ශ්‍රී ලාංකිකයෙක් ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායකට ගොඩබස්සවයි

එමිරේට්ස් ගුවන් සේවයට අයත් A380 වර්ගයේ එයාර්බස් යානයක් අද (14) පස්වරුවේ දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑවේය. මෙහි ඇති විශේෂත්වය නම් කටුනායක ගුවන්තොටුපළේ ධාවන පථය පුළුල් කිරීමේ නවීකරණ කටයුතුවලින් පසු ඊට ගොඩබෑ විශාලතම මගී ගුවන්යානය මෙය වීමයි.

A380 යනු එයාර්බස් සමාගම විසින් දැනට නිපදවා ඇති විශාලතම මගී ගුවන් යානයයි. මෙය තට්ටු දෙකකින් යුක්ත වේ. එය ගුවන් සේවා පංති තුනක් යටතේ මගීන් 555 දෙනෙකු හෝ තනි ඉකොනොමි පංතියක් යටතේ මගීන් 853 දෙනෙකු සමඟ වරක දී ගුවන්ගතවීමට සමත් යානයකි. ඒ ප්‍රධාන කොටසේ මගීන් 538 ක් හා ඉහළ කොටසේ මගීන් 315 ක් වශයෙනි.

අද දින කටුනායක ගුවන්තොටුපළට ගොඩ බෑ යානය ඉකොනොමි, ව්‍යාපාරික හා පළමු යනා දී වශයෙන් පංති තුනකින් සමන්විත සුඛෝපභෝගී මගී ගුවන් යානයක් වේ. ඩුබායි හා කොළඹ අතර වානිජ ගුවන් ගමන් ආරම්භ කරන ලද පළමු A380 යානය ලෙසින් අද පැමිණි ගුවන්යානය ඉතිහාස ගත වනු ඇත.

මෙහි ඇති තවත් සුවිශේෂී කරුණක් වනුයේ මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා ශ්‍රී ලාංකිකයෙකු වීමයි. 57 හැවිරිදි කපිතාන් උදය තිලකරත්න වන මොහු වසර 30 කට ආසන්න කාලයක් පුරාවට ගුවන් නියමුවකු ලෙසින් අත්දැකීම් ඇත්තෙකි.

රවීගේ ඉල්ලා අස්වීම අපේ පළමු ජයග්‍රහණයයි

රවී කරුණානායක මහතා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීම ඒකාබද්ධ විපක්ෂයේ පළමු ජයග්‍රහණය බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි

ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව බලයෙන් පහ කිරීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවයි.

බොරැල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

සයිබර් ආරක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කරයි

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මඟින් සයිබර් ආරක්ෂණ මාසයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊට සමගාමීව වැඩසටහන් රැසක් අගෝස්තු මාසය පුරා ක්‍රියාත්මක වන බව එහි ප්‍රධාන ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේය.

ඒ අනුව ලබන 31 වන දින විදෙස් විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වීමට නියමිත බව ද රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේය.

ඉන්දූනිසියාවට භුමිකම්පාවක්

ඉන්දුනීසියාව ආසන්නයේ රික්ටර් මාපක 6.5ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ඉන්දුනීසියාවේ බෙන්කුලු නගරයට කිලෝමීටර් 73ක් බටහිරින් භූ කම්පනය සිදුව ඇති අතර මරණ හෝ අලාභහානි සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැත.ඉන්දුනීසියානු භූ විද්‍යා හා කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ උදෑසන 10.08ට පමණ සිදුවී ඇති මෙම භූමි කම්පාවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.

භූ කම්පනයේ අපි කේන්ද්‍රය පොළව මට්ටමේ සිට කිලෝමීටර් 35ක් ගැඹුරින් පිහිටා ඇති බවද මෙය තරමක් ප්‍රබල භූමිකම්පාවක් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

(රොයිටර් පුවත් ඇසුරිණි – 085)

ඔක්සිජන් සැපයුම නවතයි-ළමයි 60ක් මරුට

ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් ඉන්දියාවේ ගොරොක්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුවන් 60දෙනකු දින පහක් තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔක්සිජන් සැපයුම්කරුට බිල්පත් ගෙවීම පමාවීම හේතුවෙන් සැපයුම නතර කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පිළිගෙන ඇතත් ඔවුන් පවසන්නේ දරුවන් මියයෑමට එකම හේතුව එය නොවන බවයි. අසාධ්‍ය තත්වයේ පසුවූ දරුවන් ස්වාභාවික හේතූන් මත මියගිය බව ඔවුන් පවසා ඇත.මෙලෙස මියගොස් ඇති දරුවන්ගෙන් වැඩිදෙනෙක් අළුත උපන් බිළිඳන්  බව කියැවේ.බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ පමණක් 30දෙනකු මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ දරිද්‍රතාවය ඉහළ කළාපයක් වන මෙම ප්‍රදේශයේ වසරකට එන්සෙෆලයිටීස් වැනි රෝග හේතුවෙන් දරුවන් සියගණනක් මියයන බව පැවසේ.

සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබේ

(බීබීසී පුවත්)

‘කරපු පව්වලින් මිදෙන්න ඒකාබද්ධයට එන්න‘

තම තමන් කරන ලද පව්වලින් මිදීමට වහාම තනතුරු අතහැර දමා ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති වරුන්ට ආරාධනා කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“වර්තමානය වනවිට රට විශාල අගාදයකට ඇදවැටිලා.අනුරාධපුර ජනතාව නෙළුම් අල ආහාරයට ගන්න තත්ත්වයට පත්වෙලා.දුප්පතුන්ට හිරිහැර රැසක් සිදුවෙනවා.එම තත්ත්වයට රට පත්කිරීමේ පාප කර්මයෙන් මිදෙන්න.“

“ මැති ඇමතිවරුන් කොටා ගන්නවා.විශ්වාස භංග ගේනවා.මට හොරා කියූ අය දැන් අරු හොරා මු හොරා කියනවා.දැන් බලනකොට මුන් ඔක්කොම හොරු කියලා උන් උන්ම කියනවා.රටේ සම්පත් විකුණනවා.මේවා වටින්නේ නැතිනම් විකුණන්නේ කොහොමද?.මේවා විකුණද්දි කොමිස් යන ආකාරය ගැන සොයන්න ඕන.රටේ ජනතාවට බර පටවන්නේ ණය නිසා නෙමෙයි.බැඳුම්කර සොරකම වසා ගන්න.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පියා වෙනුවෙන් පැවැත්වුණූ දානමය පිංකමකට එක්වෙමින් ඒ මහතා මේ බව කිවේය.

යාපනයේ චණ්‌ඩින් කොටුකර ගත්  පොලිසියට මානව හිමිකම් තොප්පියක්‌

යාපනය අර්ධද්වීපයේ සිදුවන ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සහ සැකකටයුතු දෙමළ තරුණයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා යාපනය මානව හිමිකම් කාර්යාලය හමුවේ  වහාම පෙනී සිටින ලෙස යාපනය දිසාව බාර නියෝජ්‍ය පොලිස්‌පති පාලිත ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇත.

එහෙත් යාපනය නියෝජ්‍ය පොලිස්‌පතිවරයා එය ප්‍රතික්‍ෂේප කර ඇති අතර දෙමළ තරුණයන් නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇත්නම් ඒවා තමන් වෙත එවන ලෙස මානව හිමිකම් කාර්යාලයට දැනුම් දී තිබේ.

පසුගිය කාලසීමාවේදී යාපනය අර්ධද්වීපයේදී පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කර ප්‍රහාර ගණනාවක්‌ එල්ල වූ අතර එහිදී එක්‌ පෙලිස්‌ නිලධාරියකු මියගිය අතර තවත් නිලධාරීහු සිව්දෙනෙක්‌ තුවාල ලැබූහ.

හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ‘ආවා’ නමැති පාතාල කල්ලිය සහ තවත් සංවිධානාත්මක කණ්‌ඩායම් විසින් යාපනය අර්ධද්වීපය පුරා විවිධ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා සිදුකරන බව පොලිස්‌ විමර්ශනවලින් හෙළි විය.

මෙම අපරාධ සම්බන්ධයෙන් පොලිසිය මගින් අපරාධකරුවන් රැසක්‌ පසුගිය කාලසීමාවේදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් පසුව අධිකරණයන් වෙත ඉදිරිපත් කර තිබිණි.

එහෙත් යාපනය මානව හිමිකම් කාර්යාලය පවසා ඇත්තේ කිසිම හේතුවක්‌ නොමැතිව පොලිසිය යාපනයේ දෙමළ තරුණයන් අත්අඩංගුවට ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් තම කාර්යාලය වෙත පැමිණිලි රැසක්‌ ලැබී ඇති බව ද යාපනය මානව හිමිකම් කාර්යාලය යාපනය නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට දැනුම් දී තිබේ.

එහෙත් පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසන්නේ යාපනය අර්ධද්වීපයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් නිකරුණේ දෙමළ තරුණයන් කිසි විටෙකත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

ලෝකයේ ප්‍රමුඛ ගුවන් සමාගම් අතර 5 වැනි තැනට ශ්‍රී ලංකන් පත්වෙයි

ගෝලීය පියාසර කිරිමේ නවතම සංඛ්‍යා ලේඛන අනුව , මෙම වසරේ පළමු මාස හය තුළ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වී ඇතැයි ශ්‍රී ලංන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ශ්‍රී ලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කාර්යසාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවත් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන් අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.

බෝනස් මන්ත්‍රීධූරයක් නිසා උතුරේ අර්බුදයක්

උතුරු පළාත් සභාවේ පාලන බලය හිමි දෙමළ ජාතික සන්ධානයට ලැබී ඇති බෝනස් මන්ත්‍රීධූරය සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සිය නියෝජිතයෙකු දෙවන වරටත් පත්කිරීම සන්ධානය තුළ දැඩි අර්බුදයක් ඇතිවීමට හේතු වී ඇතැයි එම සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ලංකාදීපයට පැවසීය.

ප්ලොට් සංවිධානයේ නියෝජිතයකුට ලබාදීමට තිබූ මෙම මන්ත්‍රීධූරය සදහා  තමිල් අරසු කච්චි පක්ෂයේ යාපනය දිස්ත්‍රික් නියෝජිතයකු වන ජයසේකරන් මහතා පත්කර ඇත්තේ 02 වැනිදාය.

මේ හේතුව මත තමිල් අරසු කච්චි පක්ෂයට සෙසු පක්ෂවලින් දැඩි විරෝධයක් මතුවී තිබේ.

2013 වසරේ පැවති උතුරු පළාත් සභා මැතිවරණයෙන් ලද ජයග්‍රහණයට අනුව බෝනස් මන්ත්‍රී ආසන දෙකක් එම සන්ධානයට හිමිවූ අතර ඉන් එක් මන්ත්‍රීධූරයක් සදහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත දේශපාලන පක්ෂ හතරම නියෝජනය වන ආකාරයෙන් වාර්ෂිකව නවක නියෝජිතයෙකු පත්කිරිමට පක්ෂ හතරේම එකඟතාව පලවී තිබිණි.

මේ අනුව බෝනස් අසුනේ ප්‍රථම වසර සදහා ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ මේරි කමලා ගුණසිලන් මහත්මියත්,දෙවන වසර සදහා ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නඩරාජා මහතාත්,තෙවන වසර සදහා ටෙලෝ සංවිධානයේ සෙන්දිල්නාදන් මයුරන් මහතාත් පත්කර අතර අවසන් වසර සදහා ප්ලොට් සංවිධානයයේ වව්නියාව දිස්ත්‍රීක් නියෝජිතයකු පත්කිරීමට  තිබුණි.

2016 2017 වසරේ බෝනස් අසුනට පත්කර සිටි සෙන්දිල්නාදන් මයුරන් මහතාගේ වසරක කාලය අවසන් වී මීට දින කිහිපයකට ඉහතදී ඉල්ලා අස්වූ අතර සදහා ප්ලොට් සංවිධානය වව්නියාව දිස්ත්‍රීක්කයේ සිය නියෝජිතයෙකු පත්කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, මාවෙයි සේනාධිරාජා,එම්.ඒ සුමන්තිරන් ප්‍රමුඛ තමිල් අරසු කච්චි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ මැදිහත්වීම මත ඉලංගෙයි තමිල් අරසු කච්චි පකෂය යාපනය දිස්ත්‍රීක් නියෝජිතයෙකු වන ජයසේකරන් මහතා මේ මන්ත්‍රීධූරයට  පත්කර ඇත්තේ සෙසු පක්ෂවලින් එල්ලවූ විරෝධයද නොතකාය.

අයින් වෙන්න – ජනපතිවරයා රවීට කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

එල්ල වී ඇති චෝදනා හමුවේ රවී කරුණානායක මහතා තවදුරටත් කැබිනට් අමාත්‍යධුරයේ කටයුතු කිරීම ආණ්ඩුවට මෙන්ම රවී කරුණානායක මහතාට ද බරපතල ගැටළුවක් බව ජනාධිපතිවරයා ඔහුට දැනුම් දී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

එබැවින් තිබෙන හොඳම විසඳුම රවී කරුණානායක මහතා ඉල්ලා අස්වීම යැයි ජනාධිපතිවරයා ඔහුට දන්වා ඇති බව රජයේ ඉහළ ආරංචි මාර්ගවලින් පැවසේ.