බෙදුනු දෙමළ සන්ධානය එකතු කරන්න රදගුරු මහන්සි වෙයි

දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් මන්නාරම රදගුරු නිවසේදී අද (11) සවස පැවැත්වී තිබේ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ හටගත් අර්බුදය හා උතුරු පළාත් සභා අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ එහිදී සාකච්ජා කළ බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූහ.
දෙමළ ජාතික සන්ධානය තුළ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ප‍්‍රතිපත්ති පිළිගැනීමට නොහැකි බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වු ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බව පසුගියදා පැවසීය.
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පැවසූවේ පක්ෂයේ ප‍්‍රතිපත්ති අනුව කටයුතු කළ නොහැකි බැවින් තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තනිව තරඟ කරන බවයි.
උතුරු පළාත් ධිවර, ප‍්‍රවාහන හා ග‍්‍රාමීය කටයුතු අමාත්‍යධූරයෙන් හිටපු පළාත් සභා අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අස්කිරීම හා පළාත් සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් හිටපු පළාත් අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් හටගත් ගැටලු පිළිබඳවද සාකච්ජාවේදී සාකච්ජා කළ බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූහ.
සාකච්ජාවන් වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා, ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ‍්‍රිකාන්ත මහතා, ප්ලෝට් සංවිධාන මධ්‍යම කාරක සභා නියෝජිතයින්, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නියෝජ්‍ය නායක ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විනෝ නෝහදාරලිංගම් මහතා, උතුරු පළාත් සභා හිටපු අමාත්‍යවරුන් වන පි.සත්‍යලිංගම් මහතා, පි.ඩෙනිශ්වරන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
දෙමළ ජාතික සන්ධානය තුළ මීට පෙර අර්බුද හටගත් අවස්ථාවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා මැදිහත්වි ගැටලු නිරාකරණය කරනු ලැබීය.
එලෙසම මෙවර දෙමළ ජාතික සන්ධානයේ අර්බුද හටගත් අවස්ථාවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා දෙමළ ජාතික සන්ධාන නායකයින් කැඳවා ඇති අතර, රායප්පු ජෝශප් පියතුමාගේ අසනීප තත්වය හේතුවෙන් රදගුරු පියතුමාගේ උපදෙස් පරිදි මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා ගැටලු විසදීමට මැදිහත් වි ඇති බව උතුරේ ජනතාව පවසා තිබේ.
ගැටලු මඟහරවාගෙන සියලු දෙනා එක්ව මීළඟ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව මන්නාරම පාලක රදගුරු හිමියන් එහිදි දෙමළ ජාතික සන්ධාන නායකයින් වෙත පැවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *