උතුරේ ගැටළුව විසදෙද්දී, උතුරුමැද සභාපතිටත් විශ්වාසභංගයක්

තමන්ට විරුද්ධව භාර දුන් දිවුරුම් ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමට එකඟවීම ඇතුළු සාධනීය පිළිතුරු ලැබීම හේතුවෙන් පළාත් සභාවේ මතුව ඇති ගැටළුව බොහෝදුරට නිරාකරණය වී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

සිය නිළ නිවසේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. මේ අතර, උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වී තිබූ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස් කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධාන නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ලිපියක් මගින් ප්‍රධාන අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා. ඊට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙස ඔහු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වෙත දුරකථනයෙන් දැනුම් දුන් බව ද සඳහන්. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් සහ යාපනය ප්‍රධාන හින්දු පූජක ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳුමකට ගෙනඒමට හැකි වූ බව ද විපක්ෂ නායක ආර්. සම්බන්ධයන් එම ලිපියෙන් තවදුරටත් පෙන්වා දී තිබෙනවා. මේ අතර, උතුර පළාත් ප්‍රවාහන හා සෞඛ්‍ය අමාත්‍යවරුන්ට මාසයක කාලයක් නිවාඩු ලබාදීම සඳහා ගත් තීන්දුව ඉවත් කර ගත් බව උතුර මහඇමති සී.වී. විග්නේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් වෙත ලිපියක් මගින් ඊයේ දැනුම් දුන්නා.   මොවුන් දෙදෙනා අතර හුවමාරු වූ 5 වන ලිපිය මෙය වන අතර චෝදනා එල්ල වී නොමැති උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සම්බන්ධයෙන් වගකීමක්  භාර ගන්නේ නම් තමන් ඔවුන්ට ලබා දී තිබූ නිවාඩුව අවලංගු කරගත හැකි බව ලිපියක් මගින් මහඇමති සී.වී. විග්නේෂ්වරන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට දැනුම් දී තිබුණා.මේ අතර, උතුරුමැද පළාත් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන එම්.ආර්. සිරිපාලට එරෙහිව ද විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව එහි විපක්ෂ නායක අනිල් රත්නායක පවසනවා. විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්. පළාත් සභාපතිවරයා විශ්වාසය කඩ වන ආකාරයෙන් කටයුතු කර ඇති බව පවසමිනුයි අදාළ විශ්වාසභංගය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ.

වාහනවලින් මහමඟ කුණු දමන අයට වැඩ වරදී – කොළඹින් 17ක් අත්අඩංගුවට

වර්ගීකරණයට ලක් නොකළ කුණු කසල සුඛෝපභෝගී මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදිවලින් මහමඟට ගෙනවිත් දමන පුද්ගලයින් වීඩියෝ සහ ඡායාරූප ගත කර ඇති බවත්, ඉදිරියේදී ඔවුන් පිළිබදව තොරතුරු අනාවරණ කරන බව කොළඹ මහනගර සභාව පවසනවා.

එහි නාගරික කොමසාරිස් වී.කේ. අනුර සඳහන් කළේ ඊයේ දිනයේදී පමණක් එලෙස මහමඟට කුණු බැහැර කළ පුද්ගලයින් 17 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම බාහිර කණ්ඩායමක් විසින් කුණු කසල ගෙනවිත් දමා කොළඹ නගරය අපිරිසිදු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවට ද ඔහු ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.   මේ අතර, කොළඹ නගරයේ ස්ථාන කිහිපයක කුණු කසල ගොඩ ගැසී තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දක්නට ලැබුණු අතර ප්‍රදේශවාසීන් සඳහන් කළේ කසල රැගෙන යාම සඳහා නගර සභාවේ කම්කරුවන් නොපැමිණි බවයි. කෙසේ වෙතත්, කසල එකතු කරන කම්කරුවන් කියා සිටියේ ජනතාව කසල වර්ගීකරණය නොකර එකම අසුරණයක සියලුම කසල වර්ග ගෙනවිත් දැමීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි.

-හිරු නිව්ස්

ඩෙංගු මඩින්න, ඕස්ට්‍රේලියානු බැක්ටීරියාවට අමතරව, ජපානයෙන් එන්නත්

විදේශීය බැක්ටීරියාවක් මගින් ඩෙංගු රෝගය මුළුමනින්ම පාලනය කිරීමට හෝ මර්දනය කිරීමට නොහැකි බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පවසනවා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ජපානයේ නිෂ්පාදිත එන්නතක් කෙරෙහි මේ වන විට සෞඛ්‍ය අංශවල අවධානය යොමුව ඇති බවයි. එම එන්නත් දෙකක් ලබා දීම තුළින් ඩෙංගු උවදුර වළක්වා ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු කියා සිටියා. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය දා ප්‍රකාශ කළේ ඩෙංගු මර්දනය කිරීම සඳහා  ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත බැක්ටීරියාවක් ඉදිරියේදී උපයෝගී කර ගන්නා බවයි. මේ වන විට දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් රැසක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන් පිරී පවතින බවටයි වාර්තා වන්නේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීම ද මේ වන විට සීමා කර ඇත්තේ උණ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන්. එමෙන්ම ඩෙංගු රෝගීන් වැඩිවීම හේතුවෙන් රෝගීන් ඇතුළත් කර ගැනීම නවතා දැමූ අයි.ඩී.එච්. රෝහල වෙත පැමිණෙන උණ රෝගීන් ජාතික රෝහල, කළුබෝවිල සහ රාගම ශික්ෂණ රෝහල්වලට මෙන්ම තලංගම රෝහල වෙත යොමු කෙරුණා. වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගය වැළදීමෙන් පුද්ගලයින් 200කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති අතර, තවත් 64,000කට ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියේ.

-හිරු නිව්ස්

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(19) රාත්‍රී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති බව වාර්තාවේ.

මෙහිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද මෙම සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

බලය බෙදිම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවයකට පැමිණ ඇති අතර ඉදිරියේ දී මේ පිළිබද තවදුරටත් සාකච්ඡා කිරීමට යෝජනා වී තිබේ.

නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර කඩිනමින් අවසන් එකඟතාවයකට පැමිණීමට මෙහිදි යෝජනා වී ඇති බව වාර්තා වේ.

-අද දෙරණ