තෙල් මිළ පහත වැටීම නිසා ලෝකයේ මහා ආර්ථික අර්බුදයක්

බොර තෙල් මිළ ලෝක වෙළඳ පොලේ ඉතිහාසයේ කිසිදාක සිදු නොවුණු ආකාරයට පහත වැටීම නිසා විශාල ආර්ථික අර්බුදයකට ලෝකය ගමන් කරමින් තිබේ. 2015 වසර පුරාම සමස්තයක් ලෙස අඛණ්ඩව මෙම තෙල් මිළ පහත වැටෙමින් පැවතින. 2016 ආරම්භයේ සිටද එය තව දුරටත් එසේම වර්ධනය වෙමින් පවතී. 2016 වර්ෂය තුල 2015ට වඩා සියයට 70කින් පහත වැටී තිබේ. අද වන විට බොර තෙල් බැරලයක මිළ ඇ. ඩො’ 20 දක්වා අඩුවී ඇත. මෙයට මූලික හේතුව වී ඇත්තේ චීනයේ හට ගෙන ඇති ආර්ථික අර්බුදයයි. මේ නිසා ලෝකයේම ධනවාදී ආර්ථික පද්ධතියම බිඳ වැටීමට ඉඩ ඇති අතර මෙතෙක් ස්වායත්ත ආර්ථිකයක් තිබූ තෙල් අපනයනය කරන රටවල් සියල්ලෙහි ආර්ථිකය මුලූමනින්ම බිඳ වැටී යනු ඇත. මේ නිසා ලෝක ආර්ථික අර්බුදය ඉංගී‍්‍රසි L අකුරේ හැඩය ඇති ආකාරයට ඉතිහාසයේ පළමු වන වතාවට ඇති වන ආර්ථිකයක් බවට පත් වනු ඇතැයි විශේෂඥයන්ගේ මතයයි.

ආර්ථික සැලසුම් ගැන ජනපති අගමැති මත ගැටුමක්

අගමැතිවරයා විසින් ඉදිරියේදී කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කරන මධ්‍ය කාලීන ආර්ථික ප‍්‍රතිපත්ති සැලසුම සම්බන්ධයෙන් හා ඉදිරියේදී යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳවද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බරපතල මත ගැටුමක් ඇතිවී තිබේ. අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ බිඳ වැටී ඇති කෘෂිකාර්මික ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට හැර දැනට ඉදිරියෙන් ඇති සේවා ආර්ථිකය තව දුරටත් ඉදිරියට ගත යුතු බවයි. ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ කෘෂිකර්මාන්තයට මුල් තැනක් දෙන අතර සංචාරක කර්මාන්තය ඇතුලූ සේවා ආර්ථිකය පදනම් කර ගෙන ඉදිරි ආර්ථික සැලසුම් සැකසිය යුතු බවයි. මෙම මත ගැටුම ආණ්ඩුවේ දෙදරා යෑමක් දක්වා වර්ධනය වන බව දේශපාලන නිරීක්‍ෂකයන්ගේ අදහස වී තිබේ.

මෙම මත ගැටුමේ ප‍්‍රතිඵලයක් හැටියට ජනාධිපතිවරයා කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් කාර්ය සාධන බලකායක්ද පිහිටුවා ඇත. ඊට සමගාමීව අගමැතිවරයා පසු ගියදා කැඳවන ලද ආර්ථික සමුලූව තුලින් සේවා ආර්ථිකය දිරි ගැන්වීම සඳහා ජෝර්ජ් සෝරෝශ් ඇතුලූ විදේශීය ආර්ථික විශේෂඥ කණ්ඩායමක්ද කැඳවා තම ආර්ථික සැලසුමේ පියවරක් ඉදිරියට තබා ඇත. මේ ආකාරයට ඉදිරියට ගිය හොත් ආණ්ඩුව ඉදිරි කාලයේදී දෙදරා යා හැකි බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.

දයාසිරි ප‍්‍රා.ලේ කොට්ඨාශයට එක බැගින් ජිම් දෙයි

ප‍්‍රාදෙශීය ලේකම් කොට්ඨාශයට එක බැගින් ඇවිදින මංතීරුවක් හා කාය වර්ධන මධ්‍යස්ථානයක් (ජිම් එකක්) ලබා දීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කොට ඇත. එසේම, මේ වසර අවසන්වීමට ප‍්‍රථම හැම රාජ්‍ය ආයතනයකම කාය වර්ධන මධ්‍යස්ථානයක් ලබා දෙන බව ද ඔහු පවසයි. තවද, ක‍්‍රීඩාවට දක්‍ෂ පාසැල් සිසුන් සොයා පාසැලින් පාසැලට ක‍්‍රීඩා නිලධාරීන් පිරිසක් යැවීමටකටයුතු යොදන බවද පවසා සිටී. ක‍්‍රීඩාව නංවාලීමට හා ජනතාවගේ ශරීර සෞඛ්‍ය සුරැකීම උදෙසා මෙම වැඩ පිළිවෙල කරගෙන යන බව ද ඔහු තවදුරටත් ප‍්‍රකාශ කර සිටී.

පළාත් පාලන මැතිවරණයට අපේක්‍ෂකයන් තෝරාගැනීම සඳහා එජාපය ඉල්ලූම්පත් කැඳවයි

ලබන වසර මැදදී පැවැත්වීමටනියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්‍ෂකයන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය දැනටමත් ඉල්ලූම්පත‍්‍ර කැඳවා ඇති අතර, මේ සඳහා 30,000කට අධික ඉල්ලූම්පත‍්‍ර ලැබී ඇති බව සිරිකොත ආරංචිමාර්ග පවසයි. මේ අතර, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයන් ඒකාබද්ධ විපක්‍ෂයේ විසින් අලූතින් පිහිටුවීමට යන අලූත් පක්‍ෂයේ නාම යෝජනා ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද දැනගන්නට ඇත.

නිදහස් උත්සවය සංවිධාන කටයුතු ගැන අගමැති පැහැදීමක් නෑ

පෙබරවාරි 04දාට යෙදී ඇති නිදහස් උත්සවය සංවිධානය කිරීම භාරව ඇත්තේ වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය වන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයටය.

මේ සඳහා එම අමාත්‍යාංශය විසින් පසු ගියදා අග‍්‍රාමාත්‍යවරාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා ඇති අතර, මෙම රැස්වීමට පැමිණීමට වජිර අබේවර්ධන අමාත්‍යවරයා ප‍්‍රමාද වී ඇත. සාමාන්‍යයෙන් නියමිත වේලාවටම රැස්වීම්වලට පැමිණෙන අගමැතිවරයා වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ ප‍්‍රමාදවීම ගැන දැඩි ලෙස කෝපවී ඇත. එහිදී එම රැස්වීමේ න්‍යාය පත‍්‍රය අතට ගත් අගමැතිවරයා, එම සම්පූර්ණ න්‍යාය පත‍්‍රයම විවේචනය කරමින් පාසැල් ළමුන් මෙම නිදහස් උත්සවයට සම්බන්ධ කරවා ගැනීම ගැන දැඩි ලෙස කෝපයෙන් කථා කොට ඇත. රාජ්‍ය උත්සවවලට ප‍්‍රතිපත්තියක් ලෙස අග‍්‍රාමාත්‍යවරයා පාසැල් සිසුන් සහභාගී කරවීම නවතා දමා තිබියදී මෙම උත්සවයට පාසැල් ළමුන් කැඳවීමට කටයුතු කලේ කවුදැයි විමසූ අග‍්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට දැඩි ලෙස කෝපාවිශ්ටව බැන වැදී රැස්වීම හරිහැටි සංවිධානය කොට තමාට දන්වන මෙන් පවසා රැස්වීමෙන් පිටව ගොස් ඇත.

දයාගේ ඉඩමක් චම්පික ගත්තා යැයි චෝදනාවක්

නියෝජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බොරලැස්ගමුවේ අක්කර 10ක ඉඩමක් මෙගා පොලිස් අමාත්‍යංශය පවරා ගත් බව කියමින් අමාත්‍ය චම්පික රණවක මහතාට එරෙහිව දයා ගමගේ මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත. මෙහිදී මෙම පැමිණිල්ල ඉදිරිපත්කරන අවස්ථාවේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිටි ස්ථානයට චම්පික රණවක ඇමතිවරයා පැමිණීමෙන් පසු අමාත්‍යවරු දෙදෙනා අතර බරපතල වාග් හුවමාරුවක් සිදුවී ඇති බව ද වාර්තා වේ.

මංගලට එරෙහිව ආණ්ඩුව තුලින් බරපතල විරෝධයක්

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීම මහතාට එරෙහිව ආණ්ඩුව ඇතුළින් බරපතල විරෝධයක් ගොඩනැගී ඇත. මෙය පළමුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පැත්තෙන්ගොඩනැගුණත් දැන් එයට අගමැතිවරයා ඇතුලූ එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරු රැසක්ද එකතු වී සිටිති. එයින් ප‍්‍රබල ලෙස පෙනී සිටින්නේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ අමාත්‍ය රිෂාඞ් බදුයුදීන් මහතායි. පසුගියකැබිනට් මණ්ඩලයට මංගල සමරවීම මහතා විසින් ගෙන ආ ඉරාක තානාපති කාර්යාලය, වසා දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය තුළ පරාජය කිරීමට තරම් මෙම විරෝධතාවය ඉහල ගොස් ඇත. මෙම මංගල විරෝධී ඇමතිවරු වන්නේ අනුර යාපා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, රාජිත සේනාරත්න, රිෂාඩු බදියුදින්, මහින්ද සමරසිංහ, ෆායිස් මුස්තාපා, සරත් අමුණුගම, තලතා අතුකෝරල යන අයයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද මංගල සමරවීර මහතා ගැන එතරම් පැහැදීමකින් නැති බව වාර්තා වේ.

 

ආණ්ඩුවට එරෙහිව සිවිල් සංවිධාන යුද්ධයක් අරඹයි

යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා විශාල වැඩකොටසක් කළ සිවිල් සංවිධාන රාශියක් එකට එක්වී ආණ්ඩුවට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට පෙබරවාරි 04 වනදා සිට තීරණය කොට තිබේ.

මෙම ආන්ඩුව පිහිටුවා වසරක් ගතවී ඇතත් පසුගිය කාලයේ අපරාධකරුවන්ට දඩුවම් ලබා නොදීම සොරුන් වංචාකරුවන් දූෂිතයින් නීතිය ඉදිරියට නොගෙනීම ආන්ඩුව පිහිටුවීමේදී ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් මෙම විරෝධතාවයන් දැක්වීමට කටයුතු කරනු ඇත. මේ පිළිබඳව පසුගිය 14 වැනිදා එම සිවිල් සංවිධාන විසින් අගමැතිවරයා මුණගැසී සාකච්ඡා පවත්වා ඇති අතර, ඊයේ (18) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වා ඇත. මෙම සාකච්ඡාවලින්ද එතරම් ප‍්‍රථිපලයක් නැති බව පවසන එම සිවිල් සංවිධාන එකමුතුව, මේ ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු හොරුන් දූෂිතයින් ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් ඔවුන් ජනාතවගෙන් සමාව ගත යුතු බව පවසමින් මෙම විරෝධතාවය පැවැත්වීමට සූදානමින් සිටී.

රුපියල් 2500/- පඩිය වැඩිවීමට එරෙහිවන්නන්ට ගිනි තැබිය යුතුයි – වඩිවේල් සුරේෂ්

වතු කම්කරුවන්ට මේ මස 20 වැනි දින සිට රු. 2500/-ක වැටුප් වැඩිවීමක් ලබා දෙන බව කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කොට ඇත.

මෙම රුපියල් 2500/- වැටුප් වැඩිවීම වතු කම්කරුවන්ට ලබාදීමේදී එයට බාධාකරන සියලූ දෙනාම මුලින්ම ගිනි තැබිය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවේල් සුරේෂ් මහතා ප‍්‍රකාශකොට ඇත.

 

 

 

සෝභිත හිමි අපවත් වුනාද? අපවත් කළාද?

පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමිගේ අපවත්වීම පිළිබ‍ඳව සැකයක් පැතිර යමින් පවතී.

යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා මුලික වී කටයුතු කල උන් වහන්සේට විශාල දේශපාලන සතුරන් ප්‍රමාණයක් රටේ සිටි බවට සැකයක් නැත. උන් වහන්සේට වැළඳී තිබූ දියවැඩියා රෝගය, වකුගඩු රෝගය පිළිබඳ හා හෘද රෝග පිළිබදව ඉතිහාසය දන්නා වූ නවලෝක රෝහලට ඇතුලු නොවී සෙන්ට්‍රල් රෝහලට ඇතුලු වී හෘද රෝග සැත්කම් සිදු කිරීම හා එම සැත්කම්වලින් පසුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලු වීම පිළිබඳ යම් යම් සැක මතුවෙමින් තිබේ. සෙන්ට්‍රල් රෝහලේ උන්වහන්සේගේ ප්‍රතිකාර කළ ඇඳ ඉහපත් අතුරුදහන් වීම පිළිබඳව යම් යම් සැක මතුවෙමින් පවතී. මෙවැනි තත්ත්වයක් තුළ උන්වහන්සේගේ අපවත්වීමත් ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබඳ මෙන්ම සැකයක් සමාජය තුළ මතුවෙමින් පවතී.