රට දැන් ජාතික ප්‍රශ්නයේ බරපතළම තැනකට ඇවිත්

අපේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයට සමගාමීව උතුරු පළාත් සභාව පෙඩරල් ක්‍රමයක්‌ පිළිබද යෝජනාවක්‌ සම්මත කර ගැනීම නිසා දේශපාලන ක්‌ෂේත්‍රය තුළ උණුසුම් තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. මෙම යෝජනාවට එජාපයත් ශ්‍රීලනිපයත් දැඩි විරෝධය පළ කිරීමෙන් රට යළිත් ප්‍රශ්නයේ ආරම්භයට ගමන් කර ඇති බව පවසන මහාචාර්ය සුමනසිරි ලියනගේ මෙම අර්බුදය විසදා ගත හැක්‌කේ නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගැනීමෙන් පමණකැයි පවසයි. ජනතාවගේ ප්‍රශ්න විසදාගත හැකි ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගත හැක්‌කේ කෙසේද යන්න පිළිබදව දිවයින ඉරිදා සංග්‍රහය සණස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පිළිබද පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අපේ රටට අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද? පවතින ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමෙන් අද මතු වී ඇති ප්‍රශ්නවලට විසදුම් සොයාගන්න බැරිද?

1977 ව්‍යවස්‌ථාව සම්මත වුණාට පස්‌සෙ එය ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ප්‍රධාන හේතු තුනක්‌ නිසා නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව මතු වුණා. 1977 ව්‍යවස්‌ථාව යටතේ ඇතිකළ විධායක ජනාධිපති ක්‍රමය තුළින් එක්‌ පුද්ගලයකු යටතේ සියලු බලතල සංකේන්ද්‍රනය වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරය කියන කාරණය පළමුවැන්න. දෙවැන්න එයින් හදුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමය. එහි හොද ලක්‌ෂණ තිබුණත් එයින් අතිශයින් වියදම්කාරී ඡන්ද ක්‍රමයකුත් ඡන්දදායකයාට දුරස්‌ථ වූ නියෝජිතයකු පත් වෙනවාය කියන අදහස. තුන්වැනි හේතුව ටිකක්‌ පසුව මතුව ආ තර්කයක්‌. එනම් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යවස්‌ථාව සුදුසු වන්නේ නැතැයි කියන තර්කය. මේ ප්‍රධාන හේතු තුන නිසා පවතින ව්‍යවස්‌ථාවට පැලැස්‌තර දැමීමෙන් මේ ප්‍රශ්න විසදිය නොහැකි බව විශේෂයෙන් 1994 චන්ද්‍රිකා කුමාරතුංග සමයේ මතුව ආ කතිකාවක්‌.

නව ව්‍යවස්‌ථාවක්‌ හදන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට පොදු එකගතාවක්‌ සොයාගන්න බැරිවුණා?

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග බලයට පත්වුණේ පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ බවට පත් කර අලුත් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරන බවට ජනතා ජනවරමක්‌ අරගෙන. නමුත් ඇය එම ජනවරම අනුව ක්‍රියා කළේ නෑ. ඒ වෙනුවට ඇය පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමයක්‌ හරහා ඊට උත්සාහ දැරුවත් ඇය විසින්ම එය අනවශ්‍ය ලෙස දික්‌ගැස්‌සීම හේතු කොට ගෙන එය 2000 වන විට තේරුමක්‌ නැති අභ්‍යාසයක්‌ බවට පත්වුණා. ඊටපසු විශේෂයෙන් එල්ටීටීඊ සටන උග්‍රවීමත් සමග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද කියන ප්‍රශ්නය සිංහල ප්‍රජාව පැත්තෙන් මතු වුණා. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ අවස්‌ථාවේ සිංහල ප්‍රජාව ඊට විරුද්ධ වූ අතර දෙමළ ප්‍රජාවේ දැනුවත් පිරිස්‌ ඊට පක්‌ෂ වුණා. ඊට හේතුව මුළු රටේම ජනතාව පත්කරගන්නා ජනාධිපතිවරයෙක්‌ දෙමළ ජනතාවට මෙන්ම අනෙක්‌ සුඵ පක්‌ෂවලට යම් රැකවරණයක්‌ ලබාදේවි යන මතය දෙමළ බුද්ධිමතුන් තුළ ඇතිවීමයි. නමුත් මහින්ද රාජපක්‌ෂ සමය වන විට ශ්‍රී ලංකාවේ ඒකීය භාවය වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යය කියන මතයක්‌ සිංහල ප්‍රජාව තුළ ඇති වුණා. බලය බෙදීම සම්බන්ධයෙන් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අපේ ව්‍යවස්‌ථාවට ඇතුළත් වීමත් මේ කාලයේ දී සිදුවුණා.

2015 ඡන්දෙන් පස්‌සෙ සිංහල ප්‍රජාව තුළ අලූත් ව්‍යවස්‌ථාවක්‌ පිළිබද කතිකාව යළි පැනනගිද්දී දෙමළ ප්‍රජාව පෙඩරල් ක්‍රමයක්‌ පිළිබද යෝජනාව යළිත් ඉදිරිපත් කොට තිබෙනවා? විග්නේෂ්වරන් මතු කරන යෝජනාව ඊටත් එහා ගිය එකක්‌. ඔහු මතුකරන්නේ උතුරු නැගෙනහිර එක්‌කිරීමෙන් එක්‌ ප්‍රාන්ත රාජ්‍යයකුත් ඉතිsරි පළාත් තවත් ප්‍රාන්ත රාජ්‍යයකුත් ලෙස පාලන ක්‍රමයක්‌ බිහිකළ යුතු බව?

විග්නේෂ්වරන්ගේ යෝජනාව සහ සන්ධීය ක්‍රමය. පෙඩරල් ක්‍රමය කියන්නෙ මධ්‍යම ආණ්‌ඩුව තිබියදීම තිබෙන රාජ්‍ය සමූහයක්‌. විග්නේෂ්වරන් කියන්නේ රාජ්‍ය සමූහයක්‌ ඇතිකර ඒවාට අවශ්‍ය නම් මධ්‍යම ආණ්‌ඩුවකට යා හැකි තත්ත්වයක්‌. එය පෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්‌.

පසුගියදා බලයෙන් හමුදා කදවුරකට ඇතුඵවීම සහ බස්‌රථයකට පහරදීමේ සිද්ධීන් හරහා මේ යෝජනා තවත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කර තිබෙනවා. මේ නිසා ජනවර්ග අතර සංහිදියාව වෙනුවට ප්‍රධාන ජනවර්ග දෙක අතර යළිත් උණුසුම් තත්ත්වයක්‌ නිර්මාණය වී තිබෙනවා නේද?

මේ තත්ත්වය අලුතින් සිතාබැලිය යුතු කරුණු දෙකක්‌ නිර්මාණය කර ඇති බවයි මගේ අදහස. පළමුවැන්න ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් දෙමළ ජාතික ප්‍රශ්නය සහ වෙනත් සුඵ ජනතාවගේ ප්‍රශ්න විසදීමට හැකියාවක්‌ තිබේද යන්න. දෙවැනි කාරණය වර්තමානයේ යෝජිත ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවලින් හදනු ලබන ව්‍යවස්‌ථාවකින් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඉඩක්‌ ලැබේද යන ප්‍රශ්නය.

පවතින ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමෙන් ජාතික ප්‍රශ්නය විසදිය නොහැකි තත්ත්වයට දැන් එය පත්ව ඇති බව මගේ අදහසයි. දැන් ඉදිරිපත් වන යෝජනාවලින් පෙනෙන්නේ සිංහල දෙමළ මුස්‌ලිම් ඇතුඵ සියලු ජනවර්ගවලට එකග විය හැකි ව්‍යවස්‌ථාවක්‌ ඇති කර ගත හැකිද යන ප්‍රශ්නය මතුව ඇති බවයි. විග්නේෂ්වරන් හා ටීඑන්ඒ පක්‌ෂයේ අදහස්‌ මතු වීමත් සමග එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ කණ්‌ඩායම් දෙකම පෙඩරල් හෝ සහසන්ධීය ක්‍රමයකට දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව දැන් මේ ප්‍රශ්නයේ ආරම්භක තැනට නැවතත් ගමන් කරන ස්‌වභාවයක්‌ පෙනෙන්නට තිබෙනවා. එනම් අප මේ ගමන් කරන්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පදනම් කරගත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකටද, පෙඩරල් ක්‍රමයකටද, එසේත් නැත්නම් මේ දෙක අතර කුමන තැනකදී එකගත්වයක්‌ ඇති කර ගත හැකිද කියන අතිශයින් බරපතළ ප්‍රශ්නයකට දැන් මුහුණ දී තිබෙනවා. වර්තමාන සංදර්භය තුළ මේ ප්‍රශ්නයට එකගතාවක්‌ ඇතිකරගන්න අපේ දේශපාලන පක්‌ෂවලට හැකිවේ යෑයි මට නම් පෙනෙන්නෙ නෑ. යම් එකගත්වයක්‌ ඇතිකරගත්තත් දෙමළ ප්‍රජාවේ පහළ මට්‌ටම් තුළ අද ඇතිවී ඇති ප්‍රශ්න දෙස බලන විට, අපට පෙනෙනවා 2015 ජනවාරි 8 වැනිදායින් පසු උතුරු පළාත් සභාව යම් ස්‌වාධීන මට්‌ටමකින් ක්‍රියාත්මක වෙනවා. උතුරු පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය හා හැසිරීම දිහා බැලුවහම දෙමළ ජනතාවට කිසියම් ගර්වයක්‌ තිබුණත් ඔවුන්ට එතරම් ප්‍රතිලාභ ලැබෙන බවක්‌ පෙනෙන්නට නෑ. උතුරු පළාතේ පහළ මට්‌ටමේ ජනකොටස්‌, කුල පීඩනයට හසු වූ ජනකොටස්‌වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උතුරු පළාත් සභාවෙන් සතුටුදායක කාර්යභාරයක්‌ ඉටුවන බවක්‌ පෙනෙන්නට නෑ. මගේ අත්දැකීම් අනුව නම් එය හුදු ප්‍රචාරකවාදී ආයතනයක්‌ විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ. එයින් පෙනෙන්නේ උතුරු පළාතේ මෙන්ම දකුණු පළාතේත් යුද්ධයෙන් පීඩා ලැබූ ජනතාවගේ අදටත් නොවිසඳුණු ප්‍රශ්න දෙස බලන විට ව්‍යවස්‌ථා රාමුවකින් ඔබ්බට යන්නා වූ බරපතළ ගැටලූ ගණනාවක්‌ මේ සමාජයේ තිබෙන බවයි. එම ගැටලු එන්න එන්නම උග්‍රවන බවත් පෙනෙනවා. විශේෂයෙන් නව ලිබරල්වාදී ආර්ථිකයෙන් ඇති කරනු ලබන තෙරපීමත් එක්‌ක සාමයේ ප්‍රතිලාභ සමාජයේ පහළ මට්‌ටමට ලැබෙන බවක්‌ පෙනෙන්නට නෑ. එවන් තත්ත්වයක්‌ තුළ හුදු අලුත් නෛතික රාමුවක්‌ ගොඩගැනීමෙන් පමණක්‌ මේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් සොයන්න පුඵවන්ද කියන ප්‍රශ්නය අද රට හමුවේ තිබෙනවා. ජනවාර්ගික ප්‍රශ්නය පිටුපස එක්‌ ජනකොටසකගේ අනන්‍යතාව පිළිබද ගැටලුව වගේම ඔවුන්ගේ මූලික උවමනාවන් පිළිබද ගැටලුවත් බරපතළ ලෙස මතුව තිබෙනවා.

උදාහරණයක්‌ විදිහට දැන් මේ නිවාස 65000 ව්‍යාපෘතියයි කොළඹ මහආණ්‌ඩුවෙන් කරන ව්‍යාපෘතියකුයි අරගෙන බලමු. ඒවා අතර වෙනසක්‌ නෑ. මා එසේ කියන්නේ උතුරු නැගෙනහිර හදන මේ නිවාස ඒ ප්‍රදේශවලට සුදුසුද? එක නිවාසයක්‌ සදහා මෙපමණ මුදලක්‌ වැය කළ යුතුද? මේවා මේ පළාත්වල ජනයාගේ නිවාස උවමනාවන් සදහා ගැලපෙනවද? මෙය හයිවේ එකක්‌ හැදීමේ ව්‍යාපෘතියක්‌ නෙමෙයි. අපේ රටේ නිවාස හැදීමේ ව්‍යාපෘතියකුත් පිටරට සමාගමකට දිය යුතුද? නිවසක්‌ හැදීමට යන මුදලින් යම් කොටසක්‌ එම නිවාස ලබාදීමට අපේක්‌ෂිත අයට දීලා ඒ අයගේ ශ්‍රමයත් අරගෙන වඩා අඩු වියදමකින් තම තමන්ට ගැලපෙන නිවාස ලබාදීමේ ව්‍යාපෘති පසුගිය ආණ්‌ඩු දෙකේදීම ක්‍රියාත්මක වුණා. අපේ රටේ නිවාස හැදීමේ තාක්‌ෂණය පිටරටින් ගේන්න දෙයක්‌ නෑ. නමුත් මේ නිවාස 65000 ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය තුළින් පෙනෙන්නේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවට පිටින් යම් බලවේගයක්‌ මේ ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක වන බවයි. අපේ රටේ ජනතා ප්‍රශ්න විසදීමට එබඳු බාහිර බලවේග ක්‍රියාත්මක වෙනවා නම් හුදු නෛතික රාමුවකින් ව්‍යවස්‌ථාව වෙනස්‌ කළාට ජනතාවගේ ප්‍රශ්න විසෙද් යෑයි හිතන්න බෑ. මේ විදිහට අපි හදන ව්‍යවස්‌ථාව විධායක ක්‍රමයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට ගියත් පෙඩරල් ක්‍රමයට ගියත් ඒකීය ක්‍රමයෙන් කිසියම් සන්ධීය ක්‍රමයකට ගියත් ඡන්ද ක්‍රමයේ වෙනසක්‌ වුණත් සාමාන්‍ය ජනතාවට බලය පරිහරණය කරන්න ලැබෙන්නේ නෑ. මේ ගෙවල් 65000 හදන්නෙ ජනතාවට නම් එය හැදීමේ බලය පරිහරණය කළ යුත්තේ කවුද? එම තීන්දුව ගත යුත්තේ කැබිනට්‌ටුවද? පළාත් සභාවද? ජනතාවද කියන ප්‍රශ්නය මතුවෙනවා. ජනතාවට එය පරිහරණය කරන්න බැරිනම් ඒ නිවාස ප්‍රශ්නය විසෙ`දයිද? ප්‍රභූ පන්තියට නොව සමාජයේ පහළ පංතිය සැලකිල්ලට ගනිමින් තීරණ ගැනීමේ බලතල කිසියම් ප්‍රමාණයකට ඔවුන්ට හිමිවෙන්නා වූ ව්‍යවස්‌ථා ක්‍රමයකට යා යුතුය කියන අදහස අද ව්‍යවස්‌ථා කතිකාව තුළ කාලයේ වැලිතලාවෙන් වැහිලා. නව ව්‍යවස්‌ථාව කෙසේ විය යුතුද යන්න පිළිබඳ මහජන අදහස්‌ විමසූ කමිටුවත් ක්‍රියාත්මක වුණේ ප්‍රභූ සන්දර්භයක්‌ තුළ බවයි මගේ අදහස. මේ ව්‍යවස්‌ථාවෙනුත් බලය ලබාගැනීමට මහන්සි ගන්නෙ අර ගෙවල් 65000 හදන්න තීරණ ගත්ත උදවියමයි. මේ රටේ ජනතාවගෙ ප්‍රශ්න විස`දන්න නම් අපි නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගන්න ඕන.

ඒක කොහොමද කරන්නෙ?

ඒ සදහා යෝජනා තුනක්‌ මම කරන්න කැමතියි. තීරණ ගැනීමේ බලය එනම් ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ බලය කිසිම විටක මහජනයා විසින් ඔවුන්ගේ නියෝජිතයින්ට නොදිය යුතු බව ප්‍රංශ ජාතික දාර්ශනිකයකු වන රූසෝ ප්‍රකාශ කර තිබෙනවා. මහජනතාව විසින් පත්කරගන්නා කමිටුවකට විධායක සහ අධිකරණ බලය අභ්‍යාස කිරීමේ බලතල ලබාදීම වරදක්‌ නැති වුවත් ව්‍යවස්‌ථා සම්පාදනය කිරීමේ බලය එම කමිටුවලට ලබා නොදිය යුතු බවයි රූසෝ ප්‍රකාශ කළේ. අද සමාජය තුළ එය එසේම කළ හැකිද යන ප්‍රශ්නය මතුවෙනවා. නමුත් ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරගැනීමට සමාජයේ කුඩාම ඒකකවලත් අනුමැතිය අවශ්‍ය බවට නීති පැනවුවොත් එය කරන්න පුඵවන්. අද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා කතානායක අත්සන් කළාම එය ව්‍යවස්‌ථාවක්‌. නමුත් වියයුත්තේ කවුරු කෙසේ සම්මත කළත් සමාජයේ කුඩාම ඒකකවල අනුමැතියත් ඊට අවශ්‍ය බවට තීරණය කළොත් නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගන්න පුඵවන්.

අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය බොහෝදුරට ඊශ්‍රායලයේ පළාත් පිළිබද මතුවූ දේශපාලන කතිකාවට සමානයි. පලස්‌තීන ජනතාවට සහ ඊශ්‍රායල් ජනතාවටයි සන්ධීය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව හැනා ඇරෙන්ඩ් කියන ජර්මන් ජාතික කාන්තාව වරක්‌ ප්‍රකාශ කළා. නමුත් එය සෑදිය යුත්තේ සමාජයේ ඉතාම කුඩා පරිමාණ ඒකකවලින් බවත් ඇය කිව්වා. ඇය කියූ දේ අපට ආදේශ කළොත් ගෙවල් හදන්නෙ කිලිනොච්චියේ නම් එය ක්‍රියාත්මක කළ යුත්තේ කිලිනොච්චියේ ජනතාව එය අනුමත කළොත් විතරයි. අපේ රටේ නිදහස්‌ වෙළෝද කලාපයේ සේවකයො ලක්‌ෂයකට වැඩි පිරිසක්‌ ඉන්නවා. නමුත් ඒ අයට කිසි නියෝජනයක්‌ නෑ. වෘත්තීය සමිතියක්‌ හදාගන්නවත් බලතල නෑ. හැනා ඇරෙන්ඩ් කියන්නෙ ඒ අයට බලපාන ප්‍රශ්න විසදීමට ගන්නා ක්‍රියාමාර්ග තුළ ඒ අයටත් කිසියම් බලයක්‌ තිබිය යුතු බවයි. අපට නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ හදාගැනීම සදහා මගෙ දෙවැනි යෝජනාව හැනා ඇරෙන්ඩ් ප්‍රකාශ කළ ආකාරයේ සමාජයේ කුඩාම ඒකකවලටත් බලය අභ්‍යාස කිරීමට කිසියම් ඉඩක්‌ ලබාදීමයි.

මගෙ තුන්වැනි යෝජනාව පෙරදිග ව්‍යවස්‌ථා අදහසක්‌. එනම් මහත්මා ගාන්ධිගේ ග්‍රාම රාජ්‍ය ක්‍රමය. නිදහස්‌ ඉන්දියාවේ රාජ්‍ය ක්‍රමය ගම මත පදනම් වූ රාජ්‍ය ක්‍රමයක්‌ විය යුතු බව මහත්මා ගාන්ධි යෝජනා කළා. ඒ ක්‍රමය අපටත් ගැලපෙන බවයි මගේ අදහස. මේ යෝජනා ත්‍රිත්වයට අනුව නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කර ගත්තොත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ අගමැති ක්‍රමයේ හෝ පාර්ලිමේන්තු ක්‍රමයේ තිබෙන්නා වූ ප්‍රභූ බලය කිසියම් ප්‍රමාණයකට අඩු කිරීමට වගේම ජාතික ප්‍රශ්නයටත් කිසියම් විසදුමක්‌ ලබාදීමට හැකිවේවි. රට තුළ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයකට වැඩි ඉඩකඩක්‌ ලබාගන්නටත් පුඵවන්.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *