valampuri-net.com

justice peace and reconciliation

බෙදුනු දෙමළ සන්ධානය එකතු කරන්න රදගුරු මහන්සි වෙයි

දෙමළ ජාතික සන්ධානය තුළ හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් මන්නාරම රදගුරු නිවසේදී අද (11) සවස පැවැත්වී තිබේ.
දෙමළ ජාතික සන්ධානයෙන් ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය ඉවත්වීමෙන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ හටගත් අර්බුදය හා උතුරු පළාත් සභා අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳ එහිදී සාකච්ජා කළ බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූහ.
දෙමළ ජාතික සන්ධානය තුළ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ ප‍්‍රතිපත්ති පිළිගැනීමට නොහැකි බව සඳහන් කරමින් දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වු ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව තනිව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බව පසුගියදා පැවසීය.
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍ර මහතා පැවසූවේ පක්ෂයේ ප‍්‍රතිපත්ති අනුව කටයුතු කළ නොහැකි බැවින් තමන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තනිව තරඟ කරන බවයි.
උතුරු පළාත් ධිවර, ප‍්‍රවාහන හා ග‍්‍රාමීය කටයුතු අමාත්‍යධූරයෙන් හිටපු පළාත් සභා අමාත්‍ය පි.ඩෙනිශ්වරන් මහතා අස්කිරීම හා පළාත් සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් හිටපු පළාත් අමාත්‍ය පි.සත්‍යලිංගම් මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් හටගත් ගැටලු පිළිබඳවද සාකච්ජාවේදී සාකච්ජා කළ බව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූහ.
සාකච්ජාවන් වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා, ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ‍්‍රිකාන්ත මහතා, ප්ලෝට් සංවිධාන මධ්‍යම කාරක සභා නියෝජිතයින්, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂ නියෝජ්‍ය නායක ශිවශක්ති ආනන්දන් මහතා, උතුරු පළාත් සභා සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විනෝ නෝහදාරලිංගම් මහතා, උතුරු පළාත් සභා හිටපු අමාත්‍යවරුන් වන පි.සත්‍යලිංගම් මහතා, පි.ඩෙනිශ්වරන් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
දෙමළ ජාතික සන්ධානය තුළ මීට පෙර අර්බුද හටගත් අවස්ථාවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා මැදිහත්වි ගැටලු නිරාකරණය කරනු ලැබීය.
එලෙසම මෙවර දෙමළ ජාතික සන්ධානයේ අර්බුද හටගත් අවස්ථාවේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් පියතුමා දෙමළ ජාතික සන්ධාන නායකයින් කැඳවා ඇති අතර, රායප්පු ජෝශප් පියතුමාගේ අසනීප තත්වය හේතුවෙන් රදගුරු පියතුමාගේ උපදෙස් පරිදි මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා ගැටලු විසදීමට මැදිහත් වි ඇති බව උතුරේ ජනතාව පවසා තිබේ.
ගැටලු මඟහරවාගෙන සියලු දෙනා එක්ව මීළඟ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව මන්නාරම පාලක රදගුරු හිමියන් එහිදි දෙමළ ජාතික සන්ධාන නායකයින් වෙත පැවසා තිබේ.

ආණ්ඩුවට දඬුවම් දිය යුතුයි-මහින්ද අනුරපුරේදී කියයි

ජනතාවගේ  බලාපොරොත්තු  වත්මන් ආණ්ඩුව ඉටු නොකරන බව හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපතිවයා පවසන්නේ මේ හේතුවෙන් වත්මන් ආණ්ඩුවට දඬුවම් ලබාදීමට ජනතාව කටයුතු කළ යුතු බවයි.
අනුරාධපුර සල්ගාදූ ක්‍රීඩාංගණයේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර තිබූ ජන රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන රැළිය පැවති අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වී සිටි බව සඳහන්ය.

මම ආණ්ඩුවේ ඉදන්ම අරගල කරනවා-ආණ්ඩුවෙන් යන්න කිසිම උවමනාවක් නෑ

තමන් ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙමින් අරගල කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ තමන් බලයට ගෙන ආ ආණ්ඩුවෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඊයේ පස්වරුවේ මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානය් පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් වී.රාධක්‍රිෂ්ණනන් මහතා මෙම අදහස් පළ කළේය.

සම්බන්ධන් සේනාධිරාජා ගැටුම උග්‍ර වෙයි – සාම කතාව වව්නියාවේදී

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා සාකච්ජාවක් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ හා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් වවුනියාව පෞද්ගලික හෝටලයකදි අද (12) උදැසන ආරම්භ වී තිබේ.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ඉදිරි මැතිවරණ ක‍්‍රියාවලිය හා දෙමළ ජාතික සන්ධානයේ හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් එහිදි සාකච්ජා කිරීමට නියමිත බැව් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය උතුරු නැගෙනහිර පළාත් පාලන ආයතන වෙනුවෙන් තරඟ කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ජාවේදී මූලික වශයෙන් සාකච්ජා කරන බව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නියෝජිතයින් පැවසූහ.
සාකච්ජාවන් වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය නියෝජනය කරන පාරලිමේන්තු මන්ත‍්‍රීවරුන්, උතුරු නැගෙනහිර පළාත් සභා නියෝජිතයින් එක්ව සිටියහ.

අවුරුදු 5කට පසු මානව හිමිකම් සමුළුවට ලංකාව ගනියි- නි. ඇමැති හර්ෂ පැයක් කතා කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලීන සමාලෝචනයේ දී මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ලබන 15 වන දින සිට 17 වන දින දක්වා ශ්‍රි ලංකාව පිළිබද සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලීන සමාලෝචනය සදහා ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අවස්ථාව මෙයයි.

වසර පහකට වරක් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද මෙහිදි අවධානය යොමුකෙරෙන අතර 2008 වසරේ දී සහ 2012 වසරේ දී විශ්ව කාලීන සමාලෝචනයේ දී ශ්‍රි ලංකාව පිළිබදව සාකච්ඡා කරනු ලැබීය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙම සැසිවාරය සදහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ නායකත්වය  නියෝද්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාට හිමිව තිබේ.

නියෝජ්‍ය  අමාත්‍යවරයාට අමතරව විදේශ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලීන සමාලෝචනයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැයක දේශනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්යි හර්ෂ ද සිල්වා මහතා සදහන් කළේය.

උපාධිධාරී ගුරුවරුන් 2100ක් බඳවා ගැනීමට අයැඳුම්පත් කැඳවයි

මේ වසරේ සිට ක්‍රියාත්මක කරනු ලබන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වාදී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික සහ පළාත් පාසල්වල නව උසස් පෙළ වෘත්තීය විෂයධාරාවට අදාළව පවත්නා සිංහල දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධීධාරීන් 2100ක් බඳවා ගැනීමට නියමිතය.
2017.12.11 දිනට ප්‍රථම පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ අනුමත විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇති අදාළ විෂය උපාධියට ප්‍රධාන විෂයක් ලෙස හදාරා ඇති පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.
ළමා විද්‍යාව හා ආරක්ෂාව, ප්‍රාසාංගික කලාව, කාර්ය සිද්ධි කළමනාකරණය, ශිල්ප කලා, අභ්‍යන්තර නිර්මාණකරණය, විලාසිතා නිර්මාණකරණය, ග්‍රැෆික් නිර්මාණකරණය, කලාව හා පිරිසැලසුම්කරණය ඇතුළු වෘත්තීය විෂයන් 26ක් සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමට අපේක්ෂිතය.

පුංචි ඡන්දෙට දින නියම කරන ගැසට් එක එළියට

පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් පත්‍රය අද (11) රාත්‍රී හෝ හෙට උදෑසන වන විට පල කිරීමට හැකිවනු ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ මැතිවරණය පැවැත්වීමට අදාළ 2043/57 දරණ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර ඇති බවයි.

2043/56 දරණ ගැසට් පත්‍රය මේ වන විට මුද්‍රණය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින අතර එහි සිංහල ප්‍රකාශනය අද රාත්‍රී  හෝ හෙට උදෑසන නිකුත් කළ හැකි බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළේය.

පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීමට අදාළ දින නියම කිරීම සඳහා 2043/56 දරණ ගැසට් පත්‍රය ප්‍රකාශනයට පත් කිරීම අනිවාර්ය වේ.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශනයට පත්කිරීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්දය සඳහා දින නියම කිරීම සිදුකරනු ඇති.

ශ්‍රීලංකාව සමඟ පවතින සබඳතාවලට වැඩි වටිනාකමක්

ශ්‍රීලංකාව සමඟ පවතින සබඳතා සඳහා ඉන්දීය රජය වැඩි වටිනාකමක් ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.
දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් හා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය  ධුරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු විදෙස් සංචාරය සිදුකරමින් ඉන්දියාවට ගිය අමාත්‍ය තිලක් මාරපන මහතා හමු වූ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වීම පිළිබඳ තිලක් මාරපන මහතාට මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් එක් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා පිළිබඳ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පුළුල් සාකච්ඡාවක් පවත්වා  ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සඳහා පසුගිය මැයි මාසයේ තමා ශ්‍රී ලංකාවට පැමිණ ඉතා ඵලදායී සංචාරයක් සිදු කළ බව නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කර ඇත.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් ඉන්දීය අග්‍රාමාත්යාවරයා වෙත පිරිනැමූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා තමා කැප වී කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ තෙදින ඉන්දීය නිල සංචාරය අදින් අවසන් වන අතර අමාත්‍යවරයා සිය සංචාරය තුළ දී ඉන්දීය විදේශ කටයුතු අමාත්යව සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග මෙන්ම ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ඇතුළු එරට රජයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා පැවැත්විය.

ප්‍රමුඛතා මංතීරු ක්‍රමය රටපුරා

ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමවේදය ඉදිරියේදී දිවයින පුරා ක‍්‍රියාත්මක කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම ක‍්‍රමවේදය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වා ප‍්‍රමුඛතා මංතීරු කි‍්‍රයාත්මක කිරීම අද (15) අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

එයට සමගාමීව වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් අද සිට මංතීරු ක‍්‍රමය කි‍්‍රයාත්මක වේ.

ගාලූ පාරෙත්, බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේත්, බොරැල්ලේ  සිට මරදාන දක්වාත්, 138 මාර්ගයේ යම් කොටසකත්  එය කි‍්‍රයාත්මක කරන්නට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පවසයි.

රටක දියුණුව මැනෙන්නේ පුද්ගලික වාහන ප‍්‍රමාණය මත නොව කොපමණ ප‍්‍රමාණයක් පොදු ප‍්‍රවාහනය භාවිත කරනවා ද යන්න මත බව අමාත්‍යවරයා කියයි.

දුම්රිය සේවය නවීකරණය කරමින් කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් කිරීම,සැහැල්ලූ දුම්රිය හඳුන්වාදීම ආදිය ඉදිරියේදී සිදුකරන බව ද ඒ මහතා කීය.

උතුරේ සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට බලපෑමක් නෑ – හමුදාපති

උතුරු දැනට හටගෙන තිබෙන තත්ත්ව ජාතික ආරක්ෂාව කිසිදු බලපෑමක් එල්ල නොවන බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ්  සේනානායක මහතා  පැවසීය.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ බව පැවසුවේ අද  කොළඹ දී  පැවති මාධ්‍ය හමුවකදී  ය.

උතුරේ  පුනරුත්තාපනය නොවු එල් ටී ටී ඊ සමාජිකයින් 200 දෙනකු පමණ සිටින බවත් උතුරේ පසුගිය කාලයේ ඇති වු යම් යම් සිද්ධීන් වලට මොවුන්ගේ සම්බන්ධයක් තිබේද යන්න සහ මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද යන්න  මාධ්‍යවේදියකු  හමුදාපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

උතුරේ පුනරුත්ථාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයින් 1963 දෙනකු සිටින බවත් තවත් 200 දෙනකු පමණ යම් යම් හේතු මත පුනරුත්ථාපනය වී නොමැති බවත්  හමුදාපතිවරයා කියා සිටියේය.

එම පිරිස පුනරුත්ථාපනය නොවුවද උතුරේ ඇති වු සිද්ධීන් වලට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයන් ඇතැයි මෙතෙක් වාර්තා වී නොමැති බවද හෙතෙම කියා සිටියේය.

යාපනය මහධිකරණ විනිසුරුවරයාගේ  ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට වෙඩි තැබීමේ සිද්ධියට පැරණිම එල් ටී ටී ඊ  සාමාජිකයිකු සම්බන්ධ වී සිටියද එම සිද්ධිය  අනපේක්ෂිත වු  සිදුවීමක්  බවද හමුදාපතිවරයා කීය.

මෑත කාලේ උතුරු සිදුවූ සිදුවීම් වලට කිසිදු එල් ටී ටී ඊ සමාජියකු සම්බන්ධවී නොමැති බවද හමුදාපතිවරයා ස`දහන් කළේය.