ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක්?

ඇමෙරිකාවේ සිටින නිලධාරීන් 35 දෙනකු පිටුවහල් කිරීමටත් ඇමෙරිකාවේ තිබෙන රුසියා බුද්ධි අංශ ඒජන්සි දෙකකට සම්බාධක පැනවීමටත් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකා ජනපතිවරණයේදී අනවසරයෙන් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මේ තීරණය ගත් බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් දක්වා වර්ධනය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය මත පළකරයි.

මේ අනවසර ඇතුළු වීම සම්බන්ධයෙන් ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් වෙත චෝදනා කළ අතර ඇමෙරිකා බුද්ධි අංශ පැවසුයේ ඔහු ඩිමොක්‍රටික් පක්ෂය වෙත හතුරුකම් කරන බවයි.මීට ප්‍රතිචාර දක්වමින් ඔබාමා පැවසුයේ මීට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

“අපි මේ තීරණය ගන්නේ  නිළ වශයෙනුත් පෞද්ගලිකවත් රුසියාවට අනතුරු ඇඟවීමෙන් පසුවයි.සියලුම ඇමෙරිකා වැසියන් රුසියාවේ ක්‍රියා ගැන අවධානයෙන් සිටිය යුතුයි.

පූටින්ගේ ක්‍රියා ප්‍රශංසා කළ ලබන මාසයේදී නව ජනාධිපති ලෙස පත්වීමට සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තීරණය අවලංගු කරනු ඇතැයි විචාරකයෝ මත පළ කරති.

-Lankadeepa

මෛත්‍රී මහින්ද හිටපු අගමැතිට අවසන් බුහුමන් දක්වති

අභාවප්‍රාප්ත හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායකගේ දේහයට  අවස්ථා දෙකක දී මෛත්‍රිපාල සිරිසේන ජනපති හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අවසන් ගෞරව දැක්වුහ.

-Lankadeepa

2017 දී ආණ්ඩුව පෙරළනවා – මහින්ද

2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියාසිටියි.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා අද කොළඹ දී ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බවයි පෙන්වා දුන්නේ.

-BBC

සසිකලා: තමිල්නාඩු දේශපාලනයේ “අලුත් අම්මා”

තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනිය ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් (ADMK) පක්‍ෂයේ මහ ලේකම් තනතුරට සසිකලා නටරාජන් තේරීපත් වෙයි.

තුන් දශකයකට ආසන්න කාලයක් තිස්සේ ජයලලිතාගේ විශ්වාසනීය මිතුරිය වූ සසිකලා ප්‍රසිද්ධියට පත්ව සිටියේ “චින්නම්මා” (පුංචි අම්මා) යන නාමයෙනි.

-BBC

මැති – ඇමති වාහන හඳුනා ගැනීමට හඳුන්වාදෙන අලුත්ම ක්‍රමවේදය

පාර්ලිමේන්තු මැති – ඇමතිවරුන්ගේ වාහන හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ වාහනවල ඉදිරිපස වීදුරුවෙහි විශේෂ සලකුණක් සහිත ස්ටිකරයක් ඇලවීමට තීරණය වී තිබෙනවා.

එමගින් ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් බවට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වනු ඇති. රාත්‍රී කාලයේදීත්, පැහැදිලිව ප්‍රදර්ශනය වන ආකාරයේ විශේෂිත කඩදාසියක අදාළ ස්ටිකරය මුද්‍රණය කිරීමටයි තීරණය වී ඇත්තේ. ලබන වසරේ සිට අදාළ යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඡායාරූපය ද ඊට ඇතුළත් කිරීමට දැනට යෝජනා වී තිබෙනවා. මේ වන විටත් අදාළ අනන්‍යතා පත්‍ර ලබා ගැනීමට කැමැත්ත පළ කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා ඉල්ලුම් කර ඇති බවටයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

කටුනායක විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලය වැසේ

කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුලුව ජනවාරි පළමුවනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන බව එම කාර්යාංශය නිවේදනය කළා.

ගුවන් තොටුපලේ නවීකරණ කටයුතු ඊට හේතුවයි. ඒ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකිකයන් අදාළ ලියාපදිංචිකිරීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලවලින් සිදුකරගත යුතුයි.

රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්තවෙයි

මෙරට හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන රත්නසිරි වික්‍රමනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන්  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මීට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 83කි.

ශ්‍රී ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් දෙදෙනාගෙන් අයෙකු ලෙස ඔහු සැලකුණු අතර අනෙක් දේශපාලනඥයා වන්නේ හිටපු තවත් අගමැතිවරයෙකු වන දිමූ ජයරත්න මහතාය.

ඒ අනූව හිටපු අග්‍රාමාත්‍ය  දිමු ජයරත්න මහතාද පසුගිය 20 වැනිදා රත්නසිරි වික්‍රමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝහලට ගොස් තිබුණි.

රත්නසිරි වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨතම උපදේශකවරයෙක් වශයෙන් මෙන්ම නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙක් ලෙසද කටයුතු කළේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විදුර වික්‍රමනායක මහතා ඔහුගේ පුත්‍රයෙකි.

2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු එවකට ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස රත්නසිරි වික්‍රමනායක මහතා කටයුතු කළ අතර 2010 වසරේදී නැවත මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වූ පසු අගමැතිවරයා ලෙස පත්කරනු ලැබුවේ දිමූ ජයරත්න මහතාය.

-Adaderana

තැපෑල අද සිට යළි වැඩ

තැපැල් වැඩ වර්ජනය නතර කර සියලුම තැපැල් සේවකයන් අද (22 දා) සිට සුපුරුදු පරිදි රාජකාරියේ නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්‌ඩාර මහතා ‘දිවයින’ ට ඊයේ (21 දා) පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ චින්තක බණ්‌ඩාර මහතා පැය 48 ක තැපැල් වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානයේ සහ රට පුරා තැපැල් කාර්යාලවල සිරවී ඇති ලක්‍ෂ 15 කට අධික සියලුම ලිපි සහ පාර්සල් අද සිට කඩිනමින් බෙදා හැරීමට කටයුතු කරන බව පැවසීය.

ප‍්‍රභා ගනේෂන්ට නව තනතුරක්

පසුගිය රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රභා ගනේෂන්ව වන්නි දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස පත් කර තිබේ.

අදාළ පත්වීමේ ලිපිය ඔහු වෙත භාරදුන්නේ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් විසින්.

සංවර්ධන විශේෂ විධි විධාන පනත පෙබරවාරියේ පාර්ලිමේන්තුට

සංවර්ධන විශේෂ විධි විධාන පිළිබඳ පනත් කෙටුම්පත ලබන පෙබරවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය.
එසේම එම පනත් කෙටුම්පත මඟින් සුපිරි අමාත්‍යධූරයක් ඇති කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ අනිසි ලෙස බලය යොදා ගැනිමට නොව මෙරට ආයෝජනය කරනු ලබන දෙස් විදෙස් ආයෝජකයන් සඳහා පහසුකම් ඇති කිරීම සඳහා බවද ඒ මහතා සඳහන් කළේය.
එසේ ඇති කරනු ලබන නව අමාත්‍යංශය ආයෝජකයන් සම්බන්ධීකරණය ලබන නියෝජිතායතනයක් ලෙස කටයුතු කරනු ඇති බවත් මියන්මාරය වැනි රටවල් එවන් නියෝජිතායතන හරහා ඩොලර් බිලියන ගණනක් ලාභ උපයන බවත් හෙතෙම කීය.
රටේ සංවර්ධනය උදෙසා සද්භාවයෙන් කටයුතු කිරීම එම නව සුපිරි අමාත්‍යධූරයේ  කාර්යය බැවින් අමාත්‍යධූරය දරන කාලය තුළදී කරනු ලබන කටයුතු සදහා නඩු පැවරීමක් කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අද (21) අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේය.