ලාංකිකයින් 5ක් එංගලන්තයේ දී මරුට

එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී ශ්‍රී ලාංකික තරුණයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

එම වෙරළ තීරයේ රැඳී සිටි පුද්ගලයින් බොහෝමයක් අදාළ තරුණයින් 05දෙනාම දියෙහි ගිලෙණු දැක ඇති බව එංගලන්තයේ ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ වනවිට මියගිය 05 දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර අනෙක් දෙදෙනාගේ සිරුරු සෙවීම සදහා හෙලිකොප්ටර් යානා සහ කිමිදුම් කණ්ඩායම් මඟින් මෙහෙයුමක් දියත් කොට තිබේ.

මෙම පිරිස ලන්ඩන් නුවර සිට එක්දින චාරිකාවක් සදහා කැම්බර් වෙරළට පැමිණ ඇති බව වාර්තා වන අතර ඔවුන් එංගලන්තයේ පදිංචි වී සිටින ප්‍රදේශය ලන්ඩනය බවට තහවුරු වී ඇතත් ඔවුන් නීත්‍යානුකූලව එංගලන්තයේ රැඳී සිටි පුද්ගලයන් දැයි තහවුරු කළ නොහැකි බව එරට පොලීසිය ප‍්‍රකාශ කරයි.

එංගලන්තයේ ගී‍්‍රෂ්ම ඍතුව ගෙවී යන මෙම කාලසීමාව තුළ බොහෝ පිරිස් වෙරළාසන්න ප්‍රදේශවල සහ එළිමහන්වල ගතකරන අතර අදාළ තරුණයන් අනතුරට පත්වන අවස්ථාවේදී කැම්බර් වෙරළෙහි අති විශාල පිරිසක් සිටි බව ද වාර්තා වේ.

ද්‍රවිඩ අමාත්‍යවරයෙකුගේ නිර්දේශ මත වැලිකඩ සිට යාපනය ගෙනගිය කොටි සැකකරුවෙන් පැන යයි – අල්ලන්න මෙහෙයුම්

ද්‍රවිඩ අමාත්‍යවරයෙකුගේ නිර්දේශ මත වැලිකඩ බන්ධනාගාරයේ සිට යාපනය බන්ධනාගාරයට වෙත මාරු කර යැවූ එල්.ටී. ටී. ඊ සැකකරුවෙකු පලාගොස් තිබෙනවා. ඒ, ඔහු දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ යාපනය රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

මෙම එල්.ටී. ටී. ඊ සැකකරුගේ සුවදුක් විමසීම සදහා ඉකුත්දා දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුද වැලිකඩ බන්ධනාගාරයට පැමිණ තිබුණා.

එහිදී ඔහු මන්තී‍්‍රවරුන්ට පවසා ඇත්තේ තමන්ට බන්ධනාගාර රෝහලෙන් එන්නතක් ශරීරගත කිරීමෙන් පසුව දැඩි අපහසු තත්ත්වයකින් පෙළෙන බවයි.

පසුව මන්තී‍්‍රවරුන් විසින් මෙම සැකකරු යාපනය බන්ධනාගාරය වෙත මාරුකර යවන ලෙසට අදාළ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබුණා.

මේ අතර පලාගිය එල්.ටී. ටී. ඊ සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ කාර්ය බලකාය, පොලීසිය හා බන්ධනාගාර නිලධාරීන්ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා.

දන්ත ඒකකවලට මිලියන 360ක උපකරණ

රට පුරා රෝහල්වල දන්ත ඒකකවලට රුපියල් මිලියන 360ක උපකරණ ලබන වසරේදි මිලදී ගැනීමට මුදල් වෙන් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. දන්ත පුටු, එක්ස් රේ යන්ත්‍ර, රසායනාගාර පහසුකම් ඇතුළු උපකරණ රැසක් මේ වැඩසටහන යටතේ රට පුරා දන්ත ඒකකවලට ලබා දීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

අංග සම්පූර්ණ මුඛ සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා රෝහල්වල ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් එහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 3000 ක පමණ වියදමෙන් කරාපිටිය සහ රත්නපුර රෝහල්වල අංග සම්පූර්ණ මුඛ සෞඛ්‍ය මධ්‍යස්ථාන ලබන වසරේදි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ මහතා පැවැසුවේය. මුඛ හනුක ප්‍රතිකාර, දන්ත විකලාංග ප්‍රතිකාර, දන්ත සංරක්ෂණ විද්‍යාව යනාදිය මෙම අංග සම්පූර්ණ මුඛ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට ඇතුළත් වන බව ද ඔහු ප්‍රකාශ කළේය. දන්ත ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කර නිරෝගි සම්පන්න ජනතාවක් බිහි කිරීමට අවශ්‍ය සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ දන්ත සේවා අංශය යටතේ සිදු කරන බව ද ඒ මහතා පැවැසුවේය.

බැන්කි මූන් 31 දා ශ්‍රී ලංකාවට එයි

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් එළඹෙන අගෝස්තු 31 වන දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

මහලේකම්වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆානි දුජාරික් ඊයේ මාධ්‍ය දැනුවත් කිරීමේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව සඳහන්ය.

එළඹෙන සතියේ 30වන අඟහරුවාදා දින මියෙන්මාරයට පැමිණෙන බැන්කී මූන් එරට දශක දෙකක මිලිටරි පාලනයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාදීම වෙනුවෙන් කටයුතු කරන අවුන්සාන් සුකී හමුවීමට නියමිතය.

ඉක්බිතිව ලංකාවට පැමිණෙන මහලේකම්වරයා යුද්ධයෙන් පසු බිහිවන සාමකාමී වාතාවරණය තුළ තිරසාර සංවර්ධනය සම්බන්ධයෙන් සිය අවධානය යොමුකරනු ඇති බව කියැවෙයි.

ඝාතකයන් සොයා පොලිස් කණ්ඩායම් 8ක් – ණය දුන්න ගත්තු අය ගැන සැකයක්?

බම්බලපිටියෙන් අතුරුදහන්ව ඝාතනයට ලක්ව සිටියදී මාවනැල්ල ප්‍රදේශයෙන් සිරුර හමුවූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය හා කෑගල්ල පොලීසිය ඒකාබද්ධව පොලිස් කණ්ඩායම් 8ක් යොදවා ති‍බේ.

වැඩබලන පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ,නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ව්‍යාපාරිකයාගේ දේහය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය මාවනැල්ල මහේස්ත්‍රාත් එල්.කේ මහින්දගේ විසින් සිදුකළ බවයි.

එයින් අනතුරුව මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල මූලික රෝහලට ගෙන ආ බවත්,එහි විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවත්,මේවන විට ව්‍යාපාරිකයාගේ සමිපතම ව්‍යාපාරිකයින්ගෙන් හා මිතුරන් රාශියකගෙන් පොලීසිය විසින් ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවත් ‍නි.පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ව්‍යාපාරිකයා අතුරුදහන්වීමෙන් පසුව කෝටි දෙකක කප්පම් ඉල්ලා දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කෑගල්ල ප්‍රදේශයෙන් බවත්,මළ සිරුර හමුවී ඇත්තේද කෑගල්ලට සමීප ප්‍රදේශයකින් බැවින් මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධයක් තිබිය හැකි බවත්,ඒ කෙරෙහි පරීක්ෂණවල අවධානය යොමුව ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර මේවන විට සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල නිලධාරීන්ගේ අවධානය යොමුව ඇත්තේ ඉකුත් කාලයේ ‍මොහුට ණය වශයෙන් මුදල් ලබාදුන් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු හා ඔහුගෙන් මුදල් ණයට ඉල්ලා ගනු ලැබූ ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු කෙරෙහි බැව් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ඝාතනයක් බව පිළිගත හැකි නමුත් ඝාතනය සිදුව ඇත්තේ ඊයේ දිනයේ ඔහුගේ මළ සිරුර හමුවු මාවනැල්ල පොලිස් බලප්‍රදේශයට අයත් රුකුලගම ප‍්‍රදේශයේ මාවනැල්ල -හෙම්මාතගම ප‍්‍රධාන මාර්ගයට ආසන්න ස්ථානයේදීමද,එසේත් නැතිනම් වෙනත් ස්ථානයකදී ඝාතනය කොට එම ස්ථානයට 
ගෙනවිත් දැමුවාද යන්න තාමත් නිල වශයෙන් කිව නොහැකිය.

ඉකුත් 21 වනදිනයේ රාත්‍රීයේ සාදයක් සඳහා සහභාගිව සිටි මෙම ව්‍යාපාරිකයා රාත්‍රී 11.15 ට පමණ කොළඹ 04,කොතලාවල ඇවනියු,අංක 21 ලිපිනයේ පදිංචි නිවස අසළට පැමිණ බිරිඳට ආමන්ත්‍රණය කළ බවත්,ඉන්පසුව බිරිඳ විසින් නිවසේ දොර හැර එළියට බසින විට ඔහු විසින් බිරිඳට ගෙන ආ ආහාර පාර්සලයක් හා ඔහුගේ අත් ඔර්ලෝසුව මිදුලේ වැටී තිබෙනු දුටු බවත් බිරිඳ විසින් බම්බලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

නිවස අසළ සැඟව සිටි පිරිසක් විසින් තම ස්වාමියා පැහැරගෙන යන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත්,ස්වාමි පුරුෂයා සොයදෙන ලෙසත් ඉල්ලා බිරිඳ විසින් එදින රාත්‍රීයේම පොලීසියට පැමිණිලි කර තිබේ.

පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුව අතර මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට මහජන සහයද ඉල්ලා තිබිණි.

මේ අතර දින කිහිපයකට පෙර මිය ගිය බවට සැකකරන දුගඳ හමන පිරිමි මළ සිරුරක් ඊයේ සවස මාවනැල්ලෙන් හමුවුවස මූලාරම්භයේදීම එය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ශාකිබ් සුලෙයිමාන්ගේ යයි නිශ්චිත ලෙස හදුනාගෙන නොතිබිණි.

පසුව මේ වන සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියේ නිලධාරින් පිරිසක් එහි පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ අතර මෙ සම්බන්ධයෙන් ඉහළ පෙළේ පොලිස් නිලධාරින් දැනුවත් කිරිමෙන් පසුව කොළඹ සිට පොලිස් කණ්ඩායමක් සහ කෝටි පති ව්‍යාපාරිකයාගේ පියා ඥාතින්ද  පැමිණියහ.

මිය ගිය පුද්ගලයා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇඳ සිටි වස්ත‍්‍ර වලින් සහ ශරිරයේ පැළඳ සිටි ආභරණ මගින්ද,මුහුණ සහ කොණ්ඩය ඔස්සේ මෙ පුද්ගලයා හදුනා ගත් අතර පසුගිය දා අතුරු දහන් වු තම පුතණුවන් බවට පියා විසින් කරුණු අනාවරණය කරගන්නා ලදී.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරීක්ෂණයක්ද සිදුකරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

මේ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් මෙම ඝාතනයට සැක කරන ව්‍යාපාරිකයින් පස් දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් අතිරේක ම‍හේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

භාගයට නැවතුණ ව්‍යාපෘති අවසන් කිරීමට මිලියන 516ක්

අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 516 යි දශම 8ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්ය .

ඒ අනුව දැනට නතර වී ඇති බත්තරමුල්ල, පොල්දූව අතුරු මාර්ගයේ ඉදිකිරීම්, ඉමදූව නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම්, මිද්දෙණිය නගර සංවර්ධන වැඩසටහන සහ ලුණුගම්වෙහෙර හා වළස්මුල්ල බස්නැවතුම්පළ ඉදිකිරීම යන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.

අදාළ ව්‍යාපෘතිවල ඉදිරි වැඩකටයුතු මුල් කොන්ත්‍රාත්කරුවන් ලවාම නිමකරවා ගැනීමට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඉතාලි භූ කම්පනයෙන් ලාංකිකයින්ට අනතුරක් නෑ

ඉතාලියට බලපෑ භූකම්පනය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  පවසයි.

අද දෙරණ කළ විමසීමකදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා සඳහන් කළේ තානාපති කාර්යාල නිලධාරීන් මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලමින් සිටින බවයි.

රිච්ටර් මාපකයේ හයයි දශම දෙකක ප්‍රබලත්වයකින් යුතුව ඉතාලියේ පර්උජියා ප්‍රදේශයේ හටගත් භූකම්පනයෙන් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම තවත් පුද්ගලයින් 150කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව තිබේ.

භූකම්පනය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර පුද්ගලයින් විශාල පිරිසක් එම සුන්බුන් අතර සිරවී ඇති බවට ඉතාලි ආරක්ෂක අංශ සැක කරයි.

හෙට ආගමන විගමන කාර්යාලය වැඩ නෑ

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.

මරදානේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය බත්තරමුල්ලේ “සුහුරුපාය”ගොඩනැගිල්ලට ගෙනයාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව හෙට දිනයේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු සේවා කටයුතු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබේ.

මේ හේතුවෙන් මහනුවර, මාතර හා වව්නියාව ප්‍රාදේශීය කාර්යාලවලද සේවා කටයුතු සිදු නොවන බව  ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කේසේවෙතත් ලබන සදුඳා දිනයේ සිට සාමාන්‍ය  පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සිදුකරන අතර සදුදා දිනයේ පමණක් එක්දින සේවාව ක්‍රියාත්මක නොකරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ලංකාව බරවායෙන් තොරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව බරවා රෝගයෙන් තොර රටක් ලෙස නිල වශයෙන් ප්‍ර‍කාශයට පත් කරයි.

අදාල සහතික පත්‍ර‍ය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චිත්‍ර‍පාල් සිං විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න වෙත පිරිනැමුවා ය.

ඒ 21 වැනි දා පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේ පැවති විශේෂ උත්සවයක දී බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාව ඒ සමග අග්නිදිග ආසියානු කලාපයේ බරවා රෝගය තුරන් කළ 02 වැනි රට බවට පත් වේ.

වැඩි අවධානයක් නොවන,දුගී,ඝර්ම කලාපීය රටවල රෝග නිවාරණය සම්බන්ධයෙන් ලබා දෙන දායකත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට සිය ස්තූතිය පිරිනැමී ය.

සංවිධානාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් අදාල තත්ත්වයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව සඳහන් කළ ඔහු,ඊට දායක වූ සියලු සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට ද ස්තුතිය පල කරන ලදී.

බරවා රෝගය මෙන් ම නොබෝ දිනකින් මැලේරියාව ද තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කෙරෙන බව පැවසූ හෙතෙම,ඩෙංගු රෝගය තුරන් කිරීමට හා සියලු බෝ නොවන රෝග පාලනයට ද කැපවීමෙන් කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ ය.

බෙහෙත් හිඟය අවසන්

එළඹෙන වසරේ සිට පුද්ගලික අංශයේ සියලු රුධිර පරීක්ෂණ තහනම් කෙරෙන බව සෞඛ්‍ය ඇමතිවරයා කියයි.

අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ වසර 2017 ජනවාරි පළමුවැනි දා සිට එය ක්‍රියාත්මක කෙරෙන බව ය.

ඒ අනුව එදින සිට අදාල සියලු පහසුකම් රජයේ රෝහල් මගින් සලසන බව ඉකුත් දා අළුත්ගම,මාලේවන ඥාණිස්සර විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් හෙතෙම පැවසී ය.

අදාල පරීක්ෂණ සඳහා රජයේ රෝහල් වෙත රුධිරය පරීක්ෂා කිරීමේ යන්ත්‍ර‍ පිරිනමන බව ඔහු සඳහන් කරයි.

මේ අතර අළුත්ගම සහිරා විදුහලේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය විවෘත කරමින් ඇමතිවරයා පැවසුවේ.ඉදිරි මාස 02 ක් සඳහා ප්‍ර‍මාණවත් ඖෂධ තොග අමාත්‍යාංශයීය ඖෂධ සැපයුම් අංශයේ ගබඩා කර ඇති බවයි.

අගෝස්තු 31 වැනි දා වනවිට ඖෂධ මිල අඩුකිරීමේ ගැසට් පත්‍ර‍ය ප්‍ර‍කාශයට පත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සූදානමින් පසු වන බව ඔහු පෙන්වා දේ.

සිය අපේක්ෂාව වන්නේ නිදහස් සෞඛ්‍යය සුරැකීම පිණිස ඖෂධ මිල 85 % න් පහත හෙළීම බව හෙතෙම වැඩිදුරටත් ප්‍ර‍කාශ කළේ ය.