බෙදුනු දෙමළ සන්ධානය එකතු කරන්න රදගුරු මහන්සි වෙයි

දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් මන්නාරම රදගුරු නිවසේදී අද (11) සවස පැවැත්වී තිබේ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ හටගත් අර්බුදය හා උතුරු පළාත් සභා අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ එහිදී සාකච්ජා කළ බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූහ.
දෙමළ ජාතික සන්ධානය තුළ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ප‍්‍රතිපත්ති පිළිගැනීමට නොහැකි බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වු ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බව පසුගියදා පැවසීය.
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පැවසූවේ පක්ෂයේ ප‍්‍රතිපත්ති අනුව කටයුතු කළ නොහැකි බැවින් තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තනිව තරඟ කරන බවයි.
උතුරු පළාත් ධිවර, ප‍්‍රවාහන හා ග‍්‍රාමීය කටයුතු අමාත්‍යධූරයෙන් හිටපු පළාත් සභා අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අස්කිරීම හා පළාත් සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් හිටපු පළාත් අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් හටගත් ගැටලු පිළිබඳවද සාකච්ජාවේදී සාකච්ජා කළ බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූහ.
සාකච්ජාවන් වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා, ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ‍්‍රිකාන්ත මහතා, ප්ලෝට් සංවිධාන මධ්‍යම කාරක සභා නියෝජිතයින්, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නියෝජ්‍ය නායක ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විනෝ නෝහදාරලිංගම් මහතා, උතුරු පළාත් සභා හිටපු අමාත්‍යවරුන් වන පි.සත්‍යලිංගම් මහතා, පි.ඩෙනිශ්වරන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
දෙමළ ජාතික සන්ධානය තුළ මීට පෙර අර්බුද හටගත් අවස්ථාවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා මැදිහත්වි ගැටලු නිරාකරණය කරනු ලැබීය.
එලෙසම මෙවර දෙමළ ජාතික සන්ධානයේ අර්බුද හටගත් අවස්ථාවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා දෙමළ ජාතික සන්ධාන නායකයින් කැඳවා ඇති අතර, රායප්පු ජෝශප් පියතුමාගේ අසනීප තත්වය හේතුවෙන් රදගුරු පියතුමාගේ උපදෙස් පරිදි මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා ගැටලු විසදීමට මැදිහත් වි ඇති බව උතුරේ ජනතාව පවසා තිබේ.
ගැටලු මඟහරවාගෙන සියලු දෙනා එක්ව මීළඟ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව මන්නාරම පාලක රදගුරු හිමියන් එහිදි දෙමළ ජාතික සන්ධාන නායකයින් වෙත පැවසා තිබේ.

ආණ්ඩුවට දඬුවම් දිය යුතුයි-මහින්ද අනුරපුරේදී කියයි

ජනතාවගේ  බලාපොරොත්තු  වත්මන් ආණ්ඩුව ඉටු නොකරන බව හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවයා පවසන්නේ මේ හේතුවෙන් වත්මන් ආණ්ඩුවට දඬුවම් ලබාදීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.
අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩාංගණයේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ ජන රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය පැවති අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටි බව සඳහන්ය.

රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයි

ඉරාකයේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරාක සහ ඉරාන දේශ සීමාව ආසන්නයේ රික්ටර් මාපාංකයේ 7.3 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.
මියගිය පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ඉරාන වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මම ආණ්ඩුවේ ඉදන්ම අරගල කරනවා-ආණ්ඩුවෙන් යන්න කිසිම උවමනාවක් නෑ

තමන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් අරගල කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමන් බලයට ගෙන ආ ආණ්ඩුවෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඊයේ පස්වරුවේ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය් පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් වී.රාධක්‍රිෂ්ණනන් මහතා මෙම අදහස් පළ කළේය.

සම්බන්ධන් සේනාධිරාජා ගැටුම උග්‍ර වෙයි – සාම කතාව වව්නියාවේදී

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ජාවක් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් වවුනියාව පෞද්ගලික හෝටලයකදි අද (12) උදැසන ආරම්භ වී තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ඉදිරි මැතිවරණ ක‍්‍රියාවලිය හා දෙමළ ජාතික සන්ධානයේ හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදි සාකච්ජා කිරීමට නියමිත බැව් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන වෙනුවෙන් තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජාවේදී මූලික වශයෙන් සාකච්ජා කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින් පැවසූහ.
සාකච්ජාවන් වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කරන පාරලිමේන්තු මන්ත‍්‍රීවරුන්, උතුරු නැගෙනහිර පළාත් සභා නියෝජිතයින් එක්ව සිටියහ.

අවුරුදු 5කට පසු මානව හිමිකම් සමුළුවට ලංකාව ගනියි- නි. ඇමැති හර්ෂ පැයක් කතා කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලීන සමාලෝචනයේ දී මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ලබන 15 වන දින සිට 17 වන දින දක්වා ශ්‍රි ලංකාව පිළිබද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලීන සමාලෝචනය සදහා ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අවස්ථාව මෙයයි.

වසර පහකට වරක් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද මෙහිදි අවධානය යොමුකෙරෙන අතර 2008 වසරේ දී සහ 2012 වසරේ දී විශ්ව කාලීන සමාලෝචනයේ දී ශ්‍රි ලංකාව පිළිබදව සාකච්ඡා කරනු ලැබීය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය සදහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය  නියෝද්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාට හිමිව තිබේ.

නියෝජ්‍ය  අමාත්‍යවරයාට අමතරව විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලීන සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැයක දේශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්යි හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

උපාධිධාරී ගුරුවරුන් 2100ක් බඳවා ගැනීමට අයැඳුම්පත් කැඳවයි

මේ වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වාදී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික සහ පළාත් පාසල්වල නව උසස් පෙළ වෘත්තීය විෂයධාරාවට අදාළව පවත්නා සිංහල දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධීධාරීන් 2100ක් බඳවා ගැනීමට නියමිතය.
2017.12.11 දිනට ප්‍රථම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ අනුමත විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇති අදාළ විෂය උපාධියට ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
ළමා විද්‍යාව හා ආරක්ෂාව, ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණකරණය, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, කලාව හා පිරිසැලසුම්කරණය ඇතුළු වෘත්තීය විෂයන් 26ක් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට අපේක්ෂිතය.

පුංචි ඡන්දෙට දින නියම කරන ගැසට් එක එළියට

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය අද (11) රාත්‍රී හෝ හෙට උදෑසන වන විට පල කිරීමට හැකිවනු ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමට අදාළ 2043/57 දරණ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවයි.

2043/56 දරණ ගැසට් පත්‍රය මේ වන විට මුද්‍රණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතර එහි සිංහල ප්‍රකාශනය අද රාත්‍රී  හෝ හෙට උදෑසන නිකුත් කළ හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමට අදාළ දින නියම කිරීම සඳහා 2043/56 දරණ ගැසට් පත්‍රය ප්‍රකාශනයට පත් කිරීම අනිවාර්ය වේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශනයට පත්කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දය සඳහා දින නියම කිරීම සිදුකරනු ඇති.

වයස අවුරුදු 16 දී මිනිසකු මැරෑ බව විදෙස් සමුළුවකදී ජනාධිපති පිළිගනී

තමාගේ තරුණ වියෙදී තමා දඩබ්බර චරිතයක් බවත්, කීප වතාවක් සිරගතව සිටි බවත් මනුෂ්‍යකු ඝාතනය කළ බවත් ජනාධිපතිවරයකු පිළිගෙන ඇත.

තමා 16 හැවිරිදි තරුණයකු ලෙස සිටියදී මෙසේ මනුෂ්‍යයකු ඝාතනයක් කළ බව ප්‍රකාශ කළේ පිළිපීනයේ ජනාධිපති රොද්‍රිගෝ ඩුටේට්යි.

වියට්නාමයේ පැවැති ප්‍රාන්ත  සමුළුවක් අමතමින් මොහු මේ බව පවසා ඇත.

යම් යම් වැරදි වලට සම්බන්ධ සැක කරුවන්ද විවිධ අවස්ථාවලදී  තමා විසින්ම ඝතනය කළ අවස්ථා ඇති බවද  මොහු මෙහිදී කියා ඇත.

2015 වසරේ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ මුහුදු වෙරළකදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් තමන් පිහියකින් ඇන මනුෂ්‍යයක් ඝාතනය කළ බවයි.

16 හැවිරිදි තරුණයකු ලෙස කළ මනුෂ්‍ය ඝානතනය හා මුහුදු වෙරළේ කළ ඝාතනය එකක්ද නොඑසේ නම් දෙකක්ද යන්න තවම අනාවරණය වී නැත.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ්‍ය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපති ලේඛම් පවසා ඇත්තේ සිය ජනාධිපතිවරයා විහිළුවක් කර ඇති බවයි.

ඇමැති රාධාක්‍රිෂ්ණන් කලකිරෙයි- 23 වැනිදා තීරණයක් ගන්නවලු- හෙට විශේෂ රැස්වීමක්

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ තමන් තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබදව මේ මස 23 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශ වැය ශිර්ෂයෙන් පසු තමන් තිරණයට එළඹෙන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා අවධාරණය කරයි.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටින්නේ තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වුවද තමන්ට අමාත්‍යංශයෙන් කිසිදු වැඩ කටයුත්තක් සිදු කිරීමට එම අමාත්‍යංශයේ නිලධාරින් සහයෝගය ලබා නොදෙන බවයි.

තමන්දෙමළ විෂය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවත්නා තත්ත්වය මත ගැටලු රැසක් මතුවි ඇති බවද හෙතෙම පැවැසීය

තමන්ට පැන නැගී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා එයට විසදුක් නොලද නිසා ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සමග සාකච්ඡා පැවැත්වු අවස්ථාවේ ජනාධිපතිවරයා මේ පිළිබදව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙස පැවසීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සමග ද මේ සම්බන්ධව සාකච්ඡා කළ ද එයටද විසදුමක් නොලද නිසා තමන් දැඩි තිරණයකට එළඹි බවයි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා කියා සිටින්නේ. තමන් මධ්‍යම පළාතේ දෙමළ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේදී මීට වඩා අධ්‍යාපනය වෙනුවෙන් යමක් කළ බවත් තමන් දැනට දරන අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කිසිදු වැඩ කටයුත්තක් සිදු කිරීමට අවකාශ නොලැබීම සම්බන්ධයෙන් කදුරට ජනතා පෙරමුණේ විශේෂ රැස් වීමක් හෙට (11) නුවරඑළියේදී  පවත්වා තම පක්ෂයේ තීරණය අනුව තමන් ඉදිරි පියවර ගන්නා බවයි.

රාජ්‍ය අමාත්‍ය ධුරය හැරගියද තමන් වත්මන රජය බලයට පත්කිරීමට විශාල කැපවීමකින් කටයුතු කළ නිසා රජයෙන් ඉවත් නොවන බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි.රාධාක්‍රිෂ්නන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අමාත්‍ය වරයා මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ හඬ පටය ඉහතින් අහන්න.