පලාලියේ අක්කර 454 ක් මුල් අයිතිකරුවන්ට

පලාලි තෙලිප්පලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 454 ක් ඒවායේ මුල් අයිතිකරුවන් වෙත යළි ලබාදීම අද (31) සිදු කෙරේ.

පලාලි හමුදා ජනපද ප්‍රදේශයට අයත්ව පැවති මෙම භූමි භාගය මුල් අයිතිකරුවන් වෙත ලබාදීම අද සිදුවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ පැවැත්වෙන උත්සවයකදීය.

මේ අතර කීරමලෙයි ප්‍රදේශයේ ඉදි කළ නිවාස සියයක් යුද්ධය හේතුවෙන් අවතැන්ව සිටි පවුල් වෙත ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් අද සිදු කෙරේ.

යුද හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

‘අපිට හොරා කිය කියා ආණ්‌ඩුව හොරා කනවා ‘- මහින්ද

”අපිට හොරා කිය කියා මේ ආණ්ඩුව ජනතාවගේ මුදල් හොරකම් කරනවා” යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ පසුගියදා දැරණියගල ශ්‍රී සුමන සමන් දේවාලයේ පැවති ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුව රැස්‌ව සිටි ජනතාව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‌ෂ මහතා මෙසේද කීය.

”අද මේ ආණ්‌ඩුව පළාත් පාලන ඡන්දය තියා සමුපකාර ඡන්දයවත් තියාගන්න බය වෙලා පරදියි කියලා. අධ්‍යාපනය විනාශ කරලා. මිහින් ලංකා ගුවන් සේවය අපේ කාලේ ලාභ ලැබුවා. අද එක පාඩුයි කියලා විකුණා දැම්මා.

පික්‌පොකට්‌කාරයා හොරා අල්ලන්න දුවනවා වගේ.

වැට්‌ බද්ධ වැඩි කිරීම හරහා ආණ්‌ඩුව රෝගීන් සූරා ගෙන කනවා. වැට්‌ එක වැඩි කිරීමට ආණ්‌ඩුවට අවශ්‍ය නෑ. හොරා කන එක නැවැත්තුවා නම්. එක සමාගමක්‌ එක්‌ක ආණ්‌ඩුව ඩිල් දාලා බිලියන 15 ක්‌ සමාගමට දීලා.

අද වෙනකොට මේ ආණ්‌ඩුව වැටිලා තියෙන්නේ.

දේව සාපයක් !

අද පන්සලක, දේවාලෙක අලියෙක්‌ තියා ගන්න බෑ ගෙනියනවා. අපේ කාලේ කතරගම දේවාලයට ලබා දුන්නු අලිය මේ අය අරන් ගිහින් පින්නවල අලි අනාථාගාරයේ දාලා ඉන්නවා. කිසිදු සැලකිල්ලක්‌ නොදක්‌වා මෙහෙම කරන කොට දේව සාප ඇති නොවෙයිද?

ජනාධිපතිවරයා කලබල වෙලා මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට රහස්‌ පොලිසියට අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ට දොස්‌ කීවා.

අද මේ ආණ්‌ඩුවේම අය කියනවා ආණ්‌ඩුව හොරකම් කරනවා කියලා. අද ආණ්‌ඩුවට දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා. ජනතාව ඉල්ලන්නේ මොනවාද ඒවා දෙනවා. ජනතාව ඉන්නේ කොතනද මමත් එතන ඉන්නවා.”

-Sri Lanka Mirror

යාපනයේ බියක් : ‘ආවා’ දෙදෙනෙක් අල්ලයි

උතුරු පළාතේ ක්‍රියාත්මක බව පැවසෙන ”ආවා ගෲප්” සාමාජිකයන් ලෙස සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව යාපනය පොලිසිය පවසයි.

සැකකරුවන් ළඟ තිබී කඩු දෙකක්ද පොලිසිය භාරයට ගත් බව යාපනය පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේය.

යාපනයේ අතුරු මාර්ගයක් ඔස්සේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී කඩු දෙක සොයා ගත් බවත් එම පොලිස් නිලධාරියා සඳහන් කළේය.

නාට්‍යයක් පුහුණු වීම පිණිස කඩු දෙක රැගෙන යන බව ප්‍රශ්න කිරීම්දී සැකකරුවන් කියා සිටි බව පවසන පොලිසිය එම කඩු නාට්‍යය සඳහා භාවිත කරන ”සෙල්ලම් කඩු” නොව පුද්ගලයන්ට හානි කළ හැකි අන්දමේ ප්‍රමාණයෙන් විශාල ඒවා බව කියා සිටියේය.

පසුගිය සතියේදී යාපනයේ ස්ථාන කීපයකින් හමුවූ කඩු සහ මෙම කඩු දෙක අතර බොහෝ සෙයින් සමාන බවක් දක්නට ලැබෙන බවත් පොලිසිය පවසයි.

යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමේ මෙරට සංචාරය අද (31) ආරම්භ වෙයි

ඒ අනුව සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දිනයේ දිවයිනට පැමිණෙනු ඇති බව නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය සඳහන් කළේය.

ඔවුන් නොවැම්බර් මස තුන්වන දින දක්වා මෙරට රැදී සිටීමට නියමිතව තිබේ.

ජාතික සංහිඳියාව සහ මෙරට කාන්තාවගේ දේශපාලනික, ආර්ථික දියුණුව පිළිබඳව සොයාබැලීම මෙම සංචාරයේ අරමුණ වී ඇති බව සඳහන්ය.

ජී.එස්.පී සහනය ලබාදීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමද මෙම නියෝජිත කණ්ඩායම විසින් සිදුකරනු ඇති බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.

ඔවුන් ත්‍රීකුණාමලය, මඩකළපුව යන ප්‍රදේශ වල සංචාරය කිරීමට ද සැළසුම් කර තිබේ.

මොවුන් මෙරට ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු ද මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

සියල්ලන්ගේම යුක්ති සහගත සටන වත්මන් පාලනය වෙනස් කිරීමයි

වත්මන් පාලනය සහ පාලකයන් වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකුටත් යුක්ති සහගත අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සියලු දෙනාගේම යුක්ති සහගත සටන වන්නේ මෙම පාලනය වෙනස් කිරීමේ සටන බව මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මේ අතර දීර්ඝ කාලයක් මැතිවරණ කල් දැමු ලොව එකම ආණ්ඩුව ලෙස වත්මන් ආණ්ඩුව සම්මානයට ලක්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා  මෙම අදහස් පළ කළේය.

මේ අතර ස්වාභාවික ආපදාවන්ට මුහුණදීම සඳහා රජය නිසි වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

පන්නල නගර ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.

සම්බන්ධන් වැඩි බලතල ඉල්ලයි

උතුර – නැගෙනහිර ගැටළුවලට දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ කාර්යයේදී දෙමළ හා මුස්ලිම් ජනතාව එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා.

උතුරේ මුස්ලිම් ජනතාව එම ප්‍රදේශවලින් පලවා හැර වසර 26ක් ගතවීම නිමිත්තෙන් උතුරු මුස්ලිම් සිවිල් සමාජය කොළඹ දී අද පැවැත්වූ සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

වැට් නිසා කිරිපිටි කිලෝවක් රුපියල් 100 කින් ඉහළ යන ලකුණු?

වැට් බදු සංශෝධනයත් සමඟ ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 100 කින් පමණ ඉහළ යා හැකි බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ඔවුන් කියා සිටියේ මෙතෙක් කිරිපිටි සඳහා වැට් බදු පනවා නොතිබුණු නමුත් අලුතින් පාර්ලිමේන්තුවේ සම්මත වූ වැට් බදු සංශෝධන පනත හරහා කිරිපිටි සඳහාද මෙම බද්ද පැනවෙන බවයි.  කිරිපිටි කිලෝවක් සඳහා මේ වනවිට රුපියල් 725 ක පාලන මිලක්ද පවතිනවා. මේ නිසා සියයට 15 ක වැට් බද්දක් පැනවීම තුළින් තමන්ට අධික අලාභයක් දැරීමට සිදුවන බවයි කිරිපිටි ආනයනකරුවන් කියා සිටියේ. මෙම ගැටළුව පිළිබඳ ලබන සතියේදී මුදල් අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මෙරට ප්‍රධාන පෙළේ ආනයනික කිරිපිටි සමාගමක ප්‍රකාශකයෙකු සඳහන් කළා. දියර කිරි සඳහා වැට් බදු සංශෝධනය අදාළ නොවීම  හොඳ තත්ත්වයක් බවයි ආනයනකරුවන්ගේ  අදහස වී ඇත්තේ.

කෙසේ වෙතත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කේ.කේ.අයි.එරන්ද පෙරේදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ සීනි සහිත සියලු කිරිපිටි සඳහා වැට් බදු අන්තර්ගත බවයි

දෙමළ වෙබ් අඩවියක් අත්හිටුවයි

නීතිවිරෝධී ලෙස කටයුතු කළ දෙමළ වෙබ් අඩවියක් තාවකාලිකව අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

අදාළ වෙබ් අඩවිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

අදාළ වෙබ් අඩවිය උතුරේ අධිකරණවල විනිශ්චයකාරවරු සම්බන්ධයෙන් මතභේදාත්මක තොරතුරු පළ කරන බවට අධිකරණ අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.  ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකළ අධිකරණ අමාත්‍යාංශය මෙම වෙඞ් අඩවියේ පළ කරන ප්‍රවෘත්තිවල ගැටළු සහගත තත්ත්වයක් පවතින බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව සඳහන්.  එම අමාත්‍යාංශය  සිදුකළ මූලික විමර්ශනයේදී මෙම වෙබ් අඩවිය මෙරට ලියාපදිංචි වෙබ් අඩවියක් නොවන අතර විදේශ රටක සිට මෙහෙයවන බවට තොරතුරු ලැබී තිබෙනවා.  ඒ අනුව ඒ පිළිබඳව වැඩිදුර සොයාබැලීමක් සිදුකළ යුතු බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය වී ඇත්තේ.  එම නිර්දේශය අනුව විදුලි සංදේශ නියාමන කොමිසම මගින් අදාළ වෙබ් අඩවිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

මේ අතර මෙම වෙබ් අඩවියේ පළකළ ප්‍රවෘත්තිවලට විරෝධය පළ කරමින් පසුගිය 20 වනදා උතුර පළාතේ ප්‍රදේශ කිහිපයක නීතීඥවරුන් විරෝධතා ද පවත්වනු ලැබුවා.

පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි

ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ නියාමන කටයුතු මහජන උපයෝගීතා කොමිසන් සභාවට බාරදීම සඳහා වන කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය හිමිව තිබේ.

මීට අදාළ පනත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියාමන කටයුතු කොමිසන් සභාව විසින් සිදු කරනු ඇත.

හම්බන්තොට කලා ගම්මානයක් ඉදිවෙයි

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ නව කලා ගම්මානයක් ඉදි කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ නිවාස අහිමි කලාකරුවන් වෙනුවෙන් මෙම කලා ගම්මානය තුළ නිවාස ඉදි කරදීමට සැළසුම් කර ඇති බවයි.

ලබන වසර තුළ මෙම කලා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන් කරයි.