ෆොන්සේකා එජාප සාමාජිකත්වය ගනියි

ෆීල්ඩ් මාෂල්, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා  අද එජාප සාමාජිකත්වය ලබාගෙන තිබේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම කටයුත්ත අද සිදුවූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ඔහු ඇතුළු ඔහුගේ පක්ෂයේ සාමාජිකයින් පිරිසක්  එජාප සාමාජිකත්වය ලබා ගන්නා ලදී.

තමන් එජාපයේ සාමාජිකත්වය ගන්නා බව කැලණියේදී ඊයේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ෆොන්සේකා මහතා පවසා තිබුණි.

අක්ෂි කාච මින්පසු රෝගීන්ට නොමිලේ

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සඳහා භාවිත කරන අක්ෂි කාච, රෝගීන්ට නොමිලේ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බලධාරීන්ට නියෝග කර තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව සෞඛ අමාත්‍යංශය පැවසුවේය.

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා ලක්ෂ 10කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ රැදී සිටින බව සඳහන්ය.

පසුගියදා අක්ෂි රෝග වෛද්‍යවරුන් සමග පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අක්ෂි කාච අලෙවි කිරීම සඳහා විවිධ සමාගම්වල නිලධාරීන් අක්ෂි රෝහල ආසන්නයේ රැඳී සිටින බවයි.

මෙතෙක් අඩු ආදායම්ලාභි පවුල් වල රෝගීන්ට පමණක් විෂන් 2020 වැඩසටහන යටතේ අක්ෂි කාච ලබාදීම සිදුකළ අතර අනෙකුත් රෝගීන්ට පෞද්ගලික අංශයෙන් අක්ෂි කාච මිලදී ගෙන ශල්‍යකර්ම සිදුකිරීමට සිදුව තිබුණි.

කෙසේවෙතත් වෛද්‍ය සැපයුම් අංශය හරහා සියළුම රෝගීන්ට නොමිලේ අක්ෂි කාච ලබාදීමට පියවර ගැනීම තුළින් නිදහස් සෞඛ්‍ය සේවාව ගුණාත්මකව ක්‍රියාත්මක වන ආකාරය පෙන්නුම් කෙරෙන බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සියදිවි නසා ගැනීමට තැත්කළ තෙවරප්පෙරුම රෝහලේ

මතුගම, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් 10 දෙනෙකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් දින කිහිපයක සිට උපවාසයක නිරතව සිටින නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද දහවල් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබේ.

මේ හේතුවෙන් ඔහු කළුත‍ර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව අප වාර්තාකරු කියයි.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලය තුළදී ඔහු ගෙල වැලලාගෙන එසේ සියදිවි නසා ගැනීමට තැත්කර තිබේ.

පසුගිය 27 වැනිදා සිට මේ දක්වා දින 4ක පමණ කාලයක් ඔහු කිසිදු ආහාරයක් නොමැතිව කුසගින්නේ සිටි බවද අප වාර්තාකරු කීවේය.

සිසුන් 10 දෙනෙකු මතුගම, මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීමට විරෝධය පළ කරමින් පසුගිය 27 වැනිදා උදෑසන සිට මතුගම කලාප කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්විය.

ඊට එම  ළමුන්ගේ මව්පියන්ද පැමිණ සිටියේ දරුවන් ද සමගිනි.

විරෝධතාවයේ නිරත සිසුන්ගේ මව්පියන් කියා සිටියේ මතුගම කලාප කාර්යාලයෙන් මෙම සිසුන් පාසලට ඇතුළත් කරගන්නා ලෙස විදුහල්පතිවරයාට ලිපියක් යොමු කර ඇතත් ඔහු එය නොතකා කටයුතු කරමින් සිටින බවකි.

අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල ඉහළ ගිහින් බදු නිසා ජන ජීවිතයට බලපෑම් ඇති වෙලා බදු සංශෝධනයට ඉක්‌මනින් පියවර ගන්නවා ජනපති කියයි

බදු පැනවීම නිසා සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන භාණ්‌ඩ මිල ඉහළ යැම හේතුවෙන් දෛනික ජීවිතයට බලපෑම් එල්ල වී ඇති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (29 වැනිදා) පෙරවරුවේ ගිරාඳුරුකෝට්‌ටේ මහවැලි ක්‍රීඩාංගණයේ පැවැති වකුගඩු රෝග නිවාරණය පිළිබඳ බදුල්ල දිස්‌ත්‍රික්‌ ජාතික වැඩසටහනට එක්‌වෙමිනි.මේ සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟද තමා සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා ආර්ථික විශේෂඥයන් සහ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර පොදු මහජනතාවගේ ආර්ථිකයට බලපා ඇති තත්ත්වයට සහන සැලසීම සඳහා යම් යම් සංශෝධන කිරීමට පැහැදිලි තීන්දුවක්‌ ගන්නා බවද සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ගේ තීරු බදු සහන වාහන බලපත්‍රය ප්‍රමාණවත් නොවන බවත් ඔවුනට අහිමිවූ එම වරප්‍රසාදය නැවත ලබාදීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පොරොන්දු විය.

මෙහිදී බදුල්ල දිස්‌ත්‍රික්‌ වකුගඩු රෝග නිවාරණ ජංගම සායන පිළිබඳ වාර්තාව බදුල්ල දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

වකුගඩු රෝගයෙන් දෙමාපියන් අහිමිවූ උසස්‌ පෙළ හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකු වෙත සංකේතාත්මකව ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

මෙම අවස්‌ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ඌව පළාත් ආණ්‌ඩුකාර එම්. පී. ජයසිංහ, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ යන මහත්වරුන් සහ ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්‍ෂ අසේල ඉද්දවෙල, බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් නිමල් අබේසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක්‌ද එක්‌ව සිටියහ.

ඇමති සාගල, සාලාවේ

කොස්ගම, සාලාව යුධ හමුදා කදවුර අනතුරට පත්වීමෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට ක්‍රියාත්මකකර ඇති වැඩසටහනෙහි ප්‍රගති සමාලෝචන රැස්වීමක් අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඉන් අනතුරුව සාගල රත්නායක මහතා කොස්ගම, සාලාව ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත විය. ඒ, විපතට පත්වූ ජනතාවට සලසා ඇති සහන කටයුතු නිරීක්ෂණය කිරීමටයි.
මෙහිදී අමාත්‍යතුමන් කොස්ගම රණවිරු ගම්මානයේ මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙමින් පවතින මහජනතාවගේ නිවාස කිහිපයක්ද නිරීක්ෂණය කරනු ලැබීය.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ගීතාංජන ගුණවර්ධන යන මහත්වරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් පිරිසක්ද සහභාගී වූහ. එමෙන්ම මෙම අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුලු හමුදා කදවුරේ සිදුවීමෙන් විපතට පත්වූ පවුල්වල සාමාජිකයින්ද සහභාගිවී සිටියහ.

ජීඑස්පී සහනය ඉල්ලා නිල අයැදුම බාරදෙයි

දැනට අත්හිටුවා තිබෙන ජී.එස්.පී. ප්ලස් සහනය (වරණීය තීරුබදු) යළි ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රජයේ නිල අයදුම්පත ඊයේ (28) බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගම් මූලස්ථානයට බාරදීමට නියමිතව තිබුණු බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අපනයනවලින් 25% – 30% අතර ප්‍රමාණයක් මිලදී ගනු ලබනුයේ යුරෝපා සංගමයේ රටවල් මඟිනි.

එම ප්‍රමාණයෙන් සියයට 40ක් මිලදී ගන්නේ මහා බ්‍රිතාන්‍යයයි. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම නිසා අපට ඇතිවන ආර්ථික පීඩනය මඟහරවා ගැනීමට ඔවුන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ක්‍රියාකරන බව නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

යුරෝපයෙන් අහිමි වන ආර්ථික අවස්ථා, ආසියාවෙන් දිනාගැනීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාව හා ආසියාව අතර වැඩිදියුණු කළ යුතු ආර්ථික සම්බන්ධතා පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු එසේ කීය.

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කළ ජනමත විමැසුම නිමාවුණා. අපේ අපනයන ආදායමෙන් විශාල මුදලක් විශාල අපනයන ප්‍රමාණයක් යැවෙන කලාපයක තමයි මේ වෙනස සිදුවුණේ. ඒ වෙනසත් සමඟ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ටර්ලින් පවුම විශාල ලෙස අවප්‍රමාණයවීම සිදුවුණා.

මේ නිසා අපිට අපේ අපනයන ආදායම් අඩුවීමට හේතුවෙනවා. අපේ අපනයනවලට පවතින ඉල්ලුම අඩුවෙන්න පුළුවන්. ඒ ස්ටර්ලින් පවුම අවප්‍රමාණ වීමේ අර්බුදය නිසා. ඒ නිසා අපි මේ අභියෝගයෙන් මිදෙන්න වහාම යුරෝපා සංගමයට අමතරව මහා බ්‍රිතාන්‍යය සමඟ නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීමට ක්‍රියා කරමින් ඉන්නේ.

අපි වහාම මේ ගැන කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කළා.

ශ්‍රී ලංකාවට ස්ටර්ලින් පවුම්වලින් සිදුකරන ගනුදෙනුවලදී ඇතිවන අහිතකර බලපෑමෙන් මිදෙන්න අපි ආසියාව සමඟ වැඩියෙන් එක්වෙන්න ඕනෑ. අපිට ඉන්දියාව සමඟ නව ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට එළැඹීමට මෙය විශාල අවස්ථාවක් වෙනවා. අපි ඉන්දියාව, පාකිස්තානය, චීනය, ඒ වාගේම අනිත් රටවල් සමඟත් නව ගිවිසුම්වලට යා යුතුයි.

ඒ සඳහා විශාල උනන්දුවකින් රජය ඉදිරියේදී කටයුතු කරනවා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මේ සඳහා අවශ්‍ය මඟපෙන්වීම්, උපදෙස් අදාළ අංශ වෙත ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මේ ආර්ථික අභියෝගය ගැන විශේෂ විශ්ලේෂණයක් කර වාර්තාවක් පවා රජයට ඉදිරිපත් කළා. ඒ වාර්තාවට අනුව ඉදිරියේදී මෙරටට එන බ්‍රිතාන්‍ය සංචාරකයින්ගේ අඩුවීමක් ඔවුන්ගේ අපේ රටේ නිෂ්පාදනවලට ඇති ඉල්ලුම පහත වැටීම, විදේශ ණය ලබාගැනීමේදී අපට තරමක අවාසිදායක අවස්ථා සිදුවෙන්න පුළුවන්. මින් මිදෙන්න අපි වැඩි වේගයකින් ආසියානු රටවල වෙළෙඳ ‍ෙපාළට එක්වෙන්න ඕනෑ. නව දේශීය නිෂ්පාදන, කර්මාන්ත ඇතිවීම ඒකාබද්ධ ආයෝජන ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ශ්‍රී ලංකාවට ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානය ලෙස දියුණු වෙන්න පුළුවන්කම දැන් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය අපි ජය ගන්න ඕනෑ. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරනවා යැයි නියෝජ්‍ය ඇමැතිවරයා කීය.

පැරිස් ළමා දූෂකයා 16 වසරක් හිරේ

ශ්‍රී ලංකාවේ බාල වයස්කාර දරුවන් 19 දෙනෙකු ඇතුළු බාල වයස්කරුවන් 66 දෙනෙකු අපයෝජනය කළ ප්‍රංශ ජාතික ටෙරී ඩරන්ටියේ (52) ට එරට ඉහළ අධිකරණය අවුරුදු 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

පැරිසියට නුදුරින් පිහිටි වර්සයිල් අධිකරණය ජූනි 22 වැනි දා ඉහත දඬුවම ප්‍රකාශයට පත් කළ අතර දඬුවම් ලාභී ප්‍රංශ ජාතික ටෙරී ඩරන්ටියේ පැරිසියට නුදුරින් ඉව්ලන් නගරයේ පිහිටි විශ්‍රාමිකයන්ගේ මහලු නිවසක කළමණාකරුවෙකු ලෙස සේවය කොට ඇත. ඔහුගේ අපචාරයට ලක් වූ දරුවන් 66 දෙනා අතර වයස අවුරුදු 6 – 17 ත් අතර ටියුසීනියා ජාතික දරුවෝ 41 දෙනෙක් ද වයස අවුරුදු 12 – 17 අතර ශ්‍රීලාංකික දරුවෝ 19 දෙනෙක් ද ඊජිප්තු දරුවෝ 6 දෙනෙක් ද වෙති.

2004 සුනාමි අනතුරෙන් පසු රාජ්‍ය නොවන සංවිධාන ඔස්සේ ලංකාවට පැමිණ ඇති මොහු එතැන් සිට වසර 10 ක් ඉහත අපචාර ක්‍රියාවන්ට සම්බන්ධ වී ඇතැයි නඩුවේ දී කියැවිණි. 2011 දී ඇමෙරිකා ෆෙඩරල් පරීක්ෂණ කාර්යයාලය (එෆ්.බී.අයි.) විසින් අන්තර්ජාලයෙන් සොයා ගත් තොරතුරු මත මොහු ගැන ප්‍රංශයට දැන්වීමෙන් පසු 2012 දී ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට කැඳවනු ලැබීය. නඩු භාණ්ඩ අතර ඔහුගේ පරිගණක දත්ත ගබඩාවෙන් සොයා ගත් දරුවන්ගේ ඡායාරූප, වීඩියෝ පට අධිකරණයට ඉදිරිපත් කැරිණි.

විගණකාධිපති අද කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්aධයෙන් කරුණු විමසීම සඳහා විගණකාධිපති ගාමිණී විඡේසිංහ මහතා අද (29 වැනිදා) පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) කැඳවා ඇත. මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා යළි එම ධුරයට පත් කිරීමට නියමිතව ඇත්තේ ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කෝප් කමිටු නිර්දේශ අනුව යෑයි දැනගන්නට තිබේ.

මෙම සිද්ධියට අදාළව කෝප් කමිටු සාමාජිකයන්ට බලපෑම් එල්ල වන්නේ නම් තමන් ධුරයෙන් ඉවත් වන බව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

හයිබ්රිඩ් අධිකරණයක් අත්යවශ්යයි’ මානව හිමිකම් කොමසාරිස් කියයි

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් සමන්විත යාන්ත්‍රණයක්‌ (හයිබ්‍රිඩ්) අත්‍යවශ්‍ය බව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතා විසින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ වාචික වාර්තාව ඊයේ (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර ඊට පෙර එම වාර්තාවට ඊළාම් ඩයස්‌පෝරාවට ලැබී තිබේ.

මෙම වාචික වාර්තාව ප්‍රකාශයට පත්වීමට පෙර ද්‍රවිඩ සන්ධානය උතුරේ සිවිල් සංවිධාන හා දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන හයක්‌ සහ ජාත්‍යන්තර විනිසුරුවන් 6 ක්‌ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්‌වරයාගෙන් ඉල්ලා තිබුණි.

එසේම මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාචික වාර්තාවේ මෙලෙස සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ක්‍රියාදාමය සඳහා මානව හිමිකම් චෝදනා යුක්‌තිය පසඳලීම සහ වගවීම යන කරුණු සම්බන්ධ නොකළ යුතුයි. වන්නි මෙහෙයුම සඳහා පොකුරු බෝම්බ යොදා ගැනීමට අදාළ නව සාක්‍ෂි මතුවී ඇත. මේ ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි. විපතට පත් වූවන් වෙනුවෙන් සාධාරණත්වයක්‌ ලබාදීමට නම් හයිබ්‍රිඩ් විමර්ශනයට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ අවශ්‍ය වේ.

මානව හිමිකම් කවුන්සිලය විසින් යුද අපරාධ සම්බන්ධව තොරතුරු සොයාගත් බව සිහිපත් කළ යුතුයි. උතුරේ හමුදාව බරපතළ ලෙස රැඳී සිටිම ද බරපතළ ප්‍රශ්නයකි.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා සිය වාචික වාර්තාවෙන් ශ්‍රී ලංකා හමුදාව උතුරේ ගොවිපළවල් හා සංචාරක කටයුතු පවත්වාගෙන යැම ගැන ද චෝදනා නඟා ඇත.

එසේම ශ්‍රී ලංකාවේ හමුදාව වෙනත් රටවල සේවයට යෑවීමට පෙර ඔවුන් ගැන නිරීක්‍ෂණයක්‌ කළ යුතු යෑයිද හෙතෙම සඳහන් කර තිබේ.

මේ හැර හමුදාව විසින් උතුරේ අත්පත්a කරගෙන ඇති ඉඩම් මුදා හැරීමට කඩිනම් ලෙස ක්‍රියා කර නැතැයි ද මානව හිමිකම් කොමසාරිස්‌ කියා සිටී.

බැඳුම්කර කරුණට කෝප් බෙදීමක්?

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරිමේ කරුණ පදනම් කර ගනිමින් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) සාමාජිකයින් අතර බෙදීමක් තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව චෝදනා කරන ක්‍රමවේදය මුල්කර ගනිමින් කෝප් කමිටුවේ මෙම බෙදීම හට ගෙන තිබේ. ‍ කෝප් කමිටුවේ මෙම අර්බුදය හමුවේ පැහැදිලිවම එහි මේ වනවිට ස්ථාවර දෙකක කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වන අතර තවත් කණ්ඩායමක් අදාළ ක්‍රියාමාර්ගයේදි මධ්‍යස්ථ පිළවෙතක් අනුගමනය කිරීමටද සුදානම්ව සිටියි.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ‍කෝප් කමිටුවේ ‍කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පවා උග්‍ර අර්බුදයක් බවට පත්ව ඇතැයිද වාර්තා වේ.

වත්මන් කෝප් කමිටුවේ මුළු සාමාජික සංඛ්‍යාව සභාපති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා සමග 26 දෙනෙකි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු 12 දෙනකු සිටින අතර එයට අමතරව දෙමළ ජාතික සන්ධානය හා ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රිවරු ‍දසදෙනෙකි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු හතර දෙනෙකු කෝප් කමිටුව නියෝජනය කරති.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිවරු මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නැතැයිද වාර්තා වේ.