ප්‍රමුඛතා මංතීරු ක්‍රමය රටපුරා

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමවේදය ඉදිරියේදී දිවයින පුරා ක‍්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම ක‍්‍රමවේදය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කිරීම අද (15) අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එයට සමගාමීව වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් අද සිට මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වේ.

ගාලූ පාරෙත්, බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේත්, බොරැල්ලේ  සිට මරදාන දක්වාත්, 138 මාර්ගයේ යම් කොටසකත්  එය කි‍්‍රයාත්මක කරන්නට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.

රටක දියුණුව මැනෙන්නේ පුද්ගලික වාහන ප‍්‍රමාණය මත නොව කොපමණ ප‍්‍රමාණයක් පොදු ප‍්‍රවාහනය භාවිත කරනවා ද යන්න මත බව අමාත්‍යවරයා කියයි.

දුම්රිය සේවය නවීකරණය කරමින් කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් කිරීම,සැහැල්ලූ දුම්රිය හඳුන්වාදීම ආදිය ඉදිරියේදී සිදුකරන බව ද ඒ මහතා කීය.

උතුරේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ – හමුදාපති

උතුරු දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ්  සේනානායක මහතා  පැවසීය.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ අද  කොළඹ දී  පැවති මාධ්‍ය හමුවකදී  ය.

උතුරේ  පුනරුත්තාපනය නොවු එල් ටී ටී ඊ සමාජිකයින් 200 දෙනකු පමණ සිටින බවත් උතුරේ පසුගිය කාලයේ ඇති වු යම් යම් සිද්ධීන් වලට මොවුන්ගේ සම්බන්ධයක් තිබේද යන්න සහ මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද යන්න  මාධ්‍යවේදියකු  හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

උතුරේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයින් 1963 දෙනකු සිටින බවත් තවත් 200 දෙනකු පමණ යම් යම් හේතු මත පුනරුත්ථාපනය වී නොමැති බවත්  හමුදාපතිවරයා කියා සිටියේය.

එම පිරිස පුනරුත්ථාපනය නොවුවද උතුරේ ඇති වු සිද්ධීන් වලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයන් ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද හෙතෙම කියා සිටියේය.

යාපනය මහධිකරණ විනිසුරුවරයාගේ  ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට පැරණිම එල් ටී ටී ඊ  සාමාජිකයිකු සම්බන්ධ වී සිටියද එම සිද්ධිය  අනපේක්ෂිත වු  සිදුවීමක්  බවද හමුදාපතිවරයා කීය.

මෑත කාලේ උතුරු සිදුවූ සිදුවීම් වලට කිසිදු එල් ටී ටී ඊ සමාජියකු සම්බන්ධවී නොමැති බවද හමුදාපතිවරයා ස`දහන් කළේය.

ශිෂ්‍යත්වයට අදාළව උපකාරක පන්ති-සම්මන්ත්‍රණ-වැඩමුළු තහනම්!

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම හෙට(16) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අගෝස්තු මස 20 වන ඉරිදා දිනයේ විභාගය පවත්වා අවසන් වන තුරු මෙම තහනම ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

ඒ අනුව අදාළ කාලය තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට  හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් වෙයි.

කිසියම් පුද්ගලයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශවයක් මෙම නියෝග නොසලකා කටයුතු කලහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස්වරයා පවසයි.

මෙම නියෝගය උල්ලංඝණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දිය හැකි බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

උතුරු පළාතේ ආරක්ෂාව ගැන සාකච්ඡාවක්

උතුරු පළාතේ ආරක්ෂාව සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහ උතුරේ පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී අද(15) උදෑසන එම සාකච්ඡාව පැවති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

පසුගිය කාලයේ උතුරු පළාතේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

පළාතේ ආරක්ෂාව හා සාමය සුරක්ෂිත කිරීම වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

නැවත උතුරු පළාතේ ආරක්ෂාව බිඳ වැටීමට ඉඩ ලබා නොදිය යුතු බවට ද ප්‍රධාන අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

ලන්ඩනයේ බිග්බෙන් නිහඬ වෙයි

පසුගිය වසර 157 පුරා අඛණ්ඩව ලන්ඩන්වාසීන්ට වේලාව සලකුණු කළ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසු කුළුණ අගෝස්තු 21 වන දා නිහඬ වන බවට විදෙස් වාර්තා දක්වනවා.

සිව් වසරක කාලයක් සඳහා බිග්බෙන් ඔරලෝසු කුළුණ නිහඬ වන්නේ එහි අලුත්වැඩියා කිරීම් සඳහායි.

කෙසේවෙතත් නව වසර උදාව වැනි වැදගත් අවස්ථාවන්හිදී එය නාද කිරීමට බලධාරීන් පියවර ගනු ඇති.

සිව් වසරක් නිහඬවීමට පෙර බිග්බෙන් කුළුණේ අවසන් නාදයට කන් දීම සඳහා ලබන සඳුදා, තේම්ස් නදියේ ඉවුරේ පිහිටි වෙස්මිනිස්ටර් මැදුරේ සිට පාර්ලිමේන්තුව දක්වා ප්‍රදේශයට එක්රැස් වන ලෙස ජනතාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

මීටර් 96ක් උසැති එළිසබෙත් කුළුණේ රදවා ඇති බිග්බෙන් ඔරලෝසුව ටොන් 13.7ක බරකින් යුක්තයි.

සයිටම් නිසා අගතියට පත් පාර්ශවයන්ට GMOAවෙන් ආරාධනාවක්

සයිටම් ආයතනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් අගතියට පත් සියලු පාර්ශවයන් වෙත විසඳුම් ලබා දීම සඳහා සාකච්ඡාවක් වෙත පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරාධනා කරයි.

මේ සම්බන්ධයෙන් විවෘත ලිපියක් මාධ්‍ය වෙත නිකුත් කරමින් එම සංගමය පවසා සිටින්නේ එහිදි මුලික පාර්ශව තුනක් කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

ඒ අනුව සයිටම් ආතනයේ වංචාවට හසුවු එම ආයතනයේ ඉගෙනුම ලබන සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන්, රාජ්‍ය විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨවල ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමව්පියන් හා වෛද්‍ය සභාව පිළිගත් විදේස විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා කර පැමිණ සිටින විදේශ වෛද්‍ය උපාධිධාරින් හා ඔවුන්ගේ දෙමව්පියන් මෙම පාර්ශවයන් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හඳුන්වා දෙයි.
සියලු සාධනීය තත්ත්වයන් යටතේ හෝ ගැටළුව නිමා කර අගතියට පත්ව සිටින සියලු පාර්ශවයන්ට සාධාරණත්වයක් ඉටු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ද අද(15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.
මේ අතර සයිටම් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටිය දී රජය නැවත වතාවක් සයිටම් ආයතනයට පාලක මණ්ඩලයක් පත් කර ඇති බවත් එවැනි රට රවටන ක්‍රියාවන් හේතුවෙන් සිදුවන විෂමාචාරයන්ට එරෙහිව අද දිනයේ දී අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කිරීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැමිණියේය.

විදෙස් කටයුතු තිලක් මාරපනට

විදෙස් කටයුතු අමාත්‍යධූරය සඳහා සංවර්ධන කාර්යභාර අමාත්‍ය තිලක් මාරපන මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමත් සමඟ හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වු විදෙස් අමාත්‍යධූරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර ඇත.
2017 මැයි 22 වන දින තිලක් මාරපන මහතා සංවර්ධන කාර්යභාර අමාත්‍යවරයා වශයෙන් එම අමාත්‍යධූරයේ වැඩ බාර ගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම සංවර්ධන කාර්යභාර අමාත්‍යධූරය ලැබීමට පෙර තිලක් මාරපන මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඔහු ද සිය අමාත්‍යධූරයෙන් 2015 නොවැම්බර් 9 දින ඉල්ලා අස්විය.

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි

හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාට  සහ රාජපක්ෂ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව එල්ලවී  ඇති  චෝදනා සම්බන්ධයෙන්  සිදුකැරෙන පරික්ෂණ කඩිනම්  කිරිමට  රජය තීරණය කර  ඇතැයි වාර්තා වේ.

රජය මෙම තීරණය එළබී ඇත්තේ  හිටපු  ජනාධිපතිවරයාට  සහ ඔහුගේ  පවුලේ  සාමාජිකයන්ට එරෙහිව එල්ලවී  ඇති  චෝදනා  පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී  ලෙස සිදුකෙරෙන බව එක්සත්  ජාතික පක්ෂයේ  පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක්  දිගින් දිගටම කරුණූ  දැක්වීමේ ප්‍රතිළුලයක්  වශයෙන් දැනගන්නට  තිබේ.

යහපාලන රජය බලයට  පත්වී  මේ  වන විට  වසර  දෙකහමාරක්  ගතවී  ඇතත් හිටපු  ජනපතිට සහ ඔහුගේ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව කිසිදු  පරික්ෂණයක්  තවමත්  අවසන් වී  නැති  බවද ඔවුන්  පෙන්වාදී  ඇත.

පසුගිය සතියේ  පැවති  කැබිනට්  රැස්වීමේදීත්  ඇමැතිවරුන් කීප දෙනෙකු  මේ සම්බන්ධයෙන්  අදහස්  දක්වා  ඇතැයි වාර්තාවේ.

ඇමැති ෆයිසර්ට විශ්වාසභංගයක්

පළාත් සභා හා පළාත්  පාලන ඇමැති  ජනාධිපති නිතිඥ ෆයිසර්  මුස්තාපා  මහතාට  විරුද්ධව ඉදිරිපත්  කරන විශ්වාසභංග යෝජනවා කෙටුම්පත් කිරිම ඊයේ (13) ඇරැඹූ බව බදුලු  දිස්ත්‍රික්  එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි  මහතා  පැවසීය.

මැතිවරණ කල්දැමීම, දුෂිතයන්  රැකීම හා මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවේ දී  අසන ප්‍රශ්නවලට  පිළිතුරු  නොදී  මඟහැරීම යනාදී  පදනම්  කරගෙන මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිප්ත කරන බව කී  විජේසිරි මහතා  මේ විශ්වාසභංග යෝජනාවට  සහය දීමට  ආණ්ඩු  පක්ෂයේ  හා විපක්ෂයේ  මන්ත්‍රීවරු  රැසක්  දැනටමත්  කැමැත්ත පළකර  ඇතැයි ද ප්‍රකාශ කළේය.

ෆයිසර් මුස්තාපා  ඇමැතිවරයාට විරුද්ධ විශ්වාසභාංග යෝජනාවක්  ඉදිරිපත්  කරන බව චමින්ද විජේසිරි මහතා  ඉකුත් 9 වැනි දා  පාර්ලිමේන්තුවේ දී ද ප්‍රකාශ කළේය.

‘විශ්වාසභංගවලට අපේ සහායක් නෑ‘ – අමරවීර

විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාට හෝ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් කවුරු හෝ ගෙන එනවා නම් ඊට තම පක්ෂය සහයෝගය නොදෙන බවත් එම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කාරණා විශ්වාස භංගයක් ගෙන ඒමට තරමේ බරපතල කාරණා නොවන බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද(14) රන්නේ දී පැවසීය.