නිලධාරියාගෙන් පළිගැනීමට දුන් යුද්ධාධිකරණ තීන්දුව ජනපති බලරහිත කරයි

ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරම හා කප්පම් ගැනීමට දෙමළ තරුණයන් පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනා එල්ල වී ඇති ‍‍‍ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් කීපදෙනකුට එරෙහිව පැවැත්වෙන පරීක්ෂණයක ප්‍රධාන සාක්ෂිකරුවකු වන ලුතිනන් කමාන්ඩර් කේ.සී. වෙලගෙදරට එරෙහි යුද්ධාධිකරණය දුන් නඩු තීන්දුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බලරහිත කර තිබේ.

එය ඔහුගෙන් පලිගැනීමට දුන් තීන්දුවක් සේ සලකා මෙම පියවර ගෙන ඇත.

නොදන්වා දින දාහතක් සේවයට වාර්තා නොකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නිලධාරියාට එරෙහිව නාවික හමුදාව විසින් යුද්ධාධිකරණයට පමුණුවා තිබුණි. එහිදී ඔහුට එරෙහිව තිබූ චෝදනාවලට වැරදිකරු කරමින් ඔහුගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අතීතයට බලපාන පරිදි සිවු වසරකට අත්හිටුවා තිබුණි.

යුද්ධාධිකරණයේ මෙම තීන්දුවට එරෙහිව ලුතිනන් කමාන්ඩර් වෙලගෙදර ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ අතර ඉන් ඔහු පවසා තිබුණේ යුද්ධාධිකරණය මූලික නීති උල්ලංඝනය කර තමාගෙන් පලිගැනීමට ඉතා අසාධාරණ ලෙස නඩුව පවත්වාගෙන ගිය බවය. මේ සිද්ධිය පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය අනාවරණය කර තිබුණි.

ඔහුගේ අභියාචනාව සැලකිල්ලට ගත් ජනපතිවරයා යහපාලනය තුළ නීතියේ අපක්ෂපාතීත්වය ඉටුවිය යුතු බව සඳහන් කරමින් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරගේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය පහළ නොදමන ලෙස නාවික හමුදාවට නියෝග කර තිබේ.

ඒ අනුව එම නිලධාරියා සේවයට වාර්තා නොකළ දිනවල ඔහුගේ වැටුප් කැපීමට පමණක් තීන්දු කර ඇති බව සඳහන්ය.

-ලක්බිම

උතුරේ ඉඩම්-නිවාස ගැටළු විසඳන්න සමථ මණ්ඩලයක්

යුද ගැටුම් සමයේ වෙනත් පුද්ගලයින් විසින් බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් අත්පත් කරගෙන ඇති ඉඩම් ඒවායේ හිමිකරුවන් වෙත ලබාදීමේ නීති මේ වන විට සම්පාදනය කර ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

උතුරු නැගෙනහිර නොවිසඳුණු ඉඩම් හා නිවාස ගැටළු විසඳීම සඳහා සමථ මණ්ඩලයක් ස්ථාපිත කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

එහි සමාරම්භක අවස්ථාවට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්නේ රට දෙකඩ කරන්න නෙමෙ

උතුරු පළාත තුළ සිංහල හා මුස්ලිම් ජනතාව පදිංචි කරවීම පිළිබද එම පළාතේ සියලු දෙනාම පාහේ විරෝධය පළ කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

කැනේඩියානු විදේශ අමාත්‍ය ස්ටෙෆන් ඩියෝන් මහතා සමග ඊයේ(29) පැවති සාකච්ඡාවේදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

උතුරු පළාත් සභාව, දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ජනතාව මෙම විරෝධතාව දක්වන්නේ කිසිඳු සිංහල හෝ මුස්ලිම් ජාතියෙකු සම්බන්ධයෙන් දක්වන වෛරයක් හෝ ක්‍රෝධයක් හේතුවෙන් නොවන බව සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.

රජය බලහත්කාරයෙන් එම වැසියන් උතුරේ පදිංචි කොට නව ජනාවාස ඇතිකරන විට ඒ හරහා අනවශ්‍ය ගැටළු නිර්මාණය වීම මෙම විරෝධයට හේතු වී ඇති බව ප්‍රධාන අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු නැගෙනහිර පළාත් දෙක එක් කර ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරෙන ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ රට දෙකඩ කිරීමට නොව දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බව ද සී.වී. විග්නේෂ්වරන් මහතා කැනේඩියානු විදේශ අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

සමාර්ට් මීටර් කඩිනමින්

විදුලි බිල්පත් වෙනුවට Smart meter ක්‍රමය හඳුන්වා දෙන බවත් මේ හේතුවෙන් විදුලි බිල්පත් නිලධාරීන්ගේ තනතුර හා සංගමයේ නාමය විදුලි පාරිබෝගික සම්බන්ධීකාරක යන නමින් හදුන්වා දීමට නියමිත බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ විදුලි බිල්පත් නිලධාරීන්ගේ 24වන සංවත්සරයට සමගාමීව අද(29) පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

මේ යටතේ සැමට ඉහළම විදුලියක් ලබා දීමේ අරමුණ ඇතිව සියලුම පාරිබෝගිකයින්ට ඉතාමත් කෙටි කාලයක් තුළ මෙම ක්‍රමවේදය හඳුන්වාදීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

-ikman.news

‘ඉරණමඩු වතුර උතුරට නෑ: දකුණේ වතුර උතුරට උතුරන්න දෙනවා’

‘උතුරේ වෙනම රටක් තිබුණා නම් ඒ රටේ ජලය නැති බව උතුරේ මහ ඇමැති ඇතුළු වෙනම රටක් ඉල්ලා සටන් පාඨ මුමුණන දේශපාලනඥයින් අවබෝධ කරගත යුතු යැයි’  මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

යාපනයේ තිබෙන්නේ පැරණි ආඬි ළිං පමණක් බව කී ඇමැති ඉරණමඩු වැවෙන් යාපනයට ජලය දෙනවාට වන්නියේ ජනතාව විරුද්ධ වුවත් මොරගහකන්ද ව්‍යාපෘතියෙන් එම පළාතට ජලය දෙනවාට දකුණේ සිංහල ජනතාව විරුද්ධ නොවූ බව සඳහන් කළේය.

ඉරණමඩුවට ජලය ගෙනයන වැඩපිළිවෙලක් පළමුවෙන් ආරම්භ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ බව ද ඔහු කීවේය.

ඉදිරියේදී යාපනයට ඉහළ සංවර්ධනයක් අත්කර දීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා එම කටයුතුවලදී සියලූ දෙනා එකතු වී ඉදිරියට යා යුතු බව ද කියා සිටියේය.

දෙමටගොඩ, මිහිඳු සෙන්පුර නිවාස සංකීර්ණ භූමියේ පැවති වැඩසටහනකට  සහභාගී වෙමිනි.

-ලංකාදීප

ටීඑන්ඒ හිටපු මන්ත්‍රී රිමාන්ඩ්

පසුගිය රජය සමයේ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලබා දුන් වාහනය අවභාවිතා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන්  දෙමළ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  පොඩිඅප්පු පියසේන අගොස්තු 02 වැනි දා දක්වා රිමාන්ඩ්  කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය‍.

බෝම්බ අදින්න උදව් කළ කොටියා හිරේ

අපරාධයක් සඳහා පුපුරණ ද්‍රව්‍ය රැගෙන යාමට කොටි සාමාජිකයකුට  උදව් කළ කොටි ආධාරකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය බරපතල වැඩ සහිතව තුන් මාසයක සිරදඩුවම් නියම කළාය.

නෝනි නන්ද කුමාර්ට එම දඩුවම නියම විය. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශයේ සේවකයකු වු ඔහු  පසුගිය රජය සමයේ පුපුරණ ද්‍රව්‍ය ගෝනි දෙකක් වත්තලට  රැගෙන යාමට  උදව් කළැයි නඩුවේ දී  කියැවිණි.

මොරගහකන්ද අයිතිය උතුරු පළාත් සභාවටත් ඉල්ලයි

මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක්‌ උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව උතුරේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම පිණිස පසුගිය 26 දා ජයිකා ආයතනයේ ඉහළ නිලධාරීන් පිරිසක්‌ විසින් යාපනයේ වාරිමාර්ග ශ්‍රවණාගාරයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ හා ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභාවේ පිරිසක්‌ද සහභාගි වී තිබේ.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා කියා සිsටියේ එම යෝජනාව ඉදිරිපත් කළ ප්‍රධාන අමාත්‍යවරයා මධ්‍යම රජය උතුරු පළාත් සභාව සමග ගිවිසුමකටද අත්සන් කළ යුතු බවට ඉල්ලීමක්‌ කළ බවයි.

ප්‍රධාන අමාත්‍යවරයා එම ඉල්ලීම් කිරීමට හේතුවූයේ මධ්‍යම රජයට පමණක්‌ මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය තිබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචි කරමින් නව ජනපද ව්‍යාපාර ඇති කිරීමට රජය කටයුතු කළ හැකි නිසා යෑයිද ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවැසීය.

හෙරොයින් පැකට් 4000ක් සමග දෙදෙනෙක් දැලේ

හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකු හෝකන්දර නිවසක සිටියදී මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් සතුව තිබී කුඩා ප්‍රමාණයේ හෙරොයින් පැකට් 4000ක් පමණ සොයා ගත් බව ය.

එහි හෙරොයින් ග්‍රෑම් 100ක් පමණ තිබූ බව පොලීසිය සඳහන් කළේ ය.

හෙරොයින් බෙදා හැරීමට යොදා ගත් යතුරු පැදි 3ක් ද එහි තිබී සොයා ගෙන තිබේ.

කැනඩා විදේශ ඇමති උතුරේ සංචාරයක

දිවයිනට පැමිණි කැනඩා විදේශ අමාත්‍ය ස්ටීවන් ඩියොන් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර හමුවීමට නියමිත අතර හෙට ඔහු උතුරේ සංචාරයකට ද එක්වනවා.