අන්ටේ ලෙකෝ සුහුරු මනු නිෂ්පාදනාගාරය අගමැති අද විවෘත කරයි

ලංකා විදුලි පුද්ගලික සමාගම යටතේ ක්රියාත්මක කෙරෙන අන්ටේ ලෙකෝ සුහුරු මනු නිෂ්පාදනාගාරය අග්රාමාත් රනිල් වික්රමසිංහ මහතා විසින් බණ්ඩාරගම දී අද (30)හවස විවෘත කෙරේ.

ලංකා විදුලි පුද්ගලික සමාගම සහ චීනයේ අන්ටේ සමාගම එක්ව ඉදි කෙරුණු මෙම කර්මාන්ත ශාලාව අද විවෘත වූ මොහොතේ පටන් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන අතර වසරකට සුහුරු මනු ලක්ෂ දහයක් නිෂ්පාදනය කෙරේ.

2016 වසරේ වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු මුල් ගල් තබා ඉදි කිරීම් ආරම්භ වූ මෙම කර්මාන්ත ශාලාව වසරක් ඇතුළත ඉදි කිරීම් කටයුතු අවසන් කර නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම විශේෂත්වයකි.

ලංකා විදුලි බල මණ්ඩලය මගින් විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන් දැනට පාවිච්චි කරන විදුලි මනුව වෙනුවට මෙම සුහුරු විදුලි මනුව ස්ථාපිත කිරීමට නියමිතය.

දෙවැනි වරටත් උතුරු දුම්රිය මඟ හරහා පීල්ලක්

කඩාකප්පල්කාරින් පිරිසක් උතුරු දුම්රිය මාර්ගය හරහා දෙවන වතාවටත් රේල් පීල්ලක් දමා දුම්රිය අනතුරකට ලක් කිරීමට දැරූ උත්සාහයක් වළක්වා ගැනීමට කන්කසන්තුරයේ සිට කොළඹ දක්වා ධාවනයවූ රාත්රී තැපල් දුම්රියේ රියැදුරා සමත් විය.

පසුගිය (27) වනදා අලුයම 12.25 පමණ උතුරු දුම්රිය මාර්ගයේ ශ්රාවස්තිපුර හා තලාව අතර පිහිටි තලාව වැවේ වාන් බෝක්කුව ආසන්නයෙන් මෙම දුම්රිය පීල්ල දමා මග අහුරා තිබී ඇති අතර දුම්රිය ඉදිරිපස පිහිටි කව්කැචරයේ (කුල්ල) රේල් පීල්ල ගැටීමෙන් කව්කැචරයට බරපතළ හානී සිදුවී තිබෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

පසුගිය දෙසැම්බර් මස 25 වනදා කොළඹ සිට වව්නියාව දක්වා ධාවනයවූ රජරට රැජන ශිඝ්රගාමී දුම්රියටත් එවැනිම අනතුරකට මුහුණ පෑමට සිදුවූ අතර ශ්රාවස්තිපුර දුම්රිය ස්ථානයට ආසන්න යෙන් සිදුවූ අනතුරෙන් දුම්රියට හා දුම්රිය මාර්ගයේ සංඥා කේබල්වලට හානි සිදු විය

27 වනදා අලුයම සිදුවූ අනතුර සම්බන්ධයෙන් දුම්රිය රියැදුරා හා නියාමකවරයා විසින් තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර සැකකරුවන් සොයා පරික්ෂණ සිදු කරයි.පසුගිය මාසයේ කඩාකප්පල්කාරීන් සිදුකළ අනතුර සම්බන්ධයෙන්ද දුම්රිය දෙපාර්තුමේන්තුව අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කළත් එම සැකකරුවන්ද මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

කොළඹින් අක්කර 8ක් විකුණනවා

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක් බදු සහන යටතේ විදේශීය සමාගමකට අලෙවි කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරයි.

කොම්පඤ්ඤවීදියේ අක්කර 8ක භූමියක් විදෙස් සමාගමකට විකිණීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ රජය මේ වන විට පෞද්ගලික දේපල ද විදෙස් සමාගම් වෙත අලෙවි කිරීමේ නිරතව සිටින බවයි.

එමෙන්ම වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාව දූෂිත රටවල් වර්ගීකරණ දර්ශකය ඇතුළු අනෙකුත් දර්ශකවල පහළ ස්ථානයකට වැටී ඇති බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ කටයුතු ගැන සාකච්ඡාවක්

දේශපාලන පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද(30) පැවැත්වීමට නියමිතය.

අද(30) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉදිරි මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව ද සඳහන් වේ.

විශේෂයෙන් සීමා නීර්ණය කොමිසන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරෙන බව ද වාර්තා වේ.

සිංහල , දෙමළ ,මුස්ලිම් ජනයා වෙන් කිරීමෙන් ගැටුම් මතුවෙයි

සිංහල , දෙමළ මුස්ලිම් ජනතාව ඔවුනොවුන්ගෙන් වෙන් කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකදීම මෙරට තුළ ගැටුම් හටගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පිළියන්දල ,සිද්ධමුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ මෙරට තුළ පැවැති සභ්‍යත්වය සහ සාරධර්ම ක්‍රමයෙන් ඇත්වෙමින් පවතින බවය.

රංජන්ට එරෙහි විරෝධතා – රාජ්ය නිළධාරීන් කොළඹට කැඳවයි

ගම්පහ දිස්ත්‍රික් ලේකම්, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇතුළු නිළධාරින් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත කැඳවා ඇති බව වාර්තා වෙයි.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් ප්‍රාදේශිය ලේකම්වරියට බැණ වැදිමේ සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරිම හා සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා එම කැඳවිම සිදු කර ඇති බව ස‍ඳහන් වෙයි.

අද පස්වරුවේ අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පැවැත්විමට නියමිතයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල නිළධාරින් අද උදෑසන සිට සංකේත වැඩ වර්ජනයක නිරත වී ඇත.

මාර්ගයේ එක් මංතීරුවක් අවහිර කරමින් ඔවුහු විරෝධතාවයේ යෙදි සිටින අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්වරියට බැන වැදීමේ සිදුවීමට විරෝධය දක්වමින් ඔවුහු මෙම විරෝධතාව සංවිධානය කර තිබේ.

අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පල කිරිම එහි අරමුණ වන අතර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ද නිළධාරින් පවසයි.

වර්ජනයට සමගාමිව අද ප්‍රදේශ කිහිපයක රජයේ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණ ද සංවිධානය කර තිබුණි.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සිදුවන මෙම වර්ජනය හේතුවෙන් රාජකාරි කටයුතු සිදු කර ගැනිම සඳහා පැමිණි බොහෝ පිරිසක් දුෂ්කරතාවට ලක්ව ඇති බව ද වාර්තා වෙයි.

පිටුවහල් කළ ලාංකිකයාට යුරෝ 30000ක වන්දියක්

ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවල් හා සරණාගතභාවය ඉල්ලා සිටියදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් 2013 වර්ෂයේදී පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයෙකුට යුරෝ 30,000 ක වන්දි මුදලක් ගෙවන ලෙසට ජිනීවාහි මානව හිමිකම් සඳහා වන යුරෝපා අධිකරණයක් ස්විට්සර්ලන්ත රජයට නියෝග කර ඇතැයි ජිනීවාහි තානාපති ආරංචි මාර්ග පවසයි.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන මොහු එම සංවිධානයෙන් ඉවත් වී 2009 දී සිය බිරිඳ සහ දරුවන් සමඟ ස්විට්සර්ලන්තයට පැමිණි තිබේ.

අනතුරුව එරටින් පිටුවහල් කිරීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී තමා ඇතුළු පවුලේ අය කටුනායක ගුවන්තොටුපොළේදී වද හිංසා හා හිරිහැරයන්ට ලක්වූ බවත් ඔහු අධිකරණයට පවසා ඇත.

එලෙස පිටුහවල් කිරීම මානව හිමිකම් පිළිබඳ යුරෝපා සම්මුතිය කඩ කිරීමක් බව තීන්දු කළ අධිකරණය නඩු ගාස්තු වෙනුවෙන් තවත් යුරෝ 4,770 මුදලක් ද ගෙවන ලෙසටත් නියෝග කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

නිදහස් දිනයට ක්රියාත්මක රථ වාහන සැලැස්ම

පෙබරවාරි 04 වන දිනට යෙදෙන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් අද(28)  සිට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

ශ්‍රී ලංකාවේ 69 වැනි නිදහස් දින සැමරුම ඒළැඹෙන 04 දා ගාලුමුවදොරදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර වසා තැබෙන මාර්ග හා විකල්ප මාර්ග එහිදී මහ ජනතාව වෙත හඳුන්වාදී තිබේ.

ඒ අනුව අද උදෑසන 7.00 සිට දහවල් 12.00 දක්වා මාර්ග කිහිපයක් වසාදැමෙන අතර පෙබරවාරි 1, 2 සහ 3 යන දිනවලදී ද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

යාපනය වෙඩි තැබීම – පොලීසියේ පස්දෙනා යළි රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්. සදීෂ්වරන් මහතා නියෝග කළ බව යාපනය පොලීසිය සඳහන් කළේය.

සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය විසින් කරන ලද පරීක්ෂණ අත්හිටුවා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව යාපනය මහේස්ත්‍රාත්වරයා  ඉදිරියේ කරණු දක්වමින් අවධාරණය කළේය.

එමෙන්ම අදාළ  සිසුන් දෙදෙනාගේ දෙමාපියන් ඇතුළු ඥාතීන් වෙත පොලීසියෙන් යම් අකටයුත්තක් හෝ බලපෑමක් සිදුව ඇති නම් ඔවුනට ඒ බව අධිකරණයට හා පොලිස්පතිවරයා වෙත පැමිණිලි කළ හැකි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කර තිබේ.

පසුගිය ඔක්තෝබර් මස 21 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබුණි.

සිද්ධියට අදාළව එදින රථ වාහන රාජකාරියේ නිරතව සිටි යාපනය පොලීසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

හොර පාරෙන් ළමයින් ඇද්ද තවත් පාසල් 15ක් ගැන විමර්ශන

කොළඹ රාජකීය විද්‍යාලයට අමතරව අක්‍රමිකතා සිදුව ඇති බව කියන තවත් ජනප්‍රිය පාසල් 15ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළු කිරීමේදී සිදු වූ වංචා සම්බන්ධයෙන් ජාතික පාසල් 15ක ලිපි ලේඛන අමාත්‍යංශය වෙත ගෙන්වාගෙන මූලික පරීක්ෂණ අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසල්  කිහිපයක් මෙන්ම මහනුවර පාසලක් ද ඒ අතර වන බව වාර්තා වෙයි.

මෙම සිදුවීමට අදාළව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර වරදකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කිරීමකින් අනතුරුව  අට දෙනෙකකුගේ වැඩ තහනම් කරනු ලැබිණි.