ස්වයං බැංකුකරණ ඒකක දුම්රිය ස්ථාන 300ක්

ශ‍්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු ස්ථානයක සවිකොට නොමැති අති නවීන තාක්ෂණයෙන් සපිරි ස්වයං බැංකුකරණ ඒකක 300ක් දුම්රිය පොළ ස්ථාන 300ක සවිකිරීමෙන් මහජන බැංකුවටත්,  දුම්රිය  දෙපාර්තමේන්තුවටත් පොදුවේ රටේ පොදු ජනතාවටත් සුවිශාල සේවා පහසුකමක් සැලසෙන බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා  මහතා මේ අදහස් ප‍්‍රකාශ කළේ මහජන බැංකුවේ නව ස්වයං බැංකුකරණ ඒකක 300ක් දුම්රිය ස්ථාන වල ස්ථාපිත කිරීමේ දැවැන්ත වැඩපිළිවෙළ සඳහා ද්විපාර්ශික ගිවිසුමට බත්තරමුල්ල පිහිටි ප‍්‍රවාහන අමාත්‍යාංශයේදී අත්සන් තැබීමේ උත්සවයට එක්වෙමිනි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කළ යුතුව තිඛෙනවා.  අපි ඒ සඳහා වැඩ කොටසක් සිදු කරමින් ඉන්නේ.  ඒවාගේම දුම්රියපොළ ස්ථාන දර්ශනීය අලංකාර,  පොදු ජනතාවගේ සිත් ගන්නා තැනැක් බවට පත්කිරීමේ වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි.  මගී ජනතාවට අවශ්‍ය සෑම පහසුකමක්ම ලබාදීමටයි  අපි කටයුතු කරන්නේ.  ඒ අනුව ගතානුගතික ක්‍රමවේදයට දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ලබා ගැනීමේ පිළිවෙතින් මිදී වඩාත් කාර්යක්ෂම,  පහසු නව ක්‍රමවේදයක් අපි ඉදිරියේදී හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා.යැයි  ප‍්‍රවාහන ඇමතිවරයා පැවසීය.

එහිදී ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද කියා සිටියේය,

මේ රටේ ජනතාව ඩිජිටල් තාක්ෂණය සමඟ ඉදිරියට යමින් ඉන්නේ.  අපට තවම 18 වැනි ශතවර්ෂයේ ඉන්නට බැහැ.  පැරණි විදිහට මුදල් ගණන් කර කර,  මිටි බැද බැද ඉන්න බැහැ.  ඒවා ඔක්කොම එකතු කරලා සංරක්ෂිතව,  කාර්යක්ෂමව,  කඩිනමින්,  සැනින් බැංකු වෙත යවන වැඩ පිළිවෙළකට අපි යන්න ඕනෑ.  ජනතාවට සුරක්ෂිත ඒවාගේම නවීන තාක්ෂණයට අනුව මුදල් ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය අපි සකස් කරලා දෙන්න ඕනෑ.  රාජ්‍ය අංශයේ බැංකුවක් වන මහජන බැංකුව අද අප සම`ග අත්වැල් බැදගෙන නව තාක්ෂණය අපේ මගී ජනතාවට උරුම කරදීමට ඉදිරිපත්වීම අගය කරනවා.  ඒ පිළිබඳව අපි රජයක් හැටියට මහජන බැංකුවේ සැමට ස්තූතිය පුදකරන්න  කැමතියි.  මේ නව වැඩපිලිවෙළ දුම්රිය මගීන්ට උත්තේජයක් බවට පත් වෙයි කියා අපි සිතනවා.  දුම්රිය ස්ථාන ඉතා කාර්යබහුල තැනක් බවට පත්වෙනවා.  දුම්රිය ස්ථානයට එන යන ගමන් විදුලි බිලත් ගෙවාගෙන,  සල්ලි ඕන නම් ස්වයංක්‍රීය ටෙලර් යන්ත‍්‍රයෙන් සල්ලිත් අරගෙන ආරක්ෂිිතව ගෙදරට යන්න ජනතාවට පුළුවන්කම ලැඛෙනවා.  බස් නැවතුම්පොළට ගියවිට මගී ජනතාවට මේ අත්දැකීම ලබා ගන්න බැරි වෙයි.

දුම්රිය ස්ථාන තුළ මෙය ආරක්ෂිතයි. අපිට ශක්තිමත් ආරක්ෂිත සේවාවක් වැඩ පිළිවෙළක් තිඛෙනවා.  ඒ සියලු දෙනාගෙම සහයෝගයෙන් අපට හොඳ සේවාවක් ජනතාවට සලසලා දෙන්න පුළුවන්කම තිඛෙනවා.

අපි දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය වෙන්න ඕනෑ.  දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ලබාදීම ගතානුගතික ක්‍රමවේදයටම සිදුවෙන්න උවමනා නැහැ.  පහසු කමයට ටිකට් ලබාදෙන ක්‍රමයක් අපි හඳුන්වාදෙන්න ඕනෑ.  ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් ඉන්නවා.

අපිට ඒ සඳහා රාජ්‍ය අංශයේ බැංකුවක් වන මහජන බැංකුව අත්වැල් බැඳ ගැනීම වටිනවා.  රාජ්‍ය බැංකුවල තිරසාර පැවැත්ම අපි අගය කරනවා.  රටේ ආර්ථික අර්බුදයක් ඇති වූ හැම වේලාවකදීම භාණ්ඩාගාරයට උදව් කරන්නේ රාජ්‍ය බැංකුයි.  අද මහජන බැංකුවේ සභාපතිධූරය දරන්නේ දුම්රියට ආදරය කරන කෙනෙත්.  දුම්රිය ඉතිහාසය පිළිබඳව හොඳට දන්න කෙනෙක්.  ඒ නිසා එතුමා සම`ග එතුමා නායකත්වය ලබාදෙන මහජන බැංකුවත් සමඟ කටයුතු කිරිමට ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා.

දුම්රිය ජාතික කෞතුකාගාරය ඉදිකිරීමට මහජන බැංකුව කැමැත්ත පළකර තිඛෙනවා.  දුම්රිය දෙපාර්තමේන්තුවට අපිට එය විශාල ප‍්‍රගමනයක් ගෙන දෙන්නක්.  එය ඉතාම වැදගත් .  දුම්රිය ඉතිහාසයට ඒ ගැන අපි සතුටුවෙනවා.

මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා — අද දුම්රිය දෙපාර්තමේන්තුවට වාගේම අපේ මහජන බැංකුවටත් ඵෙතිහාසික අවස්ථාවක්.  දුම්රිය මගීන්ගේ පහසුව සඳහා අපි අද දැවැන්ත වැඩපිලිවෙළක් ආරම්භ කිරිමටයි පියවර ගන්නේ.  අපි මේ සවිකරන්නේ අති නවීනතම තාක්ෂණයෙන් යුතු ලංකාවේ පළමුවරට හඳුන්වාදෙන ස්වයංක්‍රීය මුදල් ගැනීමේ හා තැන්පත් කිරීමේ  යන්ත‍්‍ර.  ඒ්වාගේම විදුලි,  ජල,  දුරකථන බිල්පත් ගෙවීමට හැකි පහසුකම් තිඛෙන ස්වයංක්‍රීය  යන්ත‍්‍ර සවි කරනවා.

දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස දහස් සංඛ්‍යාත මගී ජනතාවට බැංකු සේවා පහසුකම් කාර්්‍යක්ෂමව දුම්රිය පළේදී සිදුකරන්නට මින් හැකියාව   ලැබෙනවා.

මේ අවස්ථාවට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර,  මහජන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර් යන මහත්වරු ඇතුළු  පිරිසක් එක්ව සිටියහ.

 

 

මංගල අද මානව හිමිකම් සමුළුව අමතයි

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද(28) ජීනිවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතව තිබේ.

34 වන ජීනිවා මානව හිමිකම් සමුළුව ඊයේ(27) දිනයේ ආරම්භ වු අතර එය ලබන 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබදව මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් සමුළුව දැනුවත් කිරීමට නියමිතව තිබේ.

රජයේ සංහිදියා කාර්යය සාධක බලකාය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළිබදව මෙන්ම ජීනිවා යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය කාලය ලබාදීම පිළිබදව ද මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මානව හිමිකම් කවුන්සිලය දැනුවත් කරනු ඇත.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් වීමට නියමිතව තිබේ.

 

ෆුල් ෆේස් හෙල්මට් තහනමක් නැතැයි යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් කියයි

යතුරුපැදිකරුවන් ආරක්ෂිත හිස් වැසුම් පැළඳීමේදී අනුගමනය කළ යුතු නීති සම්බන්ධයෙන් ප්රවාහන අමාත්යංශය පසුගියදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයෙන් ෆුල්ෆේස් හෙල්මට් තහනම් කර නොමැති බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ ලේකම් චිරන්ත අමරසිංහ මහතා පවසයි.

අඳුරු නොකළ ෆුල්ෆේස් හෙල්මට් පැළඳ ඕනෑම තැනක යා හැකි බවත් එවැනි අවස්ථාවක පොලිස් නිලධාරීන්ගෙන් ගැටලුවක් ඇතිවුවහොත් 0773083479 අංකයට දැනුම් දෙන ලෙසත් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය යතුරුපැදිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
ප්රවාහන අමාත්යංශය පසුගිය සිකුරාදා (24) නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින් යතුරුපැදිකරුවකු ආරක්ෂිත හිස් වැස්මක් පැළඳිවිට එහි කිසිදු කොටසකින් එම තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපැහැදිලිවීමක් හෝ සැඟවීමක් නොවිය යුතු බව සඳහන් කර ඇතැයි ආරක්ෂක හිස් වැසුමක වර්ණය පැහැදිලිව පෙනෙන බාහිර මතුපිටින් කිසිදු ආලෝක පරාවර්තනයක් නොවන එකක් විය යුතු බව අමාත්යංශය එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇතැයි  අමරසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
පසුගිය වසරේ ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරමින් පැනවූ නීතියට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින අතර මේ වනවිටත් අධිකරණය විසින් එම තහනමට වාරණයක් පනවනු ලැබ ඇත.

බන්ධනාගාර බසයට වෙඩි තැබීමෙන් 6 ක් මරුට

කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත රැඳවියන් රැගෙන එමින් තිබූ බන්ධනාගාර බස් රථයකට කළුතර එතනමඩල ප්රදේශයේ දී වෑන් රියක් හරස්කොට අද (27) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුවූ බව කළුතර දකුණ පොලිසිය කියයි.

අරුණ උදයශාන්ත හෙවත් සමයන් නමැති පාතාල සාමාජිකයා ඇතුළු රැඳවියන් පහක් සහ බන්ධනාගාර නිලධාරියකු සිද්ධියෙන් මියගොස් ඇතැයි පොලිස් ඇඳුමින් සැරසී පැමිණි පිරිසක් වෙඩි ප්රහාරය එල්ල කර ඇතැයි බන්ධනාගාර මාධ් ප්රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

රැඳවියන්ගේ ආරක්ෂාවට පසුපසින් පැමිණි බන්ධනාගාර නිලධාරීන් රැගත් තවත් බස් රියකට වෙඩි ප්රහාරය එල්ලවීමෙන් එහි සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

උතුරු මහ ඇමැති විග්නේෂ්වරන්ට හදවත් සැත්කමක්

හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ   පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටින උතුරු මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතාට හදවත් සැත්කමක් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා  ලංකාදීපයට පැවසීය.

හදවත් රෝගී තත්වයෙන් සිටි මහ ඇමතිවරයා මීට දින කිහිපයකට පෙරාතුව කොලඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර එහිදී කරන ලද පරීක්ෂණයකින් අනතුරුව හදවත් සැත්කම කර තිබේ.

මෙම සැත්කමෙන් අනතුරුව විග්නේෂ්වරන් මහතාව වැඩිදුර ප්‍රතිකාර සදහා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර විග්නේෂ්වරන් මහතාගේ සුවදුක් බැලීම සදහා පවුලේ ඥාතීන් හැර සෙසු අයට අවසර ලබා දී නොමැති බවද සිවාජිලිංගම් මහතා  කීවේය.

මාරාන්තික උපවාසයට සන්ධ්යා එක්නැලිගොඩත් සහය දෙයි

වව්නියාව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය සඳහා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද එක් වී තිබේ.

වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක කර ඇති මෙම උපවාසයට අදට(26) දින තුනක් ගත වන බව සඳහන්ය.

උපවාසයට එක්වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සඳහන් කළේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබාදෙන බවට රජය අවස්ථා ගණනාවකදී පොරොන්දු වුව ද මේ වන තෙක් එය ඉටුවී නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් සිය අවධානය යොමුකළ යුතු බව ද  ඇය සඳහන් කළේය.

කාලෝගේ සුවදුක් බලන්න ජනපති යයි

ශ්‍රී  ලංකා වෛද්‍ය  සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ ජාතික රෝහල වෙත ගොස් තිබේ.

අද (26) පෙරවරුවේ රෝහල වෙත ගිය ජනාධිපතිවරයා කාලෝ ෆොන්සේකා මහතාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව සමග කෙටි පිළිසඳරක ද  නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කාලෝ ෆොන්සේකා මහතා පසුගිය සිකුරාදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මරුට-පොලීසියේ 5ක් අත්අඩංගුවට

පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.

ඔවුන් අද දිනයේ කොළඹ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

ඊයේ(25) පස්වරුවේ පෑලියගොඩ පොලීසියේ අපරාධ අංශය මගින් කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ පසුගිය 15වැනිදා වාහන සොරකමකට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සිදුකළ අනාවරණයක් අනූවය.

ඊයේ පස්වරුවේ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගිනි අවියක් පෙන්වීමට ගිය අවස්ථාවේ ඔහු පළායාමට උත්සාහ ගෙන ඇති අතර එහිදී ඔහු හදිසියේ රෝගාතුර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී අදාළ සැකකරු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අද දෙරණ කළ විමසීමකදී සඳහන් කළේය.

කෙසේවෙතත් අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය වුයේ මියගිය පුද්ගලයාගේ  සිරුරේ අධික ලෙස තැලීම් පවතින බවයි.

මෙම මරණය අධික ලෙස රුධිරය වාහනය වීමකින් හෝ ජලය නොමැතිකමින් ඇති වූ මරණයක් බව අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ අතර  සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව අද දිනය ඇතුළත එම පරීක්ෂණය පවත්වා තීරණයකට එළඹෙන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙයි.

ඉදිරි පැය 48 තුළ සුළං තත්ත්වයේ වර්ධනයක්

ත්‍රිකුණාමලය, මඩකළපුව, පොතුවිල්, හම්බන්තොට සහ මාතර සිට කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70ත්, 80ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ ඉදිරි පැය 48ක කාලය තුළ මෙම සුළං තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු විය හැකි බවයි.

මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එහි දැක්වෙයි.

ඇමැති මාරුව කල් යයි

ඉදිරි දින කිහිපයේදී සිදුකිරීමට සැලසුම් කර තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය මාස කිහිපයකින් කල් දැමීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් අතර ඉකුත් සිකුරාදා (3) රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරුන් කිහිප දෙනකුට එල්ල වී ඇති චෝදනා ද සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මුලින් තීරණය කර තිබිණි.

එහෙත් ඉකුත් සිකුරාදා පැවති සාකච්ඡාවේදී ඇතිකරගත් එකඟතා මත කැබිනට් සංශෝධනය මාස කිහිපයකින් කල්දැමීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග වලින් වාර්තා වෙයි.

-Lankadeepa