ආදායම් වැඩි වියදම් අඩු අයවැයක් 2017ට සූදානම්

ආදායම් වැඩි වියදම් අඩු අයවැයක් 2017 වසර සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් යැයි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවැසීය.
ඊයේ (29) මුදල් අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අයවැයෙන් වාසි ලබාදී ලබන වසරේ පැවැත්වෙන මැතිවරණ ජය ගැනීමේ අරමුණ පසෙකලා බිම් මට්ටමේ ජනතාවට පහසුකම් සැලසෙන පරිදි එය ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එසේම 2017 අයවැයෙන් පාරිභෝගිකයා මෙන්ම ගොවියාද ආරක්ෂා කරන්නේ යැයිද පසුගිය අයවැයෙන් දුන් ‍පොහොර සහනාධාර අතරමැදියන් හේතුවෙන් ගොවීන්ට අහිමි වුවත් මෙවර අයවැයෙන් එවැන්නක් සිදුවන්නේ නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා රජයේ වියදම් ගැන තමන්ට ටියුෂන් දෙන්න ආවත් ඔහු ආණ්ඩුවේ සිටි කාලයේදී ඒවා ක්‍රියාත්මක කළේ නම් රටේ ණය බර අඩුකරගැනීමට තිබුණා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උතුරු මහ ඇමැතිගේ කථාව නිවැරදිව වටහාගන්න

ප්‍රාදේශිය පරිපාලනය දුර්වල වුවහොත් සමස්ත රටේම පරිපාලනය අඩපණ වන බවත් ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස කඩිනමින් තීරණ ගෙන ඒවා මහජනතාවගේ යහපත් පිණිස ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද කොළඹ 07, ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී සමුළුවක් අමතමින් පැවසීය.

“උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල දැඩි කතාබහට ලක් වෙනවා. මහ ඇමැතිගේ ඒ කතාව සම්පූර්ණයෙන්ම බොහෝ මාධ්‍යවල පළ වුණේ නැහැ. ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ මම සිංහල ජනතාවට, බෞද්ධයන්ට හෝ වෙනත් ජාතියකට විරුද්ධව නොව කටයුතු කරන්නේ කියලා. එම ප්‍රකාශය නිවැරදිව වටහා නොගෙන, ජාතින් අතර සංහිඳියාවට බාධා එල්ල කිරීමට දැවැන්ත උත්සාහයක පිරිසක් නිරත වෙනවා.‘‘ යැයි කී අබේවර්ධන මහතා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශය නැවත නැවත මාධ්‍යයේ පළ කිරීම වැදගත් යැයි සිතන බවද කීවේය.

 

වැවේ වැටුණු අලියාට අමාරුයි

කතරගම සෙල්ල කතරගම කරවිලේ වැව අසළ දින කීපයක සිට වෙඩි වැදි දරුණු තුවාල සහිත වු  වල් අලියකු මරණාසන්න ව  බිම වැටී සිටියි.

වනජීවී පශු වෛද්‍යවරුන් සතාට ප්‍රතිකාර කර ඇත. අලියාට ආහාර හා ජලය දුන්නත් මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ සිටින බව ප්‍රදේශවාසීහු කියති.

 

කරාම විතරයි : වල්ලිමාතා ගමට වතුර නෑ

මාස කීපයක සිට තමන්ට බීමට ජලය නොමැති බව පවසමින් අද කතරගම වල්ලිමාතාගම ජනයා පානීය ජලය ඉල්ලා කතරගම ජලසම්පත් මණ්ඩලය අසල උද්ඝෝෂණයක් කළහ.

පවුල් 200කට ආසන්න පිරිසක් සිටින ගමේ ජල කරාම පමණක් ඇති බව ශ්‍රී වල්ලිමාතා කාන්ධාරාමා විහාරාධිපති ඇත්කඳුරේ විපුලභද්‍ර හිමියෝ පවසති.

 

සන්ධානයක් ලෙස තරග කරනවා

ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයක් ලෙස තරග කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඉදිරියේ දී පවත්වන ඕනෑම මැතිවරණයක් සඳහා පුළුල් සන්ධානයක් යටතේ තරග වැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

ඒ අනුව මෙම සාකච්ඡා ආරම්භ කර ඇති අතර දැනටමත් පක්ෂ කිහිපයක් ඊට එකඟතාව පළ කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත් ජාතිවාදී හෝ ආගම්වාදීව කටයුතු කරන කිසිඳු දේශපාලන පක්ෂයක් සමග ඉදිරියේ දී සන්ධානගත නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කළේය.

ඔවුන් සමග කිසිඳු සාකච්ඡාවක් සිදුනොකිරීමට ද සන්ධානය එකඟතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ප්‍රගතිශීලි පක්ෂ සමග පමණක් මෙම සාකච්ඡා පවත්වනු ලබන අතර ඕනෑම දේශපාලන පක්ෂයකට සන්ධානය සමග සාකච්ඡා කිරීමට හැකියාව පවතින බව ද සන්ධාන ප්‍රකාශකයෙකු අද දෙරණ සමග සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය දෙකඩවීමේ අවදානමක

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විරෝධතා ව්‍යපාරයෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානය තුළ අභ්‍යන්තර ගැටළු මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා යාපනය ප්‍රදේශයේ රැස්වීමක් පැවති අතර ඊට දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු සහභාගී නොවනු බව වාර්තා වෙයි.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට සහභගී නොවුණු අතර ඊ.පි.ආර්.එල්.එෆ් සහ ප්ලොට් සංවිධානයේ සාමාජිකයින් මෙම විරෝධතා ව්‍යාපාරයට එක්ව තිබේ.

ඒ අනුව මේ වන විට මෙම තත්ත්වය හමුවේ දෙමළ  ජාතික සන්ධානය තුළ අභ්‍යන්තර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයෙකු අදාළ විරෝධතාව සම්බන්ධයෙන් සී.වී.විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයාට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය තුළ දෙමළ ජාතික සන්ධානය දෙකඩ වීමේ අවදානමක් මතුව ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර ඊයේ(29) පැවති උත්සවයකදී ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ දෙමළ ඩයස්පෝරාව ද වර්තමානය වන විට දෙකඩ වී ඇති බවයි.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ විග්නේෂ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා ජාතිවාදය ඉස්මතු කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ ඔහු විසින් වහාම ඉල්ලා අස්කර ගත යුතු බවයි.

එමෙන්ම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය රට තුළ ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂයක් ලෙස සැලකිය හැකි බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

මේ අතර වත්මන් ආණ්ඩුව සංහිඳියාව ඇති කිරීම වෙනුවට පවතින සංහිඳියාව නැති කිරීම උදෙසා කටයුතු කරමින් සිටින බව රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා පෙන්වා දී ති‍බේ.

මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව වව්නියාව නගරයේ දී විරෝධතාවක් පවත්වා තිබේ.

‘උතුර රකින රට සුරකින‘ ජාතික බලවේගය සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

රටින් ලූනු ගෙන්වීම නතර කරන්නැයි ඉල්ලා දඹුල්ලේ ලොකු ලූනු ගොවියෝ පාරට බසිති

දේශීය ලොකු ලූනු කිලෝවක්‌ සඳහා රුපියල් 100 ක මුදලක්‌ නියම කරන ලෙස හා පිටරටින් ලොකු ලූනු ගෙන්වීම වහාම නතර කරන ලෙස බල කරමින් ඊයේ (28 දා) දඹුල්ල නගරයේ මාර්ග වසා දමමින්, ටයර් පුළුස්‌සා දමමින් ගොවීහු විරෝධතාවක නිරත වූහ.

ගොවීන්ගේ විරෝධතාවට සහාය පළ කරමින් ඊයේ පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ වෙළෙඳසල් පැයක්‌ පමණ වසා දමා තිබිණි.

විරෝධතාකරුවෝ ආර්ථික මධ්‍යස්‌ථානය ඉදිරිපිටින් විරෝධතාව ආරම්භ කර දඹුල්ල නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලට පැමිණ සටන් පාඨ කියමින් රතිඤ්ඤා දල්වමින් හා මාර්ගයේ ටයර් පුළුස්‌සා දමමින් උද්ඝෝෂණය කළහ. මේ හේතුවෙන් මහනුවර – යාපනය ඒ 09 මාර්ගයේ හා කොළඹ ත්‍රිකුණාමලය – ඒ. 06 මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබිණි. පොලිසිය රථවාහන ධාවනයට විකල්ප මාර්ග හඳුන්වාදීමට පියවර ගත්තේය.

පසුව විරෝධතාකරුවෝ දඹුල්ල ගම්උදා භූමිය අසල ප්‍රධාන මාර්ගයේ දර කොට දමා ඒවාට ගිනි තබමින් පැය දෙකකට වැඩි කාලයක්‌ විරෝධතාවයේ නිරත වූහ. මෙම විරෝධතාව දඹුල්ල ගොවි එකමුතුව මගින් සංවිධානය කර තිබිණි.

උලපනේ නිවස අපට නැවත දෙන්න

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය උලපනේ පිහිටා තිබු නිවස සහ ඉඩම තමන් සහ තම දූ දරුවන් වෙත නැවත ලබා දෙන්නැයි රෝහණ විජේවීර බිරිය ඉල්ලීමක් කර ඇත.

විජේවීර මහත්මිය එම ඉල්ලීම සිදුකොට ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මගින් ආරක්ෂක අමාත්‍යාංශය වෙතිනි. රෝහණ විජේවීර මහතාගේ අභාවයෙන් පසුව විජේවීර මහත්මිය මෙතෙක් රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව යන හෙයින් මෙම ස්ථානය නැවත තමන් හා දු දරුවන් වෙත ලබාදෙන්නැයි එසේ ඉල්ලා ඇති බව ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය ලේකම් ඒ.එම්,වික්‍රමාරච්චි මහතා පැවසීය.

ඒ මහත්මිය විසින් එම ස්ථානය සහ නිවස නැවත ඉල්ලා සිටිය ද මේ වන විට එම ස්ථානයේ ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන බවත් එහි දැනට පාඨමාලා 16ක් පැවැත්වෙන බවත් එහි මේ වන විට සිසු, සිසුවියන් 400 පමණ ඉගෙනුම ලබන බවත් පවසන ප්‍රාදේශීය ලේකම් වරයා එම තත්ත්වය මත මෙම නිවාස හා එම ඉඩම මුදාහැරීම දුෂ්කර කටයුත්තක් බවද කියා සිටි.

ඒ මහතා මෙම කරුණු අනාවරණය කෙළේ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරන කමිටුවේදී ජාතික තරුණ සේවා සභාවේ කටයුතු සාකච්ඡා කළ අවස්ථාවේදීය.කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පැවැත්විණි.

නිහාල් ජයවර්ධන

අදහස් පළකිරීමේ අයිතිය රැකියාවට බාධාවක් නොවේ

කොළඹ මහානාම විද්‍යාලයේ ගුරුවරියක ලෙස රාජකාරි කළ සමන්ති මනෝහාරි පැලකැටිය මහත්මියට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවන ලෙසට මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරි, එම විද්‍යාලයේ ගුරුවරයකු වන තුසිත තිළිණ මා‍ලේගොඩ යන වගඋත්තරකරුවන් දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, විනිසුරු උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල අද (28) නියෝග කළේය.
සමන්ති මනෝහාරි පැලකැටිය මහත්මිය විසින් නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා මගින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිකුත් කළ එකී තීන්දු ප්‍රකාශය විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් ඊයේ ප්‍රකාශයට පත්කළේය. 2012-2-1 සිට ක්‍රියාත්මක වන පරිදි පෙත්සම්කාර ගුරුවරියගේ වැඩ තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කොට තිබූ ලිපියද එම නියෝගය මගින් බලරහිත කොට තිබූ ශ්‍රේෂ්ඨාධිකරණය ඇය වහාම සේවයේ පිහිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
කොළඹ මහානාම විද්‍යාලයේ සිදුවූ විවිධ අකටයුතුකම්වලට එරෙහිව දෙමාපියන් විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් 2011.11.27 වැනිදා එම විද්‍යාලය අසලදී පැවැති බවත් එහිදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වීම කෙරෙහි උරණ වූ වගඋත්තරකාර හිටපු විදුහල්පතිවරයා හා ගුරුවරයා තමාට අවිනීත ලෙස බැණවැදී මානසික පීඩනයක් ලක් කළ බවත් එමගින් පෙන්වා දී තිබූ පෙත්සම්කාර ගුරුවරිය වගඋත්තරකාර ගුරුවරයා තමාට ශාරීරික වශයෙන්ද පීඩා කළ බවත් පෙන්වා දී තිබුණි.
එම වගඋත්තරකරුවන් එහි ක්‍රියා කලාපය අනුව ඔවුන් විසින් පෙත්සම්කාර ගුරුවරියගේ මූලික අයිතිවාසිකම් කඩ කොට ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස වන්දි ගෙවන ලෙසට හිටපු විදුහල්පතිවරයාට හා ගුරුවරයාට නියෝග කළේය.
එකී වන්දි මුදල වගඋත්තරකරුවන් විසින් පෞද්ගලිකව ගෙවිය යුතු බවටද අගවිනිසුරු කෙ. ශ්‍රී පවන් හා විනිසුරු උපාලි අබේරත්න යන විනිසුරු මඩුල්ල නියෝග කොට තිබුණි.
වගඋත්තරකාර විදුහල්පතිවරයාගේ බලපෑම් හා අවශ්‍යතා අනුව නිසි පරිදි සිදුකළ පරීක්ෂණයකින් තොරව පෙත්සම්කාර ගුරුවරියගේ රාජකාරි කටයුතු තහනම් කිරීමට පියවර ගෙන ඇති බව තම අධිකරණයට පැහැදිලි වන්නේ යැයි එකී තීන්දු ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණි. එකී ක්‍රියා කලාපය මගින්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව මගින් එනම් සෑම පුරවැසියකුටම ජාතිය ආගම හා වෙනත් අසමානකම් නොතකා එක හා සමාන ලෙසින් සැලකිය යුත්තේ කියන මූලික අයිතිවාසිකම වගඋත්තරකරුවන් විසින් කඩකොට ඇති බවත් අගවිනිසුරු කේ. ශ්‍රී පවන් හා විනිසුරු උපාලි අබේරත්න යන මහත්වරුන් විසින් පෙන්වා දී තිබුණි.
පාස‍ලේ සිදුවූ කිසියම් අඩුපාඩුවක් පිළිබඳව ජනමාධ්‍ය හමුවේදී හෙළි කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා පෙත්සම්කාරියට එරෙහිව කටයුතු කිරීමට වගඋත්තරකරුවන් පෙළැඹී ඇති බව ඉදිරිපත් වූ වාචික කරුණු හා ලිඛිත කරුණු අනුව පෙනී යන්නේ යැයිද සිය තීන්දු ප්‍රකාශය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණි.
එය පෙත්සම්කාරිය වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) ව්‍යවස්ථාව මගින් හිමිකර දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමක් වන්නේ යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නිකුත් කළ තීන්දු ප්‍රකාශය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.

නිශාන්ති රාමනායක

විසඳුම් දෙන්න ජනපති එකඟයි

රජයේ වෛද්‍යවරුන්ගේ ළමුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කරගැනීමේදී පැන නැගී ඇති ගැටළුවට විසඳුම් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟතාව පළ කර තිබේ.

ඊයේ(28) රාත්‍රී ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී අදාළ එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.

ඒ සඳහා ලබන සතිය තුළ අධ්‍යාපන බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.