නිවාස වන්දියේදී සීමා ඉවතට

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් හානියට පත්වූ නිවාස වෙනුවෙන් වන්දි ගෙවීමේදී ඊට අදාළ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. අද (19) පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් උපදෙස්වලට අනුව එම තීරණය ක්‍රියාත්මක වන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව හානියට පත් නිවාසවල සැබෑ වටිනාකම තක්සේරු කිරීමෙන් අනතුරුව එම සම්පූර්ණ වටිනාකම සඳහා මුදල් ලබා දීමට රජ තීරණය කර ඇත.
මේ අතර කසළ කන්ද ආශ්‍රිතව තවදුරටත් අවදානම් සහිත බවට හඳුනා ගත් කලාපවල සිටින පදිංචිකරුවන් වහාම එම කලාපවලින් ඉවත් කර තාවකාලිකව ඔවුන් වෙනත් ස්ථානවල රඳවන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබේ.
එලෙස ඉවත් කළ යුතු පවුල් සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳව මේ වන විට ගණනය කරමින් සිටින බවද අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීය.

උතුරු මැද ප්රධාන ඇමති ශ්රේෂ්ඨාධිකරණයට කැඳවයි

උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුරේ රාජකාරි ආවරණය කිරිම සදහා සුදුසුකම් නොමැති නිළධාරියෙකු දේශපාලන හිතවත්කම් මත පත් කිරීම සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව උතුරු මැද ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු පිරිසකට මැයි 24 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එම පත්කිරීම අභියෝගයට ලක් කරමින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප‍්‍රධාන ඉංජිනේරුවරයෙකු ගොනු  කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේ මෙලෙස නියොග කෙරිණ.

පෙත්සම්කාර ප‍්‍රධාන ඉංජිනේරු ලක්ෂ්මන් චන්ද්‍රසිරි මහතා ස්වකීය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප‍්‍රකාශ කර ඇත්තේ උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි තනතුර හෝ වැඩ බලන සාමාන්‍යාධිකාරි තනතුර දැරීමට වඩාත්ම සුදුසුකම් ඇත්තේ ප‍්‍රධාන ඉංජිනේරුවරයෙකු වන තමන්ට පමණක් බවයි.

උතුරු මැද පලාත් ප‍්‍රධාන ඇමති පේෂල ජයරත්න, උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නීතිඥ විජිත කුමාරසිරි, එහි ප‍්‍රධාන ඉංජිනේරු සී.කේ.ගුනවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.

කොළඹ හඳුනාගත් ස්ථානවලට කුණු දැමීම ගැන බයවෙන්න එපා‘ – ආපදා කළමනාකරණ ඇමැති

කොළඹ නගරයේ කුණු බැහැර කිරීම සඳහා මේ වන විට ස්ථාන හඳුනාගෙන ඇති බවත් එම ස්ථාන වෙත කුණු බැහැර කිරීම සිදුකරන්නේ නව තාක්‍ෂණික හා සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුව වන අතර කසල ප‍්‍රතිචක‍්‍රීකරණ ක‍්‍රමවේදයන් ද අනුගමනය කරන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

එබැවින් මෙම ස්ථානවලට කසල බැහැර කිරීම ගැන බියක් ඇතිකරනොගන්නා ලෙස එම ප‍්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී කසල බැහැර කිරීමේ දී ඒවා වර්ගීකරණය කර සෞඛ්‍යාරක්‍ෂිතව බැහැර කරන බවට කොළඹ නගර සභාව ප‍්‍රකාශ කර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

විරෝධතාකරුවන්ට ඇත්තේ විරෝධතා කිරීම පමණක් වුවත් කැලි කසල ඉවත්කිරීමේ වගකීමක් රජයට ඇති නිසා දැනට හඳුනාගෙන ඇති ස්ථානයන්ට කසල බැහැර කිරීම සිදුකරන බව ද ඔහු කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේදී අද(19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ආණ්ඩුවේ ප්රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම්

ඉදිරි සති දෙක තුළ ආණ්ඩුවේ ප්‍රධාන ආයතනවල ඉහළ තනතුරු රැසක වෙනස්කම් සමගින් රජයේ කටයුතුවල වෙනසක් කරන බව ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට පැවසීය. අද පෙරවරුවේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ  අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

පාස්පෝට් අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමේ වැඩපිළිවෙළක්

ගමන් බලපත්‍ර අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැළසුම්  කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වැඩසටහන සැළසුම් කර ඇති බව වාර්තා වෙයි.

ඒ සඳහා අවශ්‍ය මූලික වැඩ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි පළමු පියවර ලෙස ගමන් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා වන අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ යොමු කිරීමට අවස්ථාව ලබාදීමට සැළසුම් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී මුදල් ගෙවීමේ කටයුතු ක්‍රෙඩිට් කාඩ් මඟින් සිදුකිරීමට ද අවස්ථාව හිමි වනු ඇත.

මෙම වසර අවසන්වීමට පෙර මෙම නව වැඩසටහන හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අලුත්ම පරිගණක වෛරසයකින් ප්රවේසම් වන්න’යි අවවාද

ඊ-තැපෑලක (email) ස්වරූපයෙන් මේ වන විට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි.

තමන්වෙත ලැබෙන සැක සහිත ඊ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.

මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හදුනාගෙන තිබෙන අතර තමන්ට ලැබෙන ඉ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී තම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බව ඒ මහතා කියයි.

ප්‍රවෘත්ති,ශ්‍රව්‍ය,දෘෂ්‍යපට හා පීඩීඑෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්යා-ජ ඊ-මේල් පණිවිඩයක් ඇතැම් විට මෙම වෛරසය විය හැකි බව සංසදය පවසයි.
පරිගණකය මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඊ-මේල් පණිවිඩ ආදිය යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන්   බවට දැක්වෙන බව චන්ද්‍රගුප්ත මහතා කියයි.

තම පරිගණකයේ තිබෙන වැදගත් ලිපිගොණු පිංතූර දත්ත තොරතුරු තවත් තැනක පිටපත් කර තැබීම(backup) වඩාත් ආරක්ෂාකාරී බවත් එසේම තම පරිගණකයේ ස්ථාපිත කර තිබෙන වෛරස් ගාඩය නිරන්තරයෙන් යාවත්කාලීන කර ගැනීම උචිත වන බවත් සංසදය පවසයි.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් ලැබී තිබෙන බව සංසදය කියයි. වැඩිදුර තොරතුරු  සඳහා www.cert.gov.lk  පිවිසෙන ලෙස සංසදය පවසයි.

 

මීතොටමුල්ලේ දේපල හානිවූවන්ට නීති ආධාර නොමිලේ දෙන්න නීතිඥ සංගමය සූදානම්

ප‍්‍රාදේශීය දේශපාලනඥයින් විශාල වශයෙන් මුදල් උපයා ගන්නා මීතොටමුල්ල කුණු කන්ද නිසා ප‍්‍රදේශයේ මහජනයාට තවදුරටත් පීඩාවන් වීම වැළැක්වීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් කුණු බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි ක‍්‍රමවේදයක් ඇති කළයුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා පවසයි.

එසේම එම ව්‍යවසනයෙන් පීඩාවට පත් වූවන්ට ඔවුන්ගේ දේපළ අහිමිවීම් ,අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධයෙන් ගත යුතු නීතිමය ක‍්‍රියාමාර්ග වෙනුවෙන් අවශ්‍ය නීති ආධාර නොමිලේ සැපයීමට තම සංගමය ඉදිරිපත් වන බවද  ඒ මහතා කියයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (18) කොළඹ අලූත්කඬේ පිහිටි එම සංගම් මූලස්ථානයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“මෙම ව්‍යවසනයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූවන්ට අපරාධ විධි විධාන සංග‍්‍රහය යටතේ මහජන පීඩාව යන නඩු නිමිත්ත හරහා නඩු පැවරීමේ හැකියාවක් පවතිනවා.“
“මේ ප‍්‍රශ්නය ඔඩුදිවීම වැළැක්වීමට නීතීඥ සංගමයේ සාමාජිකයෙකු වන නීතීඥ නුවන් බෝපගේ මහතා තනිවම සටන ගෙන ගිය අයෙක්.ඔහු ඉතාම උනන්දුවෙන් ක‍්‍රියාශීලීත්වයෙන් මෙම ගැටලූවට විසඳුම් සෙවීමට උත්සාහ කළත් දේශපාලනඥයින් තීන්දු තීරණ ක‍්‍රියාවට නැංවීමේ අලසකම ,නිලධාරීවාදය නිසා මෙය මහා ව්‍යවසනයක් බවට පත් වුණා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

මීතොටමුල්ලට බාල මිනී පෙට්ටි දීපු එකට ඇමති කිවුව දේ

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් පසුව මියගිය දාහතර දෙනකුගේ අවමංගල් උත්සවයට ප්රමිතියෙන් තොර බාල මිනී පෙට්ටි ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව ආපදා කළමනාකරණ අමාත් අනුර ප්රියදර්ශන යාපා පවසා තිබෙනවා.

මෘත දේහ තැන්පත් කිරීම සඳහා ගෙනගිය මිනී පෙට්ටි කැඩී ඇති බවත් එම මිනී පෙට්ටිවල ලී ගැලවී තිබූ බවත් එම අවස්ථාවේ මාධ්යට පෙන්වීමට මහජනතාව කටයුතු කර තිබුණා.

මේ සඳහා ආපදා කළමනාකරණ අමාත්යාංශයේ නිලධාරී මණ්ඩලයක් පත් කර කෙළොන්නාව, මීතොටමුල්ල ප්රදේශයට ඊයේ (18දා) පිටත් කළ බවද අනුර ප්රියර්දර්ශන යාපා මහතා සඳහන් කර ඇති අතර ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ සිද්ධියෙන් මියගිය පිරිසගේ අවමංගල් කටයුතු රජයේ වියදමින් ඉතා උසස් මට්ටමෙන් සිදුකරන ලෙසට උපදෙස් ලබා දී තිබියදී සඳහා ප්රමිතියෙන් තොර මිනී පෙට්ටි මිලදී ගෙන ඇති බවට තමාට තොරතුරු ලද සැණින් මේ විශේෂ පරීක්ෂණය ආරම්භ කළ බවද අමාත් අනුර ප්රියදර්ශන යාපා මහතා අදහස් දක්වමින් පවසා තිබුණා.

එමෙන්ම තමන්ගේ මියගිය සමීපතමයින්ගේ දේහයන් තැම්පත් කිරීමට අදාළ මිනී පෙට්ටි, නිවැසියන්ටම තෝරා ගැනීමටද අවස්ථාව දෙන ලෙසට කොළොන්නාව ප්රාදේශීය ලේකම්වරයා දැනුවත්කර තිබූ බව අමාත්යවරයා සඳහන් කරනවා.

කරදියාන කසළ අංගනයට කසළ බැහැර කිරීම තාවකාලිකව නතර කරයි

විරෝධතාවක් හේතුවෙන් කොළඹ එක්රැස් වන  කැලි කසළ පිලියන්දල, කරදියාන කසළ අංගනයට බැහැර කිරීමේ කටයුතු මේ වන විට තාවකාලිකව නතර කර ඇති බව කරදියාන කසළ අංගනයේ ව්‍යාපෘති කළමණාකරු ධනුක විජේරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ අද (19)උදෑසන කාලයේදී කසළ බැහැර කිරීම සිදුකළද පෙරවරු 9.30 සිට පමණ ආරම්භ කළ විරෝධතාව හේතුවෙන් කසළ බැහැර කිරීමේ කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවූ බවය.

කොළඹ එක්රැස් වන  කැලි කසළ පිලියන්දල, කරදියාන කසළ අංගනයට බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් සහ දේශපාලනඥයින් පිරිසක් එක්ව මෙම විරෝධතා සංවිධානය කර තිබේ.

විරෝධතාකරුවන් මේ වන විට කරදියාන කසළ අංගනයට පිවිසෙන බොරුපන මාර්ගයේ පාලම අසල රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත වන බව අද  දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

 

මීතොටමුල්ල 98 දෙනෙකුට ගෙවල් දෙනවා – භාණ්ඩ ගන්න ලක්ෂ දෙක හමාරක් දෙනවා

මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් අවතැන්වූ 98 දෙනෙකුට නිවාස සාදාදීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

දැනටමත් සාදා ඇති නිවාස 60ක් ලබාදීමට කටයුතු කරන බවත්, ඉතිරි නිවාසද කඩිනමින් සාදා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම නිවාසවලට ගෘහ භාණ්ඩ ලබාගැනීම සඳහා රු.ලක්ෂ දෙක හමාර බැගින් ලබාදීමට රජය සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් මේවන විට තීරණය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එසේ වුවද මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය හෝ අවතැන්වූ පිරිස් වෙත ලබාදෙනු ලබන වන්දිවල සීමා  සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරයන් ගෙනයනු දකින්නට ලැබුණත්, එවැනි සීමා සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නැති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

තක්සේරු කටයුතු ආරම්භවූයේ ඊයේ දිනයේ බැවින් තවමත් තක්සේරු කටයුතු අවසන්ව නොමැති තත්ත්වයක් තුළ කිසිසේත්ම වන්දි සීමා සම්බන්ධයෙන් තීරණය කළ නොහැකි බවත්, අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මෙම අනතුරෙන් අවතැන්වූ පවුල් සංඛ්‍යාව 245ක් බවත්, පුද්ගලයින් 1059ක් බවත්, මිය ගිය පිරිස්වල සිරුරු 32ක් හමුවී ඇති බවත්, තුවාල ලැබූවන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත්, අතුරුදහන් පිරිස 8 දෙනෙකු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

පූර්ණ වශයෙන් නිවාස 79ක් හානියට පත්ව ඇති බව හා අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 19ක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙවන් අවාසනාවන්ත සිදුවීම් යළි සිදුනොවන්නට කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවත් අනුර යාපා මහතා සඳහන් කළේය.

දැනට තාවකාලිකව හඳුනාගත් ස්ථාන කිහිපයකට කසළ බැහැර කිරීමේ කටයුතු සිදුවන බවත්, එහිදී ඇතැම් ස්ථානවල කසළ බැහැර කිරීමට එරෙහිව විරෝධතා පැවැත්වෙන බවත සත්‍යයක් වන නමුත් විරෝධතාකරුවන්ට මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් වගකීමක් නොමැති බවත්, ඒ නිසාම රජයේ ස්ථාවරය මත කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.