කළහ.

ඇමැතිගේ සමීපතම ඥාතියකු ගංවතුර අනාථයනට අමාත්‍යංශයේ බෙහෙත් අමාත්‍යංශ වාහන වලින් බෙදා දෙන බව දොස්තර නවීන්ද සොයිසා චෝදනා කළේය.

මේ අතර වෛද්‍ය මාරුවීම් පිළිවෙත උල්ලංඝණය කර ඇතැයි පැවසූ සංගමය ලබන 31 වැනිදා වැඩ වැරුමකටද සැරසෙන බවද කීවේය.

 

උතුරේ ජනයාට සාධාරණයක් ඉටුකරනවා

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජීවත් වන දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා තම රජය අඛන්ඩව පියවර ගන්නා බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් පවසයි.

තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යධුරයට යළි ඉදිරිපත්වීම පිළිබද සුබ පැතුම් එක් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේෂ්වරන් මහතා යොමු කළ ලිපියකට ප්‍රතිචාර ලෙස ඇය මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ගත වූ වසර 05ක කාලය තුළද තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතින් තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගත් බව ජයලලිතා ජයරාම් පවසයි.

තමන් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය හමුවීමට බලාපොරොත්තු වන බව ජයලලිතා ජයරාම්ට සුබ පැතුම් එක් කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යොමු කළ ලිපියේ දක්වා තිබුණි.

ඊට ප්‍රතිචාර ලෙස ජයලලිතා ජයරාම් ප්‍රකාශ කර ඇත්තේ දෙදෙනාටම පහසු වේලාවක් මෙම හමුව සඳහා යොදා ගන්නා බවයි.

ඔබාමා ඵෛතිහාසික හිරෝෂිමා සංචාරය අරඹයි

ඇමරිකා ජනපති බැරක් ඔබාමා සිය ජපන් සංචාරයේදී ජී7 සමුළුවට එක්ව සිටින අතරතුර අද (27) හිරෝෂිමාවට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.

ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්වූ හිරෝෂිමා ප්‍රදේශයේ ඇමරිකා එක්සත් ජනපද ජනපතිවරයකු සංචාරය කරන පළමු අවස්ථාව එය ලෙස ඉතිහාසයට එක්වෙයි. ඒ දෙවැනි ලෝක යුද්ධ සමයේ 1945 වසරේ අගෝස්තු 6 වැනිදා  ඇමරිකා හමුදා ගුවනින් හිරෝෂිමාවට පරමාණු බෝම්බ හෙළීමෙන් පසුවයි. එයින් හිරෝෂිමාවේ එක් ලක්ෂ හතළිස් දහසක් පමණ මිය ගිය අතර එහි තනා ඇති යුද ස්මාරකය නැරඹීමටද ඔබාමා යාමට නියමිතය.

මේ අතර එම බෝම්බ ප්‍රහාරයෙන් දුකට පත්වූ හිරෝෂිමා වැසියන් ගේ දුක පිළිබඳ ඔබාමා අවබෝධයක් ලබනු ඇතැයි  හිරෝෂිමා වැසියන් අපේක්ෂා කරන බව එරට පුවත් සේවා කියයි.

ජනපති ඔබාමා කියා සිටියේ පරමාණු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා සමාව නොඉල්ලන බවත් නමුත් දෙවැනි ලෝක යුද්ධයෙන් මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ගෞරව කරන බවත්ය. එසේම ඔබාමා ජපන් මාධ්‍ය හමුවේ පැවසූයේ පැරණි මතක සටහන් මගින් මිත්‍ර රාජ්‍යයන් අතර බැඳීම වඩාත් දැඩිකරගත හැකිවනු ඇති බවයි.

ජනපති මෛත්‍රී ඉන්දුනීසියා ජනපති හමුවෙයි

ජී හත සමුළුවට සහභාගීවීමට ජපානයට ගොස් සිටින ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දුනිසියා ජනාධිපති   අතර  ද්වි පාර්ශ්වික සාකච්ඡා අද (26) පස්වරුවේ ජපානයේ නගෝයා නගරයේදී පැවැත්විණි.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර ප්‍රමාණය වැඩිකර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර ඉන්දුනිසියා  ජාතික ගුවන් සේවය වන ගරුඩා ගුවන් සේවයට අයත් ශ්‍රී ලංකා ගුවන් ගමන් වාර ප්‍රමාණය ඉදිරියේදී ඉහළ නැංවීමට අවධානය යොමු කරන බව ඉන්දුනිසියා  ජනාධිපතිවරයා පැවසීය.

විග්නේෂ්වරන් ජයලලිතාගේ ජය සමරන්න හදයි

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් යළි එම පදවියට පත්වීමේ ජය සැමරීම සම්බන්ධයෙන් උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් උතුරු සභාවට ගෙන ආ යෝජනාව හේතුවෙන් මන්‍ත්‍රීවරුන් අතර උණුසුම් තත්වයක් ඇති විය.

‘ජයලලිතා ජයරාම් තමිල්නාඩුවේ මහ ඇමතිනිය විදිහට හයවන වරටත් දිවුරුම් දුන්නා ඒක අපිට විශාල සතුටක් ඇයට අපේ සුභපැතුම් එක් කරනවා. තමිල්නාඩුවට හා දෙමළ ජනතාවට ඇය කළ සේවය තමයි මේ ජයග්‍රහණයට හේතුව වුනේ ඇගේ ජයග්‍රහණය පිළිබඳව මෙරට දෙමළ ජනතාවත් සතුටට පත් වනවා‘ යැයි විග්නේෂ්වරන් කීවේය.

එම ප්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා විරුද්ධ විය.

‘‘අද මේ සභාවට අමතක වෙලාද පසුගියදා මේ රටට බලපාපු ව්‍යසනයෙන් සිය ගාණක් මැරිලා සිය ගාණක් අතුරුදන් වෙලා ලක්ෂ ගාණක් ජනතාව අනාථ වෙලා ඉන්නව කියලා. එහෙම තියෙද්දි මේ අල්ලපු ගෙදර ඉන්න ජයලලිතගේ ජයග්‍රහණය වෙනුවෙන් සතුටු කඳුලු හළන මේ සභාවත් ශ්‍රී ලාකිකයින් හැටියටත් දුක් වෙන්න ඕන අවස්ථාවක්. විශේෂයෙන්ම උතුරෙත් කිලිනොච්චියේත් විශාල ජනතාවකට මේක බලපෑවා. ඒකට අපි සභා වාරය ආරම්භයේදීම කරන්න ඕන ජයලලිතගේ ජයග්‍රහනය සමරන එක නෙමෙයි. ඒ ව්‍යසනය වෙනුවේ අපි සියලුදෙනා එක්ව උතුරු පළාත් සභාවෙන්ම කනගාටුව ශෝකය ප්‍රකාශ කිරීමයි‘‘ යනුවෙන් ඔහු කීවේය.

පළාත් සභා සභාපති සී.වී.කේ.සිවඥානම් කියා සිටියේ ශෝකය ප්‍රකාශ හා කනගාටුව ප්‍රකාශ කිරීමට තමන් බලා පොරොත්තුවෙන් සිටි බවයි. ‘අපි සභාව ආරම්භයේදීම කරන්න ඕන මළ ගිය අය සිහි කරන එකයි. ඉන්න අය වෙනුවෙන් සතුට පළ කරන එක නෙමෙයි‘ යනුවෙන් ජයතිලක මහතා පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ඇන්ටනී ජෙගනාදන් කියා සිටියේ

‘‘ජයතිලක මන්ත්‍රී වරයාගේ කතාවට මාත් එකගයි පීඩාවට පත් ජනතාවට දේශීයව හා විදේශීයව අධාර පැමිණෙනවා නමුත් අපි උතුරු පළාත් සභාවේ මොකුත් කරලා නැහැ. ඒ නිසා ඒ මන්ත්‍රී වරයාගේ ප්‍රකාශය නිවැරදියි‘‘යනුවෙනි.

එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒකාබද්ධ වෙයි !

ශ්‍රී ලංකාවේ විශාලතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ වීමට, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.
එසේ ඒකාබද්ධ වීමෙන් අනතුරුව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සියලුම සාමාජික සාමාජිකාවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මැති ඇමතිවරුන් හා එජාපයේ යම් යම් කොටස් සමග සිදුකරන කුමන්ත්‍රණය ව්‍යවර්ථ කිරීමේ අරමුණින් මෙම ඒකාබද්ධවීම සිදුවන බව වැඩිදුරටත් වාර්තා වේ.