ගයාෂාන්ගේ සිද්ධියෙන් හෙළිවන ‘පොලිස් පිස්සුව’

අතුරුදන් ව සිටි ගයාෂාන් හම්බන්තොට පොලිසියට බාර වී තිබේ. වධහිංසාවලට ලක්වී පොලිස් ස්ථානයෙන් පළා යාමෙන් අනතුරුව දින අටක් පමණ ඔහු විවිධ ස්ථානවල ඇවිදමින් සිට ඇත. අවසානයේ බෞද්ධ හිමිනමකට දුරකථනයෙන් කථා කර තිබෙන අතර, එම හිමිනම ඔහු ව පොලිසියට භාරදීමට මැදිහත් වී තිබේ.

මාධ්‍ය විසින් දැක්වූ උනන්දුවට පින්සිදුවන්නට රට පුරාම මේ ප‍්‍රශ්නය සාකච්ඡා විය. වාර්තා වූ අන්දමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගයාෂාන්ගේ පියාට කතා කර පොරොන්දු වී තිබෙන්නේ තරුණයා සොයාගැනීම සඳහා තමන්ට තිබෙන බලය තුළ කළ හැකි සෑම දෙයක්ම කරන බවට ය. එසේත් නැතිනම් තරුණයාට යම් දෙයක් සිද්ධ වී තිබේ නම් දැඩි පියවර ගන්නා බවට ය.

විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා පොලිසිය තම 150 වැනි සංවත්සරය සමරමින් සිටින මේ අවස්ථාවේ මේ සිද්ධියේ සලකා බැලිය යුතු අංග ගණනාවක්ම තිබේ. අනිවාර්යයෙන්ම කිව යුත්තේ, වයස පිළිබඳව කතා කරන්නේ නම් ශ‍්‍රී ලංකා පොලිසිය අවුරුදු 150ට වඩා වයස්ගත බව ය. මන්ද, එය ආරම්භ වුණේ බි‍්‍රතාන්‍යයන් විසින් මුහුදුබඩ පළාත් අල්ලා ගත් වහාම ය. මේ අනුව ශ‍්‍රී ලංකා පොලිසිය ආරම්භ වූ වසර 1795 විය යුතුය.

මේ ආයතනය මෙතරම් පෞරාණික නිසාම, ගයාෂාන්ගේ සිද්ධියේදී සිදු වූ දේවල් සිද්ධ විය යුතුව තිබුණාද යන්න විමසා බැලීම වටී.

මේ තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතුව ප‍්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ වී බෑග් කිහිපයක් සොරකම් කිරීම බව දැන් හොඳින් දන්නා කරුණකි. මේ සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිණි. ඔවුහු මේ සොරකම තමන් නොකළ බව කියමින් විරෝධය පෑහ. එසේම මෙම සොරකම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව ද කියමින් ඒ බව ප‍්‍රතික්ෂේප කළහ. නිසැක වශයෙන්ම, මෙතරම් පෞරාණික ආයතනයකට අයත් නිලධාරීන්, වී සොරකමක් සම්බන්ධ ප‍්‍රශ්නයක් විමර්ශනය කිරීමට අවශ්‍ය මූලික පුහුණුවවත් ලබා සිටිනවා විය යුතුය. පරිණත මිනිසුන් වූ මේ නිලධාරීන්, එතරම් ලේසියෙන් එකී ‘විමර්ශනය’ සිදුකරන්නට තීරණය කළේ ඇයි? මේ ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකාවේ ඕනෑම තැනක ජීවත් වන ඕනෑම කෙනෙකුගෙන් ඇසුවහොත් ලැබෙන පිළිතුර වන්නේ ‘හැම තිස්සෙම ඒ අය එහෙම තමයි කරන්නෙ’ යන්නයි.

කිසිම සැකයක් නැතිව, පොලිසියේ විවිධ නිල තල හොබවන්නන් මේ බව, එනම් රටපුරාම පොලිසිය, වසරක් වසරක් පාසා සාමාන්‍ය මිනිසුන්ට හිරිහැර කරන ආකාරය දැන සිටිනවා විය යුතුය. වසර 200කටත් අධික කාලයක් තිස්සේ සිද්ධ වූයේ එය බව ඔවුහු දැන සිටිති. තවමත්, මේ විකාරය නවත්වන්නට එක ඇඟිල්ලක් හෝ සෙළවී නැත. පොලිසිය මෙවැනි පල් මෝඩ විදිහට හැසිරෙන විට ජාතියක් ගොඩනගන්නට හැකිදැයි අඩුම ගණනේ පාර්ලිමේන්තු සභිකයන්, අමාත්‍යවරුන් යනාදී මෙකී පොලිස් නිලධාරීන්ගේ අධිකාරිය උසුළන එකදු පුද්ගලයෙක්වත් අසන්නට සිතාවත් නැත.

මෙහි මීළඟි අදියර මීටත් වඩා – දරන්නට අසීරු තරම් ග‍්‍රාම්‍ය ය. පොලිසිය තුළම ආරක්ෂිත ස්ථානයක් වෙත ගෙන යන තරුණයන්ට ඉන්පසු බරපතළ ලෙස පහර දෙනු ලැබේ. ඒ ඇයි? පාපොච්චාරණ ලබාගැනීමටත් ඔවුන් නොකළ යම්කිසි දෙයක් තමන් විසින් කළ බව බලෙන් කියවා ගැනීමත් සඳහා ය. දැන්, ශ‍්‍රී ලංකා නීතියේ 1994 අංක 22 දරණ වධහිංසා වැළැක්වීමේ පනතේ අඩංගු අන්දමට, මේ වධහිංසාවට සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධ මේ පොලිස් භටයන් හැම කෙනෙක්ම බරපතළ වැඩ සහිත වසර 7 කට නොඅඩු සිර දඬුවමකට සහ රුපියල් 10,000 ක දඩයකට යටත් කළ යුතු දරුණු අපරාධයක් සිදුකර තිබේ.

මෙහිදී නැවතත් බරපතළ නොගැළපීමක් ඇති වේ. ඔය කියන අන්දමට වී බෑග් කිහිපයක් එකී තරුණයන් විසින් සත්‍ය වශයෙන්ම සොරකම් කර තිබුණා වුණත්, ( ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති වුවත්) එය සුළු සොරකමක් පමණි. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකර තිබෙන්නේ බරපතළ අපරාධයකි. පැහැදිලිවම, ශ‍්‍රී ලංකාවේ පොලිස්ක‍්‍රමය තුළ තර්ක ශාස්ත‍්‍රයට කිසියම්ම හෝ තැනක් තිබෙනවා නම් මෙකී පොලිස් නිලධාරීන්ද, ඔවුන්ගේ උසස් නිලධාරීන් ද ඔවුන්ගේ ප‍්‍රධානීන් ද මේ බරපතළ නොගැළපීම දැකිය යුතුය.

නමුත් සමහරවිට තර්ක ශාස්ත‍්‍රයට මේ පිළිබඳව කරන්නට කිසිවක් නැති නිසාම මේ අමු පිස්සුව කුමක්දැයි බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැත. අප විසින් පෙර සඳහන් කර තිබෙන අන්දමට, මේ පිස්සුව පොලිසියට වරින් වර වැළඳෙන පිස්සුවක් නොවේ. එය සෑම කල්හිම, රට පුරා සෑම පොලිස් ස්ථානයකම සිදුවන්නකි.

මේ පොලිස් ස්ථාන අධීක්ෂණයේදී සමාජයීය වශයෙන් වැදගත් නිලතල දරන පුද්ගලයන් දෙදෙනෙක් වෙති. එක්කෙනෙකුට කියන්නේ පොලිසියේ ඕඅයිසී (OIC) හෙවත් පොලිස් ස්ථානාධිපති කියා ය. අනෙක් කෙනාට කියන්නේ ඒඑස්පී (ASP) හෙවත් සහකාර පොලිස් අධිකාරී කියා ය. රටපුරාම සිටින මෙවැනි නිලතල දරන නිලධාරීහු මේ සිද්ධියේ තිබෙන පිස්සු ගතිය හොඳින් දනිති. එසේම පොලිස් රාජකාරි කිරීමේ නිසි ක‍්‍රමය එය බවටත් ඔවුහු අනුමත කරති. මෙහිදී නැවතත් අප ඇසිය යුත්තේ හේතුව සහ තර්කයෙන් ඔවුන් මෙතරම් දුරස් වී නීතිය තනි කරන්නේ මන්ද යන්නයි.

පොලිස්පතිවරයාම තරුණයාගේ පියාට කතා කර තමන්ට හැකි සෑම දෙයක්ම කරන බව කීවත්, වධහිංසාව සහ අවමන් සහගත සැලකිල්ල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතිය උල්ලංඝනය කරන පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවූ බවට කිසිම වාර්තාවක් නැත. ඔහු කර තිබෙන එකම දෙය එම පොලිස් නිලධාරීන් ව යම්කිසි වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යැවීම පමණි. මෙය දඬුවමක පෙරනිමිති හඟවන කි‍්‍රයාවක් යැයි අප සිතිය යුතුය. මෙහිදී නැවතත්, පෙර සිද්ධියට ඔබ ආපසු ගියහොත්, සුළු සොරකමකට සැක කළ තරුණයන් තිදෙනෙකුට දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇති අතර, එසේ වධ හිංසා සහ අවමන් සහගත සැලකිලි නමැති බරපතළ අපරාධය සිදුකළ පොලිස් නිලධාරීන් ට ස්ථාන මාරු ලබාදීම පමණක් සිදුකර තිබේ.

මේ අවස්ථාවේදී පවා අප අසන්නේ පොලිස්පතිවරයා අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ගත් කි‍්‍රයාමාර්ගය කුමක්ද යන්නයි.

පොලිස් ස්ථානයක ආසන්නතම අධීක්ෂකවරයා වන්නේ සහකාර පොලිස් අධිකාරීවරයා ය. ඔහු විසින් කළ යුතු කාර්යයන් දෙපාර්තමේන්තු නියෝගවල දැක්වේ. මෙකී නියෝග ද ශතවර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ ක‍්‍රම ක‍්‍රමයෙන් විකසනය වී තිබේ.

මෙහිදී කාරණය වන්නේ පොලිස් ස්ථාන අධීක්ෂණය කිරීම නමැති සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කළ යුතු රාජකාරිය නොකර සිටීම සම්බන්ධයෙන් කිසිදු සහකාර පොලිස් අධිකාරිවරයෙක් දඬුවමට ලක්නොවීමයි. කුඩා සමාගමක වුවත්, අධීක්ෂකවරයා සිය රාජකාරිය කරන්නට අසමත් වේ නම් ඔහු ව හෝ ඇය ව අස්කර දැමේ. නමුත් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සිය රාජකාරිය කරන්නට අසමත් වන විට දඬුවමක් නැත.

මෙහිදී නැවතත් ඔබ මුල් සිද්ධිය වෙත ගමන් කරන්නේ නම්, වී මලූ කිහිපයක් සොරකම් කිරීම නිසා අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ අතුරුදහන් වීම සිදු වී තිබේ. නමුත් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සිය රාජකාරිය කරන්නට අසමත් වන විට ඒ සඳහා දඬුවමක් නැත.

මෙහිදී ‘හරි දේ සහ වැරදි දේ’සඳහා ආදේශ වන පරිමාණය කුමක්ද? පැහැදිලිවම මේ පරිමාණය බාහිර සමාජය සඳහා ආදේශ වන්නක් නොවේ. එයින් ඉතාම සරල ලෙස පෙන්වන්නේ සමාජය තාර්කික යැයි සලකන දෙය සහ පොලිස් ස්ථාන තුළ තාර්කික යැයි සලකන දෙය අතර පැහැදිලිවම ඉතා විශාල වෙනසක් තිබෙන බවයි.

මේ සතියේ විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශය විසින් තවත් කමිටු කිහිපයකට සාමාජිකයන් පත් කළ බව නිවේදනය කළේය. ඒ, රට තුළ සිදුවන සියලූ ආකාරවල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ විමසා බලන්නට ය. මේ කමිටු පත්කරන්නේ දැනටමත් තිබෙන කොමිසම් විශාල සංඛ්‍යාවකට අමතරව ය.

මේ කමිටු සහ කොමිසම් විසින් අපට අපේ නිදහස ගෙන දෙනු ඇතැයි අප සිතිය යුතුද?

අපට කලින් සර්කස් එකම නැවත නැවත දැකීමට සිදු වේවිද?

පිළිතුර රැුඳී තිබෙන්නේ මේ තරුණයා අතුරුදන් වූයේ කෙසේද යන පැනයට විසඳෙන ආකාරය මත පමණක් නොවේ. ඉහතින් සඳහන් කළ දරුණු අතාර්කිකත්වය පිළිබඳ ගැටලූව ආමන්ත‍්‍රණය කරන්නේ කෙසේද හෝ එය දිගටම ගැටලූවක් ලෙසම පවතිනවාද යන්න මත ද එයට පිළිතුර රැුඳී තිබේ.

පොලිසියට භාර වීමෙන් පසුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ පොලිස් නිලධාරීන් විසින්, තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තත්, තමන් විසින් අත්අඩංගුවට ගත්තේ තරුණයන් දෙදෙනෙක් පමණක් බවට පොලිස්පොතේ වැරදි ලෙස සටහන් යොදා ඇති බවත්, ඒ සඳහා ඔවුන්ට විරුද්ධව පියවර ගන්නා බවත් ය. කෙසේ නමුත් නියත වශයෙන්ම මෙහි තිබෙන වඩාත්ම බරපතළ ගැටලූව වන්නේ තරුණයන් තිදෙනාව වධහිංසාවලට ලක්කිරීම යි. 1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහි පනත යටතේ වධහිංසාව යනු බරපතළ වැඩ සහිතව සත්අවුරුදු සිර දඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් ගෙවිය යුතු වරදකි.

ගයාශාන් පළාගොස් තිබෙන්නේ පොලිස් වධහිංසාවෙන් බේරීම සඳහා ය. නමුත් මේ වන විට පොලිසිය, මේ වධහිංසාව පිළිබඳ කාරණය නොසලකා හරිමින් සිටින්නේ රට පුරා සෑම පොලිසියකම මේ හිංසාකිරීම සිදුවන නිසා විය හැකිය. දිනපතාම වධහිංසා පිළිබඳ පැමිණිලි ලැබෙතත්, දැනට වසර ගණනාවක් තිස්සේ වධහිංසා පනත යටතේ නඩු පැවරීමක් සිදුවී නැත.

බැසිල් ප‍්‍රනාන්දු

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *