වර්ෂාව වැඩිවී ගංගවතුර අනතුරු ඇඟවීම් නිකුත් කෙරෙයි

දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් වර්ෂාව නිසා ගංගාවල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟින බැවින් ප්‍රධාන ගංගා දෙපස ජීවත්වන ජනයාට ඒ සම්බන්ධයෙන් ආධානයෙන් සිටින ලෙස උපදෙසක් දී තිබේ.

ගිං ගඟ මේ වනවිටත් පිටාර මට්ටම ඉක්මවා තිබෙන අතර කළු ගඟ, කැළණි ගඟ සහ නිල්වලා ගඟ දෙපස සිටින ජනයාට ගංවතුර තත්ත්වයකදී ගනු ලබන ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටින ලෙසත් දැනුම් දී තිබේ. කළු ගඟ දෙපස පිහිටි රත්නපුර, ඇලපාත, කුරුවිට, කිරිඇල්ල, අයගම මෙන්ම ඉංගිරිය, බුලත්සිංහල, පාලින්ද නුවර සහ කළු ගඟ පහළ පෙදෙස්වල සිටින පිරිස් සඳහාත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රත්නපුර, කෑගල්ල සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.

බත්තරමුල්ල අවට රජයේ සේවකයින්ට එන්න යන්න සහන වෙලාවක්

බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාලසීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් අනුව මෙම තීරණය ගෙන ඇත.

එම ප්‍රදේශයේ  කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත්, පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව හෙළි වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකි වන පරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලවල සුනම්‍ය කාර්යාල වේලාවන් සහිත නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීම පිණිස එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට බලය පැවරීමටත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

-අද දෙරණ

චීනයෙන් යුවාන් මිලියන 400 ක ප්‍රදානයක්

චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා යුවාන් මිලියන 400 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාව වෙත ලබාදීම සඳහා වූ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ චීන සංචාරයේ අවසන් දිනය වූ ඊයේ බීජිං නුවරදී මෙම ගිවිසුම අත්සන් තැබූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. මේ අතර, ආර්ථිකය ගොඩනැගීම සඳහා ඇති එකම විකල්පය අපනයන ශක්තිමත් කිරීම පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.  අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ දකුණු ආසියානු කලාපීය කාන්තා වානිජ හා කර්මාන්ත සංගමයේ උත්සවයකට කොළඹදී අද එක්වෙමින්.

-හිරු නිව්ස්

ජෛව ඉන්ධන විදුලිබලාගාර ත්‍රිකුණාමලයේ දී විවෘත වෙයි

ටෝකියෝ සිමෙන්ති සමාගමේ නවතම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය අද (05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රිකුණාමලයේ දී විවෘත කරන ලදි. පුනර්ජනනීය ජෛව ඉන්ධන භාවිතයෙන් දැවැන්ත කර්මාන්තශාලා ක‍්‍රියාත්මක කරවිමේ ශ‍්‍රී ලංකාවේ  පුරෝගාමී කර්මාන්තකරුවා වූ ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් බිලියන 2.5 ක් ආයෝජනය කරමින් මෙම ජෛව ඉන්ධන විදුලිබලාගාර ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත.

මෙම ව්‍යාපෘතියෙන් ගිගාවොට් 70 ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කරනු ඇත. ප්‍රජා මූලික ව්‍යාපාර සංකල්පය යටතේ සපයා ගැනෙන කෘෂිකාර්මික අමුද්‍රව්‍ය භාවිතයෙන්   මෙම බලාගාරයේ  විදුලිබල උත්පාදනය කෙරේ.විදුලිබලාගාර ව්‍යාපෘතිය විවෘත කිරීමට එක්වු ජනපති ටෝකියෝ සිමෙන්ති සමාගම සුනාමියෙන් අවතැන්වූවන් වෙනුවෙන් පිරිනැමූ නිවාසවල නිවාසලාභීන් වෙත ඔප්පුද ප‍්‍රදානය කළේය.-ලංකාදීප

සෙනෙට්‌ සභාවේ සෙංකෝලයේ නිර්මාතෘ පියතිලක කලුරිය කරයි

සෙනෙට්‌ සභාවේ සෙංකෝලය නිර්මාණය කළ රඹුක්‌කන දොඹේමඩ පදිංචිව සිටි ඇස්‌වෙද නයිදලාගේ පියතිලක මහතා අසනීපව සිට කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (04 දා) අභාවප්‍රාප්ත වී ඇත.

අවුරුදු 88 ක්‌ වයසැති ඒ මහතා ඔහුගේ කුඹුරක වැඩ කරමින් සිටියදී කකුලක තිබූ තුවාලයකට විෂබීජයක්‌ ඇතුළුවීමෙන් මිය ගොස්‌ ඇති බව කෑගල්ල රෝහල් ආරංචිමාර්ග පැවසීය.

පියතිලක මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා හමුවී තමා හැදු සෙංකෝලය බලා ගැනීමටද ආශාවක්‌ ඇති බව දැන්වීමෙන් පසු එය ඔහුගේ අතට ලබාදී ත්‍යාගද පිරිනමන ලදී.

පියතිලක මහතා දරුවන් හය දෙනකුගේ පියෙකි.

රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු සේවයෙන් සමුගනී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් (විදුලි හා විද්‍යුත් ඉංජිනේරු) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සිය 35 වසරක සේවය නිමා කරමින් අද (4) දින විශ්‍රාම යන ලදී. නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව සම්ප්‍රදායානුකූල නාවික හමුදා සම්මාන ආචාරයක් පැවැත්විණි.

රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා සම්ප්‍රදායානුකූලව රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා කැටුව යාමෙන් පසු, සහෘද නිලධාරීහු සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීයාට සමුදුන්හ.

1982 වසරේ දී කැඩෙට් නිලධාරියකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් වසන්ත ප්‍රනාන්දු මහතා විවිධ නිලතල දරමින් සිය අභිමානවත් සේවා කාලය තුළ නාවික හමුදාවට විශිෂ්ඨ සේවයක් කළ නිලධාරියෙකි.

-ලංකාදීප

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට සිතාසි යවයි

අධිකරණයට අපහාස කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට ලබන 22 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් අද (05) සිතාසි නිකුත් කරන ලදී.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ලබා දෙන වෛද්‍ය උපාධිය පිළිගෙන, එම උපාධිය ලබාගත් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා  දුන් තීන්දුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය විසින් විචේනය කිරීම හේතුවෙන් අභියාචනාධිකරණ අධිකාරි බලය හෑල්ලුවකට ලක් කර ඇතැයි සඳහන් කරමින් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඔහුට සුදුසු දඩුවමක් නියම කරන ලෙස  ඉල්ලා සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙක අභියාචනාධිකරණයට ගොනු කළ පෙත්සම අද (05) සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ සහ එස්. තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවිණි.

සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වන මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා නම් කරනු ලැබ සිටිති.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට කරුනු දක්වමින් කියා සිටියේ සයිටම් ආයතනයට උපාධි පිරිනැමීම සඳහා බලයක් ඇති බව ප්‍රකාශ කර තිබියදී ,ඉකුත් 07 වැනිදා කොළඹදී පැවති මහජන සම්මන්ත්‍රණයකදී වගඋත්තරකාර වෛද්‍යවරයා එම නඩු තීන්දුව විවේචනය කරමින් කරුණු දක්වා ඇති බවය.

එමඟින් වගඋත්තරකාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා අධිකරණයට බරපතල අපහාසයක් කළ බවත් ,එයින් අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සම්කාර නීතීඥවරයා පෙන්වා දුන්නේය.

-ලංකාදීප

මැයි රැලිවලට ජනගංගා….

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂවල බලය පෙන්වීමේ සටනක්‌ බවට පත්කරගනිමින් ඊයේ (01 වැනිදා) ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් පවත්වනු ලැබූ මැයි දින රැලිවලට ජනගංගාවන් ගලනු දැකිය හැකි විය.

ඇතැම් මැයි පෙළපාලි රැස්‌වීම් අවසන් වනවිටත් නිමාවට පත්වී නොතිබුණි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඊට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන වත්මන් රජයේ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ද සහභාගි වූහ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි දින රැලිය කොළඹ කැම්බල් පිටියේදී පැවැති අතර ඊට එක්‌සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්‌ෂ නායකයන් එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන වත්මන් රජයේ ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එම රැලිය සඳහා පැමිණි පාක්‍ෂිකයන්ගෙන් ගෝල්ෆේස් පිටිය පිරීගොස්‌ තිබුණි.

ජනතා විමුක්‌ති පෙරමුණ මැයි දින රැලිය කොළඹ බී. ආර්. සී ක්‍රීඩාපිටියේදී පක්‍ෂනායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පක්‍ෂයේ සෙසු සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ජවිපෙ මැයි දින පෙළපාලිය දෙහිවල එස්‌. ද එස්‌. ජයසිංහ ක්‍රීඩාපිටිය අසලින් ගමන් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය

 

 

 

 

 

 

 

 

එක්‌සත් ජාතික පක්‍ෂය

 

 

 

 

 

 

 

 

ඒකාබද්ධ විපක්‍ෂය

 

 

 

 

 

 

ජනතා විමුක්ති පෙරමුණ

මැයි රැළිය පැවති භූමිය පිරිසිදු කිරීමට ජනපතිත් එක්වෙයි

ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කළ මැයි රැළි ඊයේ පැවැත්වුණේ කොළඹ සහ මහනුවර ආශ්‍රිතවයි.

මැයි රැලි පැවති ක්‍රීඩාංගන හා ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සංවිධායකයින්ගේම මැදිහත් වීමෙන් සිදුවීම මෙවර දක්නට ලැබුණු විශේෂත්වයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම කටයුතු සදහා එක්ව සිටියා. ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි රැලි පැවති ක්‍රීඩාංගණ හා ඒ අවට මැයි රැලි අවසානයේ පැවති ශෝචනීය තත්ත්වය පිළිබදව අප පසුගිය වසරේදී පෙන්වා දුන්නා. කෙසේ වෙතත් මාධ්‍ය හරහා මේ පිළිබදව පෙන්වාදීමත් සමග මැයි රැලි සංවිධායකයින්ගේ අවධානය මේ වසරේදී ඊට යොමුවීම සතුටට කරුණක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි රැලිය මෙවර පැවැත්වුණේ මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදීයි. රැලිය අවසානයේ එම ක්‍රීඩාංගනය පිරිසිදු කිරීම සදහා සංවිධායක මණ්ඩලය පියවර ගනු ලැබුවා. එස්.බී දිසානායක, අමාත්‍ය දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මේ සදහා එක්ව සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පෙරවරුවේ ගැටඹේ ක්‍රීඩාංගනයේ පිරිසිදු කිරීමේ කටයුතු සදහා එක්වුණා.

-හිරු නිව්ස්

පවතින උණුසුම් කාලගුණය නිසා කොළඹ ජාතික රෝහලෙන් අනතුරු ඇඟවීමක්

පවතින උණුසුම් කාලගුණයත් සමග හිරු එළියට වැඩිපුර සිරුර නිරාවරණය කර තැබීමෙන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

අදාළ රෝගී තත්ත්වයන් පිළිබඳව පැහැදිළි කරමින් ඔහු කියා සිටියේ අධික උණුසුම හේතුවෙන් හිසරදය, ක්ලාන්තය, විඩාව වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවයි. පිරිසිදු ඇඳුම් භාවිත කිරීම, නියමිත ප්‍රමිතියෙන් යුත් අව් කණ්නාඩි භාවිතය, ජලය නිතර නිතර පානය කිරීම එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා ගතයුතු පියවර බවයි වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ. මේ අතර කොළඹ – ගාලූමුවදොරපිටියේ පැවැති මැයි රැළියට සහභාගි වූ අවස්ථාවේදී හදිසියේ රෝගාතුර වී ජාතික රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයින් තුන්දෙනා ප්‍රතිකාර ලබා අද දිනයේ රෝහලෙන් පිටව ගිය බව ද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා. එමෙන්ම මෙම මැයි රැළියට සහභාගිවූ දෙදෙනෙකු අධික තෙහෙට්ටුව හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා. ඔවුන් මහනුවර සහ නිවිතිගල ප්‍රදේශවල පදිංචිකරුවන්. කෙසේ වෙතත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අද හෙළිවුණේ ඔවුන් හෘදයාබාධයකින් මියගොස් ඇති බවයි. මේ අතර කැම්බල් පිටියේ පැවැත්වූ මැයි රැළියට පැමිණ යළි තම නිවෙස වෙත පිටත්ව ගිය පුද්ගලයෙකු ඔහු ගමන් ගත් බස්  රථයෙන් වැටී අද අලූයම මියගොස් තිබුණා. ඒ, සීගිරිය – පිදුරංගල ප්‍රදේශයේදියි.

-හිරු නිව්ස්