ලංකාවේ වාසියට ඇත්තේ කරුණු දෙකක් පමණි

රී ලංකාවෙන් පිටව ගොස් සිටි විශේෂඥයන් ගණනාවක් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. සෙසු පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අය එනවිට ඔවුන්ගේ මිත්‍රයන්ද එක්කරගෙන එන ලෙස මා පැවසුවා. ඒ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම සදහායි.

කොළඹ ගලදාරි හෝටලයේ පැවති ජාත්‍යන්තර සමුද්‍රිය සමුළුවකට සහභාගි වීමෙන් අනතුරුව අද මා මෙහි පැමිණියා. ලංකාවේ වාසියට ඇත්තේ කරුණු දෙකක් පමණක් බව මා එහිදි ප්‍රකාශ කළා. එක් කරුණක් ශ්‍රී ලංකාවේ පිහිටීමයි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියන් සාගරය මධ්‍යයේයි. අත්ලන්තික්, පැසිපික් සහ ඉන්දියන් යන ලෝකයේ ප්‍රධාන සාගර තුන අතුරින් සාගරයක් මැද පිහිටි එකම රට ශ්‍රී ලංකාවයි. එම පිහිටීමේ උපරිම ප්‍රයෝජනය අප ලබාගත යුතුයි. නාවික, ගුවන් පණිවිඩ හුවමාරුව මෙන්ම ව්‍යාපාරික වාසිද එමගින් අත්වෙනවා.

ශ්‍රී ලංකාවට ඇති අනෙක් වාසිය කුමක්ද? ඒ මිනිස් සම්පතයි. අප මිනිස් සම්පතෙන් උපරිම පල ප්‍රයෝජන ලබාගත යුතුයි. වර්තමාන යුගය නවෝත්පාදන යුගයක් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ද ප්‍රකාශ කළා. නවෝපාදන කටයුතු සදහා මිනිස් සම්පත අවශ්‍යයි. එම මිනිස් සම්පත නොහැකිව ඉදිරියට යාමට හැකියාවක් නැහැ.

කර්මාන්ත යුගයේදී විශේෂයෙන්ම ජලය අත්‍යඅවශ්‍ය වුණා. ගල්අගුරු,යකඩ,වානේ සහ ඉන්ධන වුවමනා වුණා. එයින් අප සතුව තිබුණේ ජලය පමණයි. වෙනත් කිසිම දෙයක් තිබුණේ නැහැ. නමුත් අප අරඹ​න්නේ දැනුම පදනම් කරගත් යුගයක් බව කිව යුතුයි. දැනුම පදනම් කරගෙන නවෝත්පාදනයට යාම අපේ අරමුණයි. ඊට අවශ්‍ය මූලිකම සම්පත වන්නේ මිනිස් සම්පතයි. එම මිනිස් සම්පත අප සතුව තිබෙනවා. අප කළ යුත්තේ එම මිනිස් සම්පත දියුණු කිරීමයි.

අධ්‍යාපන ක්‍රමය, තාක්ෂණ හා පර්යේෂණ ක්‍රමය සහ පෞද්ගලික අංශය ඒකරාශි වී මිනිස් සම්පත දියුණුවට පත් කිරීමට කටයුතු කළ යුතුයි. මගේ කනගාටුවට හේතු වූ කරුණක් තිබෙනවා. ලෝකයේ වෙනත් රටවල සංචාරය කරන විට ශ්‍රී ලාංකික විශේෂඥයන් එම රටවල රැකියා කරන අයුරු අප දකිනවා. විද්‍යා ක්ෂේත්‍රය, සෞඛ්‍ය ක්ෂේත්‍රය, කාර්මික ක්ෂේත්‍රය, මූල්‍ය ක්ෂේත්‍රය, කළමණාකරණ ක්ෂේත්‍රය ආදි විවිධ ක්ෂේත්‍රවල ශ්‍රී ලාංකික විශේෂඥයන් සේවය කරනවා.

ඇමරිකාවේ පමණක් සිටින අපගේ විශේෂඥයන් සියල්ල එකතුකර ගතහොත් ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් රටක් බවට පත්කිරීමට එයම ප්‍රමාණවත් බව කිව යුතුයි. ඇමරිකාව අද බලවත් රටක් බවට පත්වී ඇත්තේ ඇයි ? චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාවට වඩා විශාල බව ඇමරිකාව පවා පිළිගන්නවා. දැනුම ඇති ඕනෑම පුද්ගලයෙකු අපගේ රටට ගන්නවා යන ප්‍රතිපත්තියෙහි ඇමරිකාව කටයුතු කරනවා. ඔවුන් ඉදිරියට යන්නේ ඒ නිසයි. දැනුම ඇති ශ්‍රී ලාංකිකයන් මෙරට රදවාගෙන නවෝත්පාදන ආයතන බිහිකර නවෝත්පාදනය දියුණු කළ යුතුයි.

නවෝත්පාදනය ඉතා අසීරු කටයුත්තක් නොවේ. එය ආරම්භ කළ යුතුයි. ෆේස් බුක් වෙබ් අඩවියක් බිහිවේවි යැයි මීට වසර 10කට පෙර සිතුවාද ? අප අලූත් විදියට සිතිය යුතුයි. මේ සියල්ල නවෝත්පාදනයි. රියදුරන් නැති වාහන අද තිබෙනවා. නොයෙක් අදහස් තිබෙනවා. මේ අදහස්වලින් සියයට දශම එකක් දියුණු වී පොහොසත් ධනවාදී සමාගම් බිහිවෙනවා. සෙසු යෝජනාත් අප රටේ දියුණුවට යොදා ගත හැකියි.

ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය දියුණු කිරීම සදහා දැනුම යොදාගත යුතුයි. අරාබියේ සිට ඉන්දුනිසියාව දක්වා බිලියනයක පමණ ජනතාවක් කෑම සොයමින් ඉදිවි. අපේ වගකීම මධ්‍යම පන්තියට අවශ්‍ය ආහාර ශ්‍රීලංකාවෙන් ලබාදීමයි. අලූත් තාක්ෂණය ලබාදීමයි. ඉදිරියට ගමන් කළ හැක්කේ එවිටයි.

ශ්‍රී ලාංකීය සමාජයේ ශීඝ්‍ර දියුණුව රදා පවතිනුයේ තාක්ෂණ සහ විද්‍යා අංශයේ දියුණුව මතයි. අද මෙහි ඇරඹුවේ එහි වැදගත් පියවරක් බව සදහන් කළ යුතුයි. මෙය දැනුමේ කේන්ද්‍රස්ථානයක්. ශ්‍රී ලංකාවේ සිටින අයගෙන් අප මෙය ආරම්භ කරමු. ශ්‍රී ලංකාවට පැමිණිමට කැමති අයගෙන් මෙය ආරම්භ කරමු. විදේශිකයන් ද අපට සහාය දක්වාවි.

අප තබන මෙම පියවර ලංකා ආර්ථික ඉතිහාසයේ මෙන්ම දේශපාලන ඉතිහාසයේ වැදගත් පියවරක් වනු ඇති. සෑම වැදගත් පියවරක්ම දේශපාලන කටයුත්තක් නොවෙයි. වස්කෝද ගාමා ඉන්දියාවට පැමිණීම දේශපාලන කටයුත්තක් නොවෙයි. නමුත් එය ලෝකයේ දේශපාලනය බොහෝ දුරට වෙනස් කළා. ශ්‍රී ලංකාව ඉදිරියට යනවා නම් අප දැනුම ලබාගත යුතුයි. එලෙස දැනුම ලබාගන්නා අවස්ථාවේදී කරුණු කිහිපයක් පිළිබදව සැලකිලිමත් විය යුතුයි.

පළමුවැන්න අප අධ්‍යාපන ක්‍රමය දියුණුවට පත්කළ යුතුයි. සියළුම ශ්‍රී ලාංකික දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතුයි. ශ්‍රී ලංකාවේ විද්‍යා සහ තාක්ෂණ දැනුම ලබාදෙන්නේ සීමිත පාසල් සංඛ්‍යාවක් පමණයි. වර්තමානයේ උසස් පෙළ පන්තිවලදි විද්‍යා අධ්‍යාපනය ලබන්නේත් සුළු පිරිසක් පමණයි. එමනිසා අප වැඩිපුර විද්‍යා ගුරුවරුන් ලබාදිය යුතුව තිබෙනවා. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව හැර සෑම විෂයකම හොද ප්‍රතිඵල ලබාගන්නේ කාන්තාවන්. භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව පමණක් පිරිමි අය හොද ප්‍රතිඵල ලබාගන්නවා.

විද්‍යාව එක් ධාරාවකට පමණක් සීමා කළ යුතු නැහැ. සෑම දෙනෙකුම විද්‍යාව ඉගෙනගත යුතුයි. මා පසල් ගිය සමයේදී මා සිටියේ කලා අංශයේයි. නමුත් අප ගණිතය ඉගෙන ගත්තා. ශුද්ධ ගණිතය, ජ්‍යාමිතිය ආදී හැම දෙයක්ම ඉගෙන ගත්තා. එහි වාසිය දැන් අපට තිබෙනවා. අප මෙරට තාක්ෂණය දියුණු කළ යුතුයි. එය ඉදිරියට ගෙන ආ යුතුයි. අධ්‍යාපන මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් හැරුණු විට තවත් විශේෂ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එහි වගකීම පැවරී තිබෙනවා. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාටත් එහි වගකීම පැවරී තිබෙනවා. තමන්ගේ සම්පූර්ණ කාලය මේ සදහා යොදවන්න. අප තවත් තාක්ෂණ ආයතන ශ්‍රී ලංකාවට ලබාගැනීම සදහා ක්‍රියා කරනවා.

කුඩා ව්‍යාපාරිකයන්ට ආධාර මුදල් ලබාදෙන ආකාරය පිළිබදව මා මහ බැංකුව සමග සාකච්ඡා කළා. උපරිමයෙන්ම රුපියල් ලක්ෂ දෙකහමාරක ආධාර මුදලක් ලබා දෙන්නම්. ආරම්භයේදී අප කුඩා පියවර අනුගමනය කරනවා. එම පියවර තවත් ඉදිරියට ගෙනයාම අපේ බලාපොරොත්තුවයි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා සුසිල් පේ‍ර්මජයන්ත ඇමතිතුමා විශාල ලෙස උනන්දු වෙනවා. එහි ප්‍රතිඵල වසර දෙක තුනකින් දැක ගන්නට හැකිවේවි.

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටි විශේෂඥයන් ගණනාවක් සති දෙකකට පෙර ශ්‍රී ලංකාවට පැමිණියා. සෙසු පිරිසත් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ අය එනවිට ඔවුන්ගේ මිත්‍රයන්ද එක්කරගෙන එන ලෙස මා පැවසුවා. ඒ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දායක වීම සදහායි.

චම්පික රණවක ඇමතිතුමා විද්‍යා තාක්ෂණ නගර නිර්මාණය කිරීම සදහා කටයුතු කරනවා. විද්‍යාව හා තාක්ෂණය ඉබේ බිහිවන්නේ නැහැ. ඒ සදහා නව නගර නිර්මාණය කළ යුතුයි. එම නගර තුල විද්‍යාව සහ තාක්ෂණය දියුණුවට පත්වෙනවා. ඉන්දියන් සාගරයේ විශාලතම නගරය ශ්‍රී ලංකාවේ ඇති කිරීම අපේ අරමුණයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයටත් තාක්ෂණය යොදාගත යුතුව තිබෙනවා. එසේ නොවුනහොත් තව වසර තුන හතරක් යනවිට මෙම ස්ථානයට එන්නට පැය තුනක් පමණ ගතවේවි. ඒ පිළිබදවත් චම්පික රණවක මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. එතුමාත් ඉංජිනේරුවකු ලෙස තාක්ෂණය පිළිබදව උනන්දුවක් දක්වනවා.

අපගේ ව්‍යාපාරයේ එක් අරමුණක් වන්නේ දැනුම ඇතිකිරීමයි. බස්නාහිර මහ නගරයක් ලෙස දියුණුවට පත්කළ විට එම ප්‍රදේශයට බොහෝ දෙනෙකු පැමිණෙනවා. අද අප තැබුවේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ වැදගත් පියවරක් බව කිව යුතුයි.

අප ඇරඹු මෙම වැඩ පිළිවෙලින් ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිතයේ විශාල විපර්යාසයක් ඇතිවේවායි මා ප්‍රාර්ථනා කරනවා. රට ඉදිරියට යන මාර්ගය ඉදිරියේදී මීටත් වඩා පැහැදිලි වේවි.

මෙවර අය වැයෙන් වාහන මිලෙහි කිසිදු වෙනසක් වෙන්නේ නැහැ

2016 සැප්තැම්බර් 21 වැනි දින – නොවැම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත යහපාලන ආණ්ඩුවේ දෙවන  අයවැයෙන් වාහන මිල අඩු, වැඩි, වෙතැයි ඇතැමුන් විවිධ මත පළ කළද වාහනවල මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පැවසීය.
ආනයනික වාහන සඳහා දැනට පනවා ඇති බදු ඉදිරි අයවැයෙන් අඩුකර වාහන මිල පහත හෙළීමට රජය පියවර ගනු ඇති බවට මේ දිනවල ජනතාව අතර පැතිර යන මතය පදනම් විරහිත එකක් බවද එම සංගමය සඳහන් කළේය. අයවැයෙන් වාහන මිල වෙනස්වේද යන්න සහ රථවාහන කර්මාන්තයේ වත්මන් වාතාවරණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලංකා වාහන  ආනයනකරුවන්ගේ සංගමය අද (21) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ වසර දෙකක් ගතවන තුරු ආනයනික වාහන සඳහා වන බදු වෙනසකට ලක් නොකරන බවට මුදල් අමාත්‍යවරයා වාහන ආනයනකරුවන් වෙත ‍පොරොන්දුවක් ලබා දී ඇති බවය.

“ඉදිරි අයවැයෙන් පසුව වාහන මිල අඩුවේයැයි මතයක් මේ දිනවල රථවාහන ක්‍ෂේත්‍රයේ ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් රථවාහන වෙළෙඳ‍පොළ යම් අස්ථාවර තත්ත්වයකට පත්ව තිබෙනවා. වගකීමෙන්  යුතු සංගමයක් ලෙස අප සංගමය ජනතාව අතර  පැතිරෙන මෙම මතයෙහි සත්‍ය අසත්‍යයතාවය පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් විමසීමක්  කළා. වසර දෙකක් ගතවනතුරු ආනයනික වාහන සඳහා වන  බදු වෙනස් නොකරන බවට පසුගිය අප්‍රේල් මාසයේදී වාහන ආනයකරුවන් වෙත ලබාදුන් ‍පොරොන්දුව ඒ අයුරින්ම සුරකින බවට අමාත්‍යවරයා මෙහිදී  අප වෙත ප්‍රකාශ කළා. ඒ නිසා ඇතැම් වාහනවල වටිනාකම් ගැනීමේදී අඩුපාඩු සිදුවී ඇත්නම් ඒවා නිවැරැදි කිරීම හැරුණුවිට, මෙවර අයවැයෙන් වාහන මිලට බලපෑමක් සිදුවේයැයි  අපේක්ෂා කරන්නට බැහැ. අයවැයෙන් පසු වාහන මිල අඩුවන බවට පැතිර ඇති මතය මුළුමනින්ම දුර්මතයක් බව සඳහන් කළ හැකියි “යනුවෙන් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ  මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය.

පසුගිය අප්‍රේල් මාසයේදී සිදුවූ වාහන බදු ඉහළ නැංවීමට පෙර මෙරටට ගෙන්වන ලද වාහන වෙළෙඳ‍පොළෙහි ඇති බවත්, එබැවින් තවමත් පැරණි මිල ගණන්වලටම ඒවා මිලදී ගත හැකි බවත් ලංකා වාහන ආනයකරුවන්ගේ සංගමය සඳහන් කළේය.  ජපානයේ යෙන් මුදල් ඒකකයේ අගය ශක්තිමත් වීම වැනි හේතු සාධක නිසා ඉදිරි කාලයේදී වාහන මිල ඉහළ යාමේ අවදානමක් ඇති බැවින් අඩු මිලට වාහනයක් මිලදී ගැනීමට හොඳම කාලය මෙය බවත් සංගමය නියෝජනය කරමින් පැමිණි වාහන ආනයනකරුවන් පැවසූහ.

පසුගිය අප්‍රේල් මාසයේදී එන්ජින් ධාරිතාව  1500cc ට වැඩි වාහන සඳහා වන අවම බද්ද විශාල ලෙස ඉහළ නැංවීම නිසා ඒ වන විට ඇණවුම් කර තිබූ වාහන ප්‍රති අපනයනය කිරීමට පවා වාහන ආනයනකරුවන්ට සිදුවුණා. එම බදු ඉහළ නැංවීමෙන් පසු පැරණි මිලට වඩා රුපියල් ලක්ෂ 4-5ක් වැඩි මුදලකට වාහන අලෙවි කිරීමට වාහන වෙළෙඳුන් කටයුතු කළත්, පාරිභෝගිකයන් වාහන මිලදී ගැනීම සීමා කළ නිසා යළිත් පැරණි මිලටම වාහන අලෙවි කිරීමට වාහන වෙළෙඳුන් කටයුතු කරනවා. අප්‍රේල් මාසයේ සිදු වූ බදු ඉහළ නැංවීමට පෙර  මෙරටට ආනයන කළ වාහන තවමත් වෙළෙඳ‍පො‍ලේ තිබෙනවා. ඒවා පැරණි මිල ගණන්වලටමයි තවමත් අලෙවි කරන්නේ. ජපානයේ යෙන් මුදල් ඒකකයේ අගය දිනෙන් දින ශක්තිමත් වන බව අද වන විට දැකගන්නට පුළුවන්. පසුගිය  කාලය තුළ යෙන් අගය 10කින් පමණ ශක්තිමත් වුණා. ඉදිරියේදී එය තවත් ශක්තිමත් විය හැකි බවට මේ වන විට අනාවැකි පළ වී තිබෙනවා. යෙන් අගය තවත් ශක්තිමත් වුවහොත් වාහන මෙරටට ආනයන කිරීම සඳහා වැය කළ යුතු මුදල වැඩි වෙනවා. එවිට වාහන ආනයනය සීමා වීමෙන් වෙළෙඳ‍පොල වාහන මිල තවත් ඉහළ යා හැකියි.  මේ වන විට වාහන වෙළෙඳ‍පොළේ අස්ථාවර තත්ත්වයක් පැවතුණත්, එහි වාසිය පාරිභෝගිකයන්ටයි හිමි වන්නේ. මේ නිසා වාහන මිලදී ගැනීම තවදුරටත් ප්‍රමාද කළ යුතු නැති බවයි අපට පාරිභෝගිකයන් වෙත දීමට තිබෙන වැදගත්ම පණිවුඩය” යනුවෙන්ද මෙරෙංචිගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ලංකා වාහන ආනයකරුවන්ගේ සංගමයේ ‍ලේකම් කීර්ති ගුණවර්ධන සහ භාණ්ඩාගාරික ෆ්‍රෑන්ක්ලීන් ප්‍රනාන්දු, සම ‍ලේකම් දුෂාන් අසංග, විධායක කමිටු සාමාජිකයන් වන කසුන් පතිරාජ සහ තිස්ස රණසිංහ  යන මහත්වරුද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

මිථ්‍යාමතික නිවාරණවලින් වැළකීම සහ ඒකාධිපති විසඳුම් පරාජය කිරීම

‘‘… අතීතයෙන් වර්තමානය උපන්නේ කෙසේදැ යි වටහා ගැනීම, වර්තමානය තේරුම් ගැනීමට සේම, බාගෙ විට අනාගතය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමටත් අපට උපකාරී වන්නේය.’’  – එරික් හොබ්ස්බෝන් (ඉතිහාසය පිළිබඳව)

අහස උසට සංවර්ධන අභිලාෂයන් ඇතත්, ශ‍්‍රී ලංකාව තමන්ගේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වැය කරන්නේ, අයවැයෙන් සියයට 1 ට අඩු ප‍්‍රතිශතයකි. මෑතකදී නිමාවට පත්වූ ‘ශ‍්‍රී ලංකා විද්‍යා හා තාක්ෂණ සමාජයේ’ 2016 සම්මන්ත‍්‍රණයේදී මේ විෂමතාව අවධාරණය කරන ලදි. එම සම්මන්ත‍්‍රණය අමතමින් මහාචාර්ය අජිත් ද අල්විස් අනතුරු ඇඟවීමක් කෙළේය: ‘‘තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාව නොතකා හැරීම හරහා ශ‍්‍රී ලංකාව සිදු කරගන්නේ බරපතල පාඩුවකි.’’ විද්‍යාව පිළිබඳ මේ විද්වත් සංවාදය ඇරැුඹුණේ, ආගමික වතාවත් පිළිබඳ විනාඩි දෙකක වීඩියෝ දර්ශනයකිනි. එය, දේශපාලනීකරණය වූ ආගම සමග ඇති අපේ භයානක පේ‍්‍රම වෘතාන්තය සහ මිථ්‍යා විශ්වාස කරපින්නා ගැනීමට ඇති ලෝලය පිළිබඳ ඛේදනීය-විගඩම සංකේතවත් කෙළේය.

බුදුරජාණන් වහන්සේ සාමඤ්ඤපාල සූත‍්‍රයේදී ජ්‍යොතිෂය සහ බලි තොවිල් වැනි දෑ හඳුන්වන ලද්දේ, ‘තිරශ්චීන කලාවන්’ වශයෙනි. (එවැනි ‘කලාවන්’ ලැයිස්තුවක් ඒ සූත‍්‍රයේ අන්තර්ගත වෙයි: අත බලා ශාස්ත‍්‍ර කීම සහ පේන කීම, ග‍්‍රහයෝග බැලීම සහ සිහින පැහැදිළි කිරීම, රාජ්‍ය නිලධාරීන් සඳහා අනාවැකි කීම, යකුන් පලවා හැරීම සහ ශුභ නැකැත් බැලීම, ජීවිත කාලය පිළිබඳ අනාවැකි කීම සහ දේශපාලනික හෝ ස්වාභාවික සිදුවීම් පිළිබඳ අනාවැකි කීම හා හඳහන් බැලීම ආදිය ඒවාට ඇතුළත් ය). එහෙත් බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු දහම සුරැුකී ඇතැයි කියන ශ‍්‍රී ලංකාවේ සිංහල-බෞද්ධයන් ජ්‍යොතිෂ අනාවැකිවලට සලකන්නේ, දේවවාදී ඇදහීම් සහිත මිනිසුන් තම තමන්ගේ දෙවියන් වහන්සේගේ හෝ අනාගත වක්තෘන්ගේ වචනවලට සලකන පූජණීයත්වයෙන්මයි.

විසි එක් වැනි සියවසේ දෙවැනි දශකයේදීත්, බැතිමත් සිංහල-බෞද්ධයන් තමන්ගේ සාමාන්‍ය අවබෝධය පසෙක ලා, සාස්තරකාරයෙකුගේ, යකැදුරෙකුගේ හෝ ‘තිරශ්චීන කලා’ අනුයන යමෙකුගේ නියෝග පිළිපැදීමෙන් ජීවිතක්ෂයට පත්වන අවස්ථා අපට අසන්ට ලැබේ. ඊට මෑතම උදාහරණය සැපයෙන්නේ පිටිසර ගමකින් නොව, නාගරීකරණය වූ පිළියන්දලිනි. හමේ රෝගයකට ප‍්‍රතිකාරයක් වශයෙන් යකැදුරෙකු දුන් කෂායක් පානය කිරීමෙන් මේ පුද්ගලයා මරණයට පත්විය. යකැදුරාව දැන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව නීතිය ඉදිරියට පමුණුවා අධිකරණයක් ඉදිරියේ මෙය විභාගයට ගනිතැයි අපි සිතමු. එසේ වන විට එය, තම ජීවිතය සහ අනාගතය පිළිබඳ කාරණය ‘තිරශ්චීන කලාකාරයන්ට’ භාර කිරීමේ ඇති මුග්ධ භාවය අවබෝධ කර ගැනීමට, අඩු වශයෙන් අපේ වර්තමාන නායකයන් ඇතුළු ඇතැම් ශ‍්‍රී ලාංකිකයන්ටවත් උපකාරී විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ නායකයන්ගෙන් බොහොමයක් ග‍්‍රහයෝගත්, ඒවා අර්ථකථනය කරන්නන්වත් විශ්වාස කළහ. එහෙත් ඒ කිසිවෙකු රාජපක්ෂ තරම් රාජ්‍ය බලය සහ සම්පත් පාවිච්චි කරමින් ජ්‍යොතිෂඥයන්ව කරට ගන්ට හෝ ඔවුන්ව වධ හිංසාවට ලක් කිරීමට හෝ ගියේ නැත. බොහෝ දේශපාලඥයන් ඇතුළු බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතවල ජ්‍යෝතිෂය කවදත් ඉතා වැදගත් සාධකයක් වී තිබෙන බව ඇත්ත. එහෙත්, එය රාජපක්ෂ පාලනය යටතේ තරම් ඊට පෙර කිසි විටෙක. පොදු අවකාශය තුළ ප‍්‍රධාන ස්ථානයක් ගෙන නැත.

තව අවුරුදු දෙකක් තිබියදී ජනාධිපතිවරණයකට යාම සඳහා පමණක් නොව, සුභ මොහොතක් බලා මැතිවරණ කොමසාරිස්වරයාට නාම යෝජනා භාර දීමේ සිට එම මැතිවරණය තුළ ඔහු කළ කී සියලූ දෑ ද බොහෝ කොට තීන්දු කෙරුණේ ජ්‍යොතිෂඥයන්ගේ උපදෙස් අනුවයි. මෙතරම් මිථ්‍යාමතික නැති රටවල ජනමත විචාරණ ආයතන සහ දත්ත විශ්ලේෂක ආයතනවලට හිමි වන ස්ථානය ලංකාවේ මැතිවරණ ව්‍යාපාරය තුළ හිමි වුණේ ජ්‍යොතිෂඥයන්ටයි. උදාහරණයක් වශයෙන්, රජයේ රූපවාහිනිය මැතිවරණ අනාවැකි කියැවීමට ගෙන්වුයේ ජ්‍යොතිෂඥයන්වයි. මේ නිහීන භාවිතය වැඩි කල් නොගොස් පෞද්ගලික රූපවාහිනී නාලිකාවන්ටද බෝ විය.

රාජපක්ෂ පරාජයේ වඩාත් සාධනීය එක් අංගයක් වන්නේ, ජ්‍යොතිෂය පොදු අවකාශයෙන් පෞද්ගලික අවකාශයට යළි තල්ලූ කර දැමීමට හැකි වීමයි. මෑතක පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා අනුව, සිරිසේන-වික‍්‍රමසිංහ පාලනයත් ඒ නරුම අතීතයට අඩියක් දෙකක් තියන අවස්ථා නැතුවා නොවේ.

වර්තමානය තුළ අතීතය

තමන්ගේ න්‍යාය පත‍්‍රයට නොගැලපෙන අනාවැකියක් කී ජ්‍යොතිෂඥයෙකුව අත්අඩංගුවට ගනිමින් රාජපක්ෂලා ඉතිහාසගත විය. විපක්ෂයට හිතවාදී යැයි සැළකුණු ජ්‍යොතිෂඥයෙකු වූ චන්ද්‍රසිරි බණ්ඩාර එදා පැවති පාලනය ගැන අශුභ අනාවැකියක් කී විට රාජපක්ෂලා ප‍්‍රතිචාර දැක්වූයේ සහාසිකවයි. ඔහුව අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගොස් දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරන ලදි.

ඉන් පෙර නොවූ විරූ ඒ මර්දනකාරී පියවරෙන් අපේක්ෂා කළ ප‍්‍රතිඵල හැරෙන තැපෑලෙන්ම ආවේය. හිරභාරයෙන් නිදහස් වී චන්ද්‍රසිරි මහතා එළියට ආවේ, ඉතා ආරක්ෂා සහිත, අළුත උපන් රාජපක්ෂවාදියෙකු වශයෙනි. ඒ කෙතෙක්ද යත්, 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂගේ තිරසාර ජයග‍්‍රහණය සපථ කොට සිටි ඔහු, එසේ නොවුණහොත් තමා වෙඩි තියාගෙන මැරෙන බව රූපවාහිනී සජීවී වැඩ සටහනක් හරහා රටට කියා සිටියේය.

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිළිබඳ අනාවැකියක් කී, වත්මන් ආණ්ඩුව පිළිබඳ විවේචකයෙකු වශයෙන් දන්නා විජිත රෝහණ විජේමුනිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීය. (ඔහුගේ විකිපීඩියා පිටුවේ දැක්වෙන පරිදි, ඔහු ප‍්‍රසිද්ධියට පත්වුණේ, හමුදා ආචාර පෙළපාලියකදී තම බයිනෙත්තුවෙන් රජීව් ගාන්ධිට පහර දුන් නැවියා වශයෙනි. පසුව, සිහල උරුමයෙන් ඔහු මැතිවරණයටත් ඉදිරිපත් වුණි). හෙණ ගහන අපරාධ බහුල වශයෙන් සිදුවෙන අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජ්‍යොතිෂඥයන් පස්සේ මෙසේ පන්නන්නේ, ජ්‍යොතිෂ ප‍්‍රලාප යනු සත්‍යයම මිස වෙන කිසිවක් නොවෙතැයි දේශපාලඥයන් තවමත් විශ්වාස කරන බැවිනි.

වාසනාවට, 2016 යනු 2009 නොවේ. වර්තමාන ආණ්ඩුවත් මිථ්‍යා පිළිසරණ හෝ ඒකාධිපති විසඳුම් කෙරෙහි පෙළඹෙයි. එහෙත්, 2015 ජනවාරි මාසයෙන් පසු ඇති වු වෙනසට ස්තුතිවන්ත වන්නට, එවැනි පිළිසරණ පස්සේ හඹා යාමේ ඉඩකඩ අද හැකිලී තිබේ.

2009 දී එක් ජ්‍යොතිෂඥයකුව අත්අඩංගුවට ගෙන දීර්ඝ වශයෙන් ප‍්‍රශ්න කරන ලදි. 2016 දී අත්අඩංගුවට ගත් අනිත් ජ්‍යොතිෂඥයා කෙළේ, දැනටමත් තමා කටඋත්තරයක් දී ඇති බැවින් තවදුරටත් කරදර කළහොත් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටීමයි.

2009 දී අත්අඩංගුවට පත් රාජපක්ෂ-විරෝධී ජ්‍යොතිෂඥයා එළියට එන විට රාජපක්ෂවාදි බැලයෙකු වී තිබුණි. 2016 දී අත්අඩංගුවට පත් ජ්‍යොතිෂඥයා තම දේශපාලන පාට වෙනස් කෙළේ හෝ පොලීසිය පිස්සු වැට්ටූ අදාළ වීඩියෝ පට මකා දැමුවේ හෝ නැත. මේ දෙදෙනා අතර ඒ වෙනසට හේතු වුණේ, 2015 ජනවාරි මාසයේ ඇති වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසයි.

ශ‍්‍රී ලංකාව යනු යහපාලනයේ පාරාදීසයක් නොවේ. එහෙත් නිසැකවම එය කලින් තිබුණාට වඩා එය යහපත් රටකි.

ජගත් සන්තුෂ්ටිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 2013 වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාව යනු මේ මහ පොළොව මත පිහිටි වඩාත් දුක්ඛදායි රටවල්වලින් එකකි. රටවල් 156 ක් අතරින් එදා ශ‍්‍රී ලංකාවට හිමි වුණේ 137 වැනි ස්ථානයයි. 2016 වන විට ශ‍්‍රී ලංකාව ඒ සූචිය තුළ 117 වැනි ස්ථානයට පත්ව වර්ධනය වී සිටී. තව යාමට ඇති දුර බොහෝ ය. එහෙත් දිසාව නිවැරදි ය. ආර්ථිකය හරහට නොසිටියොත්, තව අත්කර ගත හැකි ජයග‍්‍රහණයන් බොහෝ ය.

මිථ්‍යා විශ්වාස කෙරෙහි පූර්ණ භක්තියෙන් සිටි රාජපක්ෂලා විද්‍යාව විශ්වාස කෙළේ නැත. තමන්ගේ ඡුන්ද පදනම තුළ ඇති වෙමින් තිබූ අසහනය පිළිබඳ කල්තියා එළිදුටු එක් අනතුරු ඇඟවීමක් ඔවුන් නොසළකා හැරියේ එබැවිනි. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය 2011 දී පැවැත්වූ සමීක්ෂණයකට අනුව, ඉදිරි වසර දෙක තුළ රටේ සාමාන්‍ය ආර්ථික තත්වය වර්ධනය වෙතැයි සිංහලයන්ගෙන් සියයට 70 ක් විශ්වාසය පළ කළහ. එම ආයතනය මගින් 2013 දී කළ සමීක්ෂණයේදී එම විශ්වාසය දරා සිටියේ සිංහලයන්ගෙන් 38.5 ක් පමණි. අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ මොන තරම් ගරාවැටීමක්ද?

ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකිවල එල්ලෙනවා වෙනුවට මෙවැනි වාර්තා පිළිබඳ සැළකිලිමත් වුයේ නම් රාජපක්ෂලා 2015 දී පරාජය නොවන්නටත් ඉඩ තිබුණි.

වැට් බදු පනතේ අත්‍යාවශ්‍ය භාවය ගැන වර්තමාන ආණ්ඩුව අනන්තවත් ප‍්‍රචාරකවාදි වැඩපිළිවෙලවල් දියත් කළ හැක. සාමාන්‍ය ජනතාවට එයින් හානියක් නොවෙතැයි දස අතේ දිව්රා කිව හැක. එහෙත්, බඩුවක් මිළදී ගැනීමේදී හෝ දුරකථන ඇමතුමක් ගැනීමේදී හෝ වෛද්‍යවරයෙකු චැනල් කිරීමේදී පාරිභෝගිකයාට දැනෙන වෙනස, එම ප‍්‍රචාරණයන් නිසා වෙනස් වන්නේ නැත. එවිට ඔවුහූ අපේක්ෂා භංගත්වයට පත්වෙති. හරියට, 2011 සහ 2013 අතර කාලයේදී මෙනි.

මේ ආණ්ඩුවත් වැරදි කළ හැක. එසේ කොට, බලය පවත්වා ගැනීමටත් යම් තාක් හැකි වනු ඇත. එහෙත් රාජපක්ෂලා කළ වැරදිම මොවුනුත් කරන්නේ නම්, අපේ අනාගතය 2015 ජනවාරියේදී අප ගැලවී ආ අතීතයෙන් වෙනස් නොවනු ඇත. පියවර දෙකක් ඉදිරියට ගොස් එක පියවරක් පස්සට තැබුවත්, ඉදිරියට යා හැක. එහෙත් එක පියවරක් පමණක් ඉදිරියට තබා පියවර දෙකක් පස්සට ගියොත් නතර වන්නේ අර කී අතීතයෙන්මයි.

අත නෑර ඉදිරියටම

ඇමරිකාවේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට ප‍්‍රතිවාදීව හිලරි ක්ලින්ටන් අත්කර ගෙන සිටි විශාල ජනප‍්‍රියත්වය භයානක අන්දමින් වෑරී යන බව නේට් සිල්වර් ජනමත විචාරණයේදි හෙළි විය. එහිදී, මීට කලකට පෙර ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්ව නියෝජනය ලබා ගැනීම සඳහා හිලරි ක්ලින්ටන්ට ප‍්‍රතිවාදීව සිටි බර්නි සැන්ඩර්ස් එම සතියේදීම, තමාගේ අතීත ප‍්‍රතිවාදිනියගේ සහායට එක පයින් ඉදිරිපත් විය. හිලරි ක්ලින්ටන් පිළිබඳ විශාල ප‍්‍රසාදයක් අද පවා බර්නි සැන්ඩර්ස්ට නැත. එහෙත්, ට‍්‍රම්ප්ව පරාජය කළ හැකි එකම මග හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් පෙනී සිටීම බව බර්නි සැන්ඩර්ස් නිගමනය කෙළේය. මෙම මැතිවරණය, තුන්වැනි පාර්ශ්වයක් වෙනුවෙන් ඡුන්දය නාස්ති කර ගැනීමට හෝ ඡුන්දය නොදා ගෙදරට වී සිටීමට හෝ අවස්ථාවක් නොවන බව, හිලරි ක්ලින්ටන් ගැන අවිශ්වාසයෙන් සිටි තම අනුගාමිකයන් අමතා බර්නි සැන්ඩර්ස් කීය. එකම ගැලවීමකට ඇත්තේ, ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව පරාජය කොට හිලරි ක්ලින්ටන්ව ජයග‍්‍රහණය කැරැුවීම සඳහා ජනතාව පෙළ ගැස්වීම පමණක් බව ඔහු අවධාරණය කෙළේය.

2015 දී, ශ‍්‍රී ලාංකිකයන් වන අපි, අපේ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ව පරාජය කෙළෙමු.

රාජපක්ෂ පාලනය යටතේ පැවති ¥ෂණය, පවුල්වාදය සහ වෙනත් බොහෝ අක‍්‍රමිකතාවන්ගෙන් අප තවමත් ගැලවී නැත. එහෙත්, රාජපක්ෂලාගේ කාලයේ පැවතියාට වඩා යහපත් ආණ්ඩුක‍්‍රරණයක් අද අපට තිබේ.

උදාහරණයක් වශයෙන්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ගන්න. එය, ශ‍්‍රී ලංකාව එතෙක් අත්දැක ඇති වෙනත් ඕනෑම ක‍්‍රියාවලියකට වඩා විවෘත ය. එසේම, පෙර නොවූ විරූ අයුරින් සියල්ලන්ව ඊට ඇතුළත් කර ගැනීමට උත්සුක ය. අළුත් ආණ්ඩුක‍්‍රම සකසා ගැනීමේදී වේවා, පවතින ආණ්ඩුක‍්‍රමයට නව සංශෝධන ගෙන ඒමේදී වේවා, අතීතයේදි අප ක‍්‍රියා කොට ඇත්තේ ඉහළ සිට පහළටයි. එනම්, කළ යුත්තේ කුමක්දැයි නායකයන් විසින් තීරණය කරනු ලැබ, ඔවුන්ගේ නිගමනය ජනතාව මත පැටවීමයි. ඊට ඉඳුරා වෙනස් ආකාරයකින් නව ආණ්ඩුව, අළුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සියල්ලන්ගේ අදහස් විමසා සිටී.

එතෙක් අඳුරේ තෙම්පරාදු වෙමින් තිබූ වැදගත් ප‍්‍රශ්න කිහිපයක්, මේ නව විවෘත භාවය තුළ අද කරළියට විත් තිබේ. එයින් එකක් වන්නේ රාජ්‍යයේ ලෞකික භාවය පිළිබඳ ප‍්‍රශ්නයයි. 1970 දී අමාත්‍ය කොල්වින් ආර්. ද සිල්වාට සංදේශයක් ඉදිරිපත් කරමින් ‘ලංකා හේතුවාදි සංගමය’, ලෞකික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් උදෙසා ඉදිරිපත් කරන ලද තර්ක, එදාටත් වඩා අදට ගැලපෙයි. ඇත්තෙන්ම, 1972 දී හඳුන්වා දෙන ලද සහ පසුව 1978 දී තවත් ශක්තිමත් කරන ලද, බුද්ධාගමට ප‍්‍රමුඛ ස්ථානය ලබා දීමේ වගන්තිය, මෑත කාලීන ප‍්‍රපංචයකි. ඒ වන තෙක් එවැනි වගන්තියක් අපේ ව්‍යවස්ථාව තුළ තිබුණේ නැත. එසේ වුවද, බුද්ධාගම එදා ආවාට ගියාට තිබුණා නොව, එය මල්ඵල ලා වැඞීමක්ද පෙන්නුම් කෙළේය. මෙහිදී, සාසනයේ සුභසිද්ධිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් මහා පරිනිබ්බාන සූත‍්‍රයේදී බුදුන් වහන්සේ දැක්වූ කොන්දේසි අතරේ කිසි තැනක රාජ්‍ය අනුග‍්‍රහය හෝ විශේෂ ආරක්ෂාවක අවශ්‍යතාවක් පිළිබඳ සඳහනක් නැති බව සඳහන් කිරීම වටනේය.

මෙතෙක් කල් තහනම් මාතෘකාවක් වශයෙන් තිබී දැන් විවෘත භාවය ඔස්සේ කතාබහට ලක්ව ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ, ‘කාන්තා ක‍්‍රියාකාරී ජාලය’ වැනි ප‍්‍රගතිශීලී කණ්ඩායම් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 16 වැනි වගන්තියට එරෙහිව දක්වන විරෝධයයි.

1951 ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ මේ වගන්තිය යටතේ මුළුමණින් පිළිගැනේ. ඒ අනුව, මුස්ලිම් නොවන ගැහැනුන් සහ ගැහැනු දරුවන් භුක්ති විඳින වැදගත් ව්‍යවස්ථාමය ආරක්ෂාවන් සහ අයිතිවාසිකම් සමහරක් මේ වගන්තිය යටතේ මුස්ලිම් කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට අහිමි කෙරේ. උදාහරණයක් වශයෙන්, ලංකාවේ තරුණියකගේ විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 16 ක් වෙතත්, අවුරුදු 12 ක් වයසැති මුස්ලිම් ගැහැනු දරුවෙකුව මේ වගන්තිය යටතේ විවාහ කර දිය හැක. ඊටත් වඩා අඩු වයසැති ගැහැනු දරුවෙකුව වුව, මුස්ලිම් විශේෂ අධිකරණයක අවසරය යටතේ විවාහ කර දිය හැක.

මාධ්‍ය වාර්තා කරන අන්දමට, සම්ප‍්‍රදායික මුස්ලිම් දේශපාලනික සහ ආගමික නායකයන් මේ 16 වැනි වගන්තියේ කිසි වෙනසක් ඇති කරනවාට විරුද්ධ ලූ. එහෙත් ළමා විවාහ, අපරාධයක් සේ සළකා නීති පනවා ගත් මුස්ලිම් රටවල් අනන්තවත් තිබේ. (එක්සත් ජාතීන්ගේ මූලාශ‍්‍රවලට අනුව, ඇල්ජීරියාව, බංග්ලාදේශය, ජෝර්දානය, ඉරාකය, මැලේසියාව සහ මොරොක්කෝව යන රටවල ගැහැනියක් විවාහ වීම සඳහා සපිරිය යුතු අවම වයස අවුරුදු 18 කි. ටියුනීසියාවේ එය අවුරුදු 20 කි). මෙය දැන් ලංකාවේ මහජන කතිකාවට ලක්ව තිබේ. ඒ, ජාතීන් බෙදා වෙන් කරන සටන් පාඨයක් වශයෙන් හෝ ජාතිවාදී අපහාසයක් වශයෙන් පාවිච්චි කිරීමට නොව, ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ඇති වී තිබෙන විවෘත සංවාදයේ බරසාර මාතෘකාවක් සේ සැළකිල්ලට ගැනීමටයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අළුත් ව්‍යවස්ථාවක් පිළිබඳ බිල්ලෙකු මවා පෑම සඳහා මේ සතියේ මල්වතු මහ නාහිමියන් බැහැදුටුවේය. භීතිකා රෝගය බෝ කරමින්, මතිභ‍්‍රමයට යට නොවන්නැයි, එහිදී උන්වහන්සේ ඔහුට අනුශාසනා කළ බව මාධ්‍ය වාර්තා කෙළේය. මේ දක්වා ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය විනිවිද භාවයෙන් යුතුව සිදුවන නිසා බිය වීමට කාරණා නැතැයි උන්වහන්සේ ඔහුට පෙන්වා දී තිබේ.

එවැනි අනුශාසනාවන්ට කන්දීම වීරවංශට හුරු පුරුද්දක් නොවේ. ඔහු සහ ඔහුගේ රාජපක්ෂ හාම්පුතුන්ට ලංකාවේ අනාගතයක් ඇත්තේ, ශ‍්‍රී ලංකාව අතීතයේ නරා වළට වැටුණොත් පමණි. යළි බලය ලබා ගැනීමේ රාජපක්ෂ සිහිනය සැබෑ විය හැක්කේ, රටේ ජනතාව මතිභ‍්‍රමයේ සහ භීතිකා රෝගයේ මඩ වළට වැටුණොත් සහ රටේ නායකයන් විද්‍යාව අතහැර, සාමාන්‍ය බුද්ධිය පසෙක ලා, මිථ්‍යාමතික නිවාරණයන්ට ගොදුරු වී, ඒකාධිපති විසඳුම් බදා ගතහොත් පමණි.

*2016 සැප්තැම්බර් 18 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්‘ වෙබ් අඩවියේ පළවූ “Avoiding Superstitious Cures; Defeating Dictatorial Solutions”නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

මහජන බැංකුවේ ඩිජිටල් වංචාව සහ ප්‍රතිරූපය

මහජන බැංකුවට එරෙහිව ද්වේශ සහගත අසත්‍ය තොරතුරු පිළිබඳ දැනුවත් කිරීමක් ” බව සඳහන් කරමින් එක් පුවත් පතක් හැරෙන්නට අනිත් සියළුම දිනපතා සහ සති පතා ඉංගි‍්‍රසි සිංහල හා දමිළ පුවත් පත් සියල්ලකම මුදල් ගෙවා පල කරන ලද විශාල දැන්වීමක් මඟින් බැංකුවේ නිවේදනයක් පසුගිය දිනවල පල කර තිබුණි.

එම ප‍්‍රචාරක දැන්වීමේ අරමුණ වශයෙන් දක්වා තිබුනේ මහජන බැංකුව තුල රුපියල් කෝටි හැත්තෑවක මහා වංචාවක් සිදුව ඇතැයි පවසමින් සත්‍ය තොරතුරැ විකෘති කර බැංකුවේ ප‍්‍රතිරූපයට බරපතල හානියක් සිදු කිරීමට බැංකුවට එරෙහිව කටයුතු කරන කිපදෙනෙකුගේ උත්සාහයක් මේ වන විට පවතින බැවින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කල කළමණකාරීත්වය අදාල කරුණ සම්බන්‍ධයෙන් පැහැදිලි අවබෝධයක් බැංකුවේ වටිනා ගණුදෙනුකරැවන් ඇතුළු මහජනතාවට සහ සේවක ප‍්‍රජාවට ලබා දීමට තීරණය කරමින් එම නිවේදනය නිකුත් කල බවයි.

1961 වසරේ දිවංගත ගරු සිරිමාවෝ බණඩාරනයාක මැතිණිය අගමැති තනතුරේ සිටියදී අභාවප‍්‍රාප්ත ඇමති ගරු ටී.බී.ඉලංගරත්න අමති තුමන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පණතක් මඟින් මෙම මහජන බැංකුව නමැති ජනතා ආයතනය බිහිවිය. එහි පළමු සභාපතිවරයා හැටියට ශී‍්‍ර ලංකාවේ එවකට ජීවතුන් අතර සිටි අද්වීතීය ශ්‍රේෂඨතම සමුපකාරිකයා වශයෙන් පිළිගැනීමට භාජනය වී සිටි සඳ ලංකාවේ ශී‍්‍රමත් වින්සන්ට් සුබසිංහ මැතිඳුන් පත් කරනු ලැබිණි. එදා මෙදා තුර අප දන්නා ඉතිහාසය තුල කිසිම දිනක මහජන බැංකුවට එරෙහිව කිසිම අවස්ථාවකදී එහි ප‍්‍රතිරූපයට හානිකර ජන මතයක් ප‍්‍රචාරය වී නැති බව අවධාරණයෙන් තතු දන්නා උදවිය වෙනුවෙන් සඳහන් කලයුතු වේ. පසු කාලීනව බැඳුන සමහරුන්ගේ ඉතිහාසය 2000 දී ආරම්භවන බව මහජන බැංකුවේ කරුණු පැහැදිලි කිරීමේ වෙළඳ දැන්වීම අනුව පෙනී ගිය ද, මහජන බැංකුවේ ගමන් මග ඔවුන්ගේ දැන්වීම පරිදි 2000 අසතුටුදායක මුල්‍ය තත්වයකට පත්වු බව සඳහන් කිරීම අසත්‍ය මෙන්ම බරපතල විකෘති කර හුවා දැක්වීමක් බව වග කීමෙන් යුක්තව සඳහන් කල යුතුව ඇත. බැංකුවේ මතු සඳහන් කරුණු පැහැදිලි කිරීමේ වෙළඳ දැන්වීමෙහි අඩංගු සියළුම කරුණු පිළිබඳව එක එකක් පාසා සවිස්තර සත්‍ය පැහැදිලි කිරීමක් මෙම නිවේදනය මඟින් සිදු කරන බැවින් මුලින්ම බැංකුවේ මුල්‍ය තත්ත්වයේ සත්‍ය ඉතිහාසය විකෘති කිරීම පිළිබඳව හරි හැටි පෙන්වා දිය යුතුව ඇත.

1992 පෙබරවාරි 19 වන දින රටේ ප‍්‍රධාන රාජ්‍ය බැංකු දෙක වු ලංකා බැංකුව සහ මහජන බැංකුව ණය ගෙවාගත නොහැකිව වස්තු භංගත්වයට පත්ව ඇති බව එවකට අගමැති හා මුදල් ඇමති වරායාව සිටි ගරු ඞී.බී. විජයතුංග මහතා විසින් පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කල අතර 1992 මාර්තු 20 වන දින එම ප‍්‍රකාශය පදනම් වු විශ්වාස භංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය විය. මහජන බැංකුව මුල්‍ය පරිහානියකට වැටී ඇති බව පළමු වරට හෙලිදරව් කරන ලද්දේ රටේ අගමැතිවරයා වු එවකට සිටි මුදල් ඇමතිවරයා විසිනි. බැංකුව ගන අටුවා ටිකා එහෙන් මෙහෙන් උපුටා ගෙන ජනතාවට ඊනියා කරුණු පැහැදිලි කරන වර්තමාන කළමණාකාරිත්වය මේවා ගැන නොදන්නා බව ඔවුන්ගේ වෙළඳ දැන්වීම අනුව පැහැදිලිවේ. 2000 වසරේ දී මහජන බැංකුව ආ ගමන් මග තුල 40 වසරක ඉතිහසයේ ඉතාමත් අසතුටුදායක මුල්‍ය පදනම වාර්තා කල බව මොවුන් කියන්නේ 1992 බැංකුව මුහුණපා තිබු තත්ත්වය පිළිබඳව කිසිම අවබෝධයක් නොමැතිව විය යුතුය.

බැංකුවේ කරැුණු පැහැදිලි කිරීමේ වෙළඳ දැන්වීමේ සඳහන් පළමු අසත්‍යය එසේය. මහජන බැංකුව දේශපාලන බලපෑම් වලින් නිදහස්ව වෙනත් වාණිජ බැංකු සමග වාණිජමය පදනමක් මත තරඟකාරීව කි‍්‍රයාත්මක වන බැංකුවක් වශයෙන් ප‍්‍රතිව්‍යුහගත කිරීමට භාජනය වුයේ 2001 දී නොව1992 දී ය.

මෙම දැන්වීම් අතිරේකයේ සඳහන් එක් එක් කරුණ පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු.

බැංකුවේ ප‍්‍රතිරුපයට හානිකර පුවත් පලකිරීමක් සම්බන්‍ධයෙන් ජාතික පුවත් පත් වලට චෝදනා කරමින් බැංකුවේ ප‍්‍රතිරූපයට හානිකර පුවත් පල කිරීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව සඳහන් කර ඇත. අප දන්නා විධියටත්, මේ රටේ ජනතාව කිසිම සැකයකින් තොරව නිවැරදිව තේරුම් ගන්නා ආකාරයටත් අනුව, මහජන බැංකුවේ ප‍්‍රතිරූපයට හානිකර කිසිම චෝදනාවක් කිසිවෙක් විසින් වත් ඉදිරිපත් කර නැත. සිදුවී ඇත්තේ වංචාකාරී ලෙසට කටයුතු කරමින් බැංකුවේ සම්මත කි‍්‍රයා පටි පාටියට පහහැනි ලෙසින් සිදු කර ඇති ගණුදෙනුවක් පිළිබඳව හෙලි දරව් කිරීමක් පමණකි. එයින් බැංකුවේ ප‍්‍රතිරුපයට කිසිම ආකාරයක හානියක් නොවන බවත්, බැංකු ප‍්‍රතිරූපයට මුවා වෙමින් වංචනික කටයුතු වල නියැලී සිටින අයගේ කි‍්‍රයා පටිපාටිය හෙලිදරව් වීම පමණක් බවත් අවධාරණයෙන් සඳහන් කර සිටිමු. ආයතනයක කටයුතු වංචනික ලෙස මෙහෙයවන පිරිස් නිසා ආයතනයට කැලලක් වුවද, එහි ප‍්‍රතිරූපය බිඳ වැටීමට එය හේතුවක් වන්නේ නැත. මක්නිසාද එසේ හෙලිදරම් කිරීම නිසා එබඳු වංචනිකයින් ඉවත් කොට පරිපාලනය පිරිසිදු කරගත හැකි වන බැවිනි. ප‍්‍රතිරූපය බිඳ වැටීමක් සිදුවන්නේ එම දුෂිතයින් තවදුරටත් රඳවාගෙන සිටීමෙන් විනා ඔවුන් හෙලිදරව් කිරීම නිසා බුද්ධිමත් ජනතාව තේරැම් ගන්නවා අත. රටේ මුදල් ඇමති වරයා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කරමින් මහජන බැංකුව වස්තු භංගත්වයට පත්ව ඇතැයි කියු අවස්ථාවේදීවත්, අයහපත් ප‍්‍රතිචාරයක් නොදැක් වීමටත්, බැංකුවට හානිකර කිසිම පියවරක් හෝ ගැනීමටත් මේ රටේ ප‍්‍රබුද්ධ මහජනතාව කටයුතු නොකල බව මේ නවක කළමණාකාරිත්‍වය තේරුම් ගත යුතුය. හොර මැරකම් හෙලි දරව් වන විට බැංකුවේ ප‍්‍රතිරූපයට මුවා වෙමින් සියළු කටයුතු වසා ගැනීමට වෙළඳ දැන්වීම් පල කිරීමෙන් පලක් නොවන බවත්, එබඳු කි‍්‍රයා වලට වැඩි ආයුෂ කාලයක් නොමැති බවත් තේරැුම් ගතව ඇත.

ඊලගට මෙම වෙළඳ දැන්වීමේ සඳහන් වන්නන් බැංකුවේ ඩිජිටල් කරණයට වැය කිරීමට යන්න්නේ කෝටි 70 ක් නොව කෝටි 50 ක් පමණක් බවය. 70-50 වු පලියට වංචාවේ බරපතලකම හා වගකීම අඩුවන්නේ නැති බව පෙන්වා දිය යුතුය. තවද කිසිම ආකාරයක මිලදී ගැනීමක් මේවන විට කර නැති බවද එහි සඳහන් වේ. ඒක නම් ඇත්තකි. මක්නිසාද යත් මගඩිය කල් වෙලා ඇතිව හෙලදරව් වීම නිසා වැඩේ අතේ පත්තු වී ගිය බැවින්ය. එසේ නොවන්නට මෙලහකටත් වැඩේ හමාරවී අවසන් වන්නට තිබුනි.

2016 අගෝස්තු මාසයේ 04 වනදා කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පලවු ලිපියකින් 2015 වේ ඔක්තෝම්බර් මසයේ සිට මෙම ඊනියා ඩිජිටල් කරණය දෙසට ගමන් කරමින් තිබෙන පෙරහැර ගැන විස්තර හෙලිදරව් විය. මලයාසියාවේ සිල්වර් ලෙක් සමාගමට එහි නියෝජජිතයෙකු වශයෙන් කටයුතු කරන දේශිය සැපයුම් කරුවෙකු හරහා ඇමරිකානු ඩොලර් මිලියන 11 ක කොන්ත‍්‍රාත්තුවක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව පිරිනැමීමට ගත් තීරණයක් පිළිබඳ කරුණු හෙලිදරව් විය. එම ගනුදෙනුවට අදාලව 40% ක අත්තිකාරම් මුදලක් ගෙවීමට අනුමත වී ඇත.

කෝටි 70 ක වංචාවක් හැටියට පුවත් පත් මගින් අගෝස්තු මසයේදී හෙලිදරව් වුයේ, එම විදේශිය සමාගම සහ එහි නියෝජිත ලංකා සමාගම සමඟ ඩිජිටල් කරණයේ ඊලග පියවර හැටියට, ටෙන්ඩර පටිපාටියට අනුකූල නොවන පියවර හරහා මිලට ගැනීමේ සිද්දියකි. එහෙත් එය අවසන් කිරිමට ප‍්‍රථම අභියා්ගාත්මක අන්දමින් ප‍්‍රසිද්ධ වු නිසා දැන් එය තවමත් සිදු කර නැති කාර්යක් හැටියට බැංකුව විසින් පෙන්වා දිම හාස්‍යට කරුණකි.

ඊළඟට මෙම දැන්වීමේ සඳහන් වන්නේ මහජන බැංකුව පුර්න ඩිජිටල් කරණයට අනුකූලව සිදු කිරීමට නියමිත මිලදී ගැනිම් කරගෙන යන බවයි. අප දන්නා මහජන බැංකුවේ එකි පනතට අනුකූලව පරමාර්ථ වශයෙන් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා සමුපකාර ව්‍යාපාරය, ග‍්‍රාමීය බැංකු ක‍්‍රමය කෘෂිකර්මාන්තය සහ කාර්මාන්ත සංවර්ධනය කිරිම සහ ඒවාට උපකාරි විමත් වානිජ බංකු කටයුතු උකස් ව්‍යාපාරය සහ වෙළඳ බැංකු කටයුතු පවත්වා ගෙන යාමත් යන කාරණාවල්ය. බැංකුව ඩිජිටල් කරණය හරහා කෘෂිකර්මාන්තය හා කර්මාන්ත නඟා සිටුවීම, උගස් ව්‍යාපාරය ඩිජිටල් කරණය කිරිමත් පසුකාලීනව බැංකුවට එක්වු අමුත්තන් විසින් ඉස්මතු කරගත් ප‍්‍රමුඛ තාවයක් බව පැහැදිලිය. බැංකුවේ මුලික පරමර්ථ ඉටු කිරිමෙන් බැහැර වෙමින් ඩිජිටල් කරණය හරහා හදිසි ප‍්‍රමුඛතාවයකින් මුදල් සම්භාරයක් පිල්ලි ගසා ගැනිමට වෙරදැරීම කිසිසේත්ම බැංකුව පිහිටුවා ගැනීමෙන් මුලික අරමුණු වලට අයත් වන කි‍්‍රයාවක් නොවන බව කිසිවෙකුටත් තේරැුම් ගැනීමට අපහසු නැත.

ඩිජිටල් කරණය සහ බැංකුවේ පරමාර්ථ ඉටු කරගැනිම වැනි මාතෘකා පිළිබඳව ජනතාව නිසි අයුරින් දැනුවත් කිරිමට නොහැකි වි තිබෙන්නේ බැංකුවේ දැවැන්ත ප‍්‍රචාරක වියදම් බජට්ටුවේ ගම්භිරත්වයට යටකරගෙන සිටින හීලෑකරගත් මාධ්‍ය ව්‍යාපාරය නිසාය. මෑත කාලයේ දී බැංකුවේ වංචනික නිලධාරින් ගේ ඊනියා ඩිජිටල් කරණ විච්ඡුාව දෙස කිසිවෙකු ද්වේශ සහගතව කරුණු හුවා දක්වන බවත් සඳහන් කිරීම ඒ අයට කරන බලවත් අපහාසයකි. ඇත්ත වශයෙන් කරුණු හුවා දක්වමින් සිටින අය විසින් කරණු ලබන්නේ වංචනිකයින් විසින් ගෙන යමින් තිබෙන දූෂිත කි‍්‍රයා දෙස දැඩි පිළිකුලකින් බැලිමකි. සෙසු වනිජ බැංකු සිය ක්‍ෂේස්ත‍්‍රය තුල දැඩි තරගකාරීත්‍වයකින්, මහත් පරිශ‍්‍රමයකින් හා මනා සැලැස්මකින් ව්‍යාපාර කටයුතු කරමින් ඉතා ඉහල මට්ටමක ලාභදායී තත්‍වයක් උදාකර ගෙන සිටින අතර මහජන බැංකුව රජයට ණය සහ අයිරා පහසුකම් දෙමින් ද ගම්දනව් පුුරා විසිරි සිටින ජනයාගේ උකස් භාණ්ඩ පොලිය මගින් ද ලාභය ඉපැයීමට සිතානවා ඇත. ප‍්‍රධාන බැංකු කටයුතු හරහා මහජන බැංකුව සිය ලාභයෙන් 8% වත් උපයා ගන්නේ නැත.

ඩිජිටල් කරණය හරහා ඔවුන්ගේ ව්‍යාපාර ව්‍යාප්ත කර ගැනීම සඳහා කිසිම උපාය මාර්ග සැලැස්මක් ද මේ දක්වා සකස් කරගෙන නැත. එය වෙනුවට බැංකු අතරේ ඩිජිටල් කරණයේ පලවෙනි තැන ලබා ගැනීමට අරමුණු කරගෙන සිටින බව සඳහන් කිරීම කිසිම පදනමක් නොමැති ප‍්‍රකාශයක් පමනක් බව පැහැදිලිය.

ඇත්ත වශයෙන් මේ වනවිට බැංකුවේ අභ්‍යන්තර ශක්තීන් හා දායකත්වයන් උපයෝගි කර ගනිමින් නව තාක්‍ෂණ මෙවලම් හරහා ගණුදෙනු කරුවන්ට ලබාදිය හැකි සේවා සියල්ලක්ම පාහේ මහජන බැංකුව ලබාදීමට සමත්වි සිටි. දැන ගන්නට තිබෙන අන්දමට සේවක දායකත්වයන් අභ්‍යන්තරව සැලසුම් කරගත් ව්‍යාපාර පද්ධති වලට පවා විදේශිය සමාගම්වල උප්පැන්න සහතික ලබා දෙමින් මුදල් වැය කිරීමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක වී ඇත. ස්වාධීන පරීක්‍ෂණ අවස්ථාවක් ඇතිවුවහොත් එම තොරතුරු නිසකවම හෙලිදරව් වන බව අපට විශ්වාසය.

තවද මෙම වකවානුවේ මහජන බැංකුවේ තොරතුරැු තක්‍ෂණ අංශයේ ප‍්‍රධානියා වශයෙන් ටෙලිකොම් සමාගමේ සේවය කරමින් සිටි අයෙක් බඳවා ගැනීමට ද කටයුතු කර ඇත. මොහුගේ බඳවා ගැනීම සම්බන්ධයෙන් ද මූලික සුදුසුකම් පිළිබඳ ප‍්‍රකාශ වන සැක සහිත කරුණු ගනනාවක්ම ඉස්මතුවි ඇත.

2015 ඔක්තොම්බර් මස 8 වෙනි දින අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්විමේදි මැලේසියාවේ සිල්ව ලේක් සමාගමෙන් ඇමරිකානු ඩෝලර් මිලියන 7.6 ක් සහ ඈ.ඩො. මිලියල 3.4 ක් වටින සේවා පැකේජයක් ලබා ගැනිම අනුමත කර ඇත. එදිනම පිපල්ස් කාඞ් මධ්‍යස්ථානයේ කම්පියුටර් පද්ධතියේ වැඩි දියුණු කිරිම් සඳහා ඇ.ඩො.935.00 ක මෙවලම් මිලයට ගැනිමටත්් තිරණය කර ඇත.

තවද තොරතුරු අතිරේඛ වශයෙන් රඳවා තබා ගැනිම කාර්යය සඳහා මිලියන 151 ක් ද අනුමත කර ඇත. මේ එකදු ගනුදෙනුවක් සඳහා වත් ටෙන්ඩර් පටිපාරිය ට අනුකූලව කටයුතු සිදු වි නැත. සියළු ගනුදෙනුවලට අනුව සම්පුර්ණ වටිනාකම රුපියල් බිලියන 2 ක් පමණ වේ.

2016 අගෝස්තු මාසයේ හෙලිදරව් වු කෝටි 70 ක ගණුදෙනුව මේ සියල්ලටම පසුව අනුමත කරවා ගැනීමට සුදානම් වු ගණුදෙනුවකි.

එය මාධ්‍ය හරහා හෙලි දරව් වීම නිසා දැනට අත් හිටුවා තිබන අතර, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අළුත්ම තීරණය වී ඇතතේ් එම ගණුදෙනුව අනුමත කිරීමට පලමුව කොම්පියුටර් තාක්‍ෂණය සම්බන්‍ධ විශේෂඥයෙකකුගෙන් එය පරීක්‍ෂා කරවා ගෙන වර්තාවක් ලබාගැනීමය. මෙයින් ඉතා හොදින් පැහැදිලි වන කාරණයක් වන්නේ කලින් කරන්නට ගියේ තාක්‍ෂණික විශේෂඥ උපදෙස් ලබානොගත් කි‍්‍රයාවක් බවය.

තවද රු. මිලියන 155 ක් වටිනා තොරතුරු ආරක්‍ෂාකර තබා ගැනීමේ ක‍්‍රමවේදයක් මිලයට ගැනිමද අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයක් ගෙන ඇත.

2015 සිටම මහජන බැංකුව ඩිජිටල් කරණය කිරීම සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩල සහ කළමණාකාරීත්‍වයේ අවධානය යොමු කල බවත් 2015 අපේ‍්‍රල් මාසයේ ඒ සම්බන්‍ධයෙන් වැදගත් තීරණ ගත් බවත් වෙළඳ ප‍්‍රචාරක පැහැදිලි කිරීම් අතිරේකයේ සඳහන්ව ඇත.

සිදුව අති සිද්ධීන් හා ගෙන ඇති තීරණ දෙස ආපසු හැරී බැලීමෙන් නිවැරදි තත්ත්වය හොඳින් තේරුම් ගත හැකිය.

2015 අපේ‍්‍රල් 23 වන දින පැවති අධක්‍ෂ මණ්ඩල රැුස්වීමේදී සිල්වර් ලේක් ඉන්ටර් ග්‍රෙටඞ් බෑන්කින් සිස්ටම් (SIBS) නැමැති වැඩ සටහනක් අධ්‍යක්‍ෂ මණ්ඩල රැුස්වීමේ සාකච්ඡාවට භාජනය කර ඇත. එහිදී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් පසුව අධ්‍යක්‍ෂ මන්ඩලය තීරණය කර ඇත්තේ සිල්වර් ලේක් සමාගම මඟින් හදුන්වා දී දැනට කි‍්‍රයාත්මක වෙමින් පවතින මුලික බැංකු කරණ කි‍්‍රයාවලිය පාදක කරගනිමින් ඩිජිටල් කරණයට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සිල්වර් ලේක් සමාගම සමග කේවල් කිරීම ආරම්භ කල යුතු බවය.

එහෙත් ඒ සමාගමට පමණක් හෝ ඒ සමාගම ලවා එම කාර්යය ඉටු කරවා ගැනීමේ සහ ඔවුන්ගේ සේවාව ලබා ගැනීමේ තීරණයන් අධ්‍යක්‍ෂ මණ්ඩලය ගෙන නැහැ පෙනී යන අන්දමට කලින් සඳහන් කරන ලද නිර්දේශය පදනම් කරගෙන එම සමාගමට ටෙන්ඩරයකින් තොරව කාර්යය පැවරීමට කීප දෙනෙක් මුල්වී කටයුතු කර ඇති බව පෙනේ. මෙය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අදහස් වලට වැලි ගැසීමක් ලෙසින් පෙනී යයි.

මහජන බැංකුව සිය නව තාක්‍ෂණ(කොම්පියුටර්) කටයුතු මධ්‍යස්ථානය වශයෙන් රු.ලක්‍ෂ 07ක් පමණවු කුලියක් ගෙවමින් පවත්වාගෙන යමින් තිබු ස්ථානයෙන් ඉවත්ව මාසයකට රුපියල් මිලියන 09 ක් ඉක්මවන කුලියක් ගෙවමින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතන පරිශ‍්‍රයේ ස්ථානගත කිරීමටද එම අධ්‍යක්‍ෂ මන්ඩලයේ රැුස්වීමේ දී තීරණය කර ඇත. තවඳ ඒ සඳහා රු.මිලියන 29.07 ක් වැය කොට නව උපකරණ පද්ධතියක් මිලයට ගැනීමෙන් ඒවායේ වාර්ෂික නඩත්තු කුලිය වශයෙන් රුපියල් මිලියන 02.09 බැගින් ගෙවීමටත්් එම රැුස්වීමේදිම අනුමත කර ඇත.

මේ සියළුම ගණුදෙනු සිදුව ඇත්තේ දේශීය වශයෙන් එක් සමාගමක් හරහා වීමද ඉතා සැක කටයුතු කාරණයක් වී ඇත. ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කිරීම, වෙනත් සැපයුම් කරුවන් ඉදිරිපත් නොවීම, බැංකුව ඇස්තමේන්තු කරන ප‍්‍රමාණයට මිල ගනන්, එකම සමාගමකින් ඉදිරිපත් වීම, වැනි සියළු කරුණු මෙම සැක සහිත තත්‍වය වැඩි වීමට හේතු වී තිබේ.

බැංකුවේ පැහැදිලි කිරීමේ දක්වා සිටින තවත් එක් කාරණයක් නම් සැකයට භාජනය වී තිබෙන උපංග මිලයට ගැනීම සිල්වර් ලේක් සමාගමේ නිර්දේශය මත ෂඵඊ වෙතින් කිරිමට සැලසුම් කරගත් බව, උපක‍්‍රමශීලි ලෙසින් එකම පාර්ශවයකට පිරි නැමීම සඳහා යොදා ගත් සුක්‍ෂම වැඩපිලිවෙලක් බව සැක කිරීමට හේතු සාදක කීපයක්ම ඇත. උපංග —– කිරීම භාරවුයේ සිල්වර්ලේක් සමාගමටය. ඔවුන් දෘඩාංග සඳහා ලබාදුන් නිර්දේශ වලින් උපකරණවල නිෂ්පාදන අංක යටතේ දැක්වු ලැයිස්තුවක් ලබා දී ඇත. එසේ නිෂ්පාදන අංක සහිතව නිර්දේශ කලවිට එකම සමාගමක නිර්දේශිත අංකය සහිත භාණ්ඩම අනිවාර්යෙන්ම මිලයට ගතයුතු වන්නේය. එසේ වු විට එකම නිෂ්පාදන විස්තර සහිත වෙනත් සමාගමකින් භාණ්ඩ ලබා ගැනීමේ ඉඩකඩ සීමා වන්නේය. අධ්‍යක්‍ෂ මණ්ඩලය මෙම මිලදී ගැනීම් අනුමත කිරීම සඳහා රැුස්වීම පැවැත් වීමට ප‍්‍රථම මාධ්‍යය හරහා ආන්දෝලනයක් ඇති වු බැවින් වඩාත් විමසිලිමත් ව මෙම ගණුදෙනුව දෙස බැලිමක් සිදුවී ඇත. ඒ නිසා මෙම ගණුදෙනුව වෙනස් වී තිබෙන බව ඉතා පැහැදිලිය.

බැංකුවේ පැහැදිලි කිරිමේ දැන්වීම මෙසේ සඳහන්ව ඇත.

සමහර පුවත් පත් මගින් හුවා දක්වන ආකාරයේ මහා පරිමාණ හෝ වෙනත් ආකාරයේ හෝ අවධිමත් ගණුදෙනුවක් හෝ කිසිදු ආකාරයකින් සිදුවි නොමැති බව අවධාරනය කරන්නෙමු. මෙය කොයිතරම් සාවi හා නොගැලපෙන ප‍්‍රකාශයක් ද යන්න සිතා බැලිය යුතු කාරණයකි.

විවිධ තොරතුරු සැකසහිත කාරණා පිලිවෙත් උල්ලංගනය කිරීම් අදී කරුණු රාශියක් පදනම් කරගෙන ඉදිරිපත් වන චෝදනා වලට චූදිතයා විසින්ම මුදල් ගෙවා ප‍්‍රචාරය කරන දැන්වීමකින් එසේ කිරිම කොයිතරම් දුරට අපක්‍ෂපාති ලෙස සහ නිවැරදි​ ලෙස පිළිගත හැකිද? බැංකු නිලධාරින් කෙලින්ම තමන්ගේ නිර්දෝෂි භාවය කියා පෑම වෙනුවට ස්වාධීන අපක්‍ෂපාත සොයා බැලිමකට ඉඩ සලස්වා එමගින් පිලිකුලක් ලබාගත්තේ නම් කොතරම් හොදද? සාධාරනද? ඒත් එසේ නොකරන්නේ නොකර හැකි බැවින්ය. මෙබදු ප‍්‍රකාශ හා පිලිවෙත් නිසා හේතු පාඨ හා ප‍්‍රකශගත කාරනා සම්බන්‍ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් අතර තව තවත් සැකය වැඩි වීමකට හේතුවනු ඇත.

වෙනත් බැංකු ද ඩිජිටල් කරණය වෙතට යොමු වී සිටින බවත් මහජන බැංකුව ඩිජිටල් කරණය ට අදාලව ලංකාවේ සාර්ථක ම බැංකුව බවට පත්විමට කටයුතු කරන බැවින් නොයෙකුත් කුමන්ත‍්‍රණ මහජන බැංකුවට එල්ලවන බවත්ද පෙන්නුම් කිරිමේ මෙම බොලඳ ප‍්‍රචාරක පැහැදිලි කිරිම උත්සාහ දරා ඇත. මෙය ඉතා පහත් පෙලේ අවලාදයක් බව නම් පෙනි යයි. බැංකු ක්‍ෂේස්ත‍්‍රයේ තර`ගකාරීත්‍වයක් පවත්නා බව සත්‍යයක් වන නමුත් මේ ආකාරයට ව්‍යාපාර සංවර්ධන කටයුතු සම්බන්‍ධයෙන් බැංකු අතර කුමන්ත‍්‍රණ කාරිත්‍වයක් පවත්නා බව ප‍්‍රසිද්ධයේ සඳහන් කිරිම නම් එතරම් ඥාන්විත කි‍්‍රයාවක් හැටියට පිලිගත නොහැකි ය. අනෙක් අතට බැංකුව විසින් බැංකුව ට විරුද්ධව කුමන්ත‍්‍රණයක් දියත්වෙමින් පවත්නා බව ප‍්‍රසිද්ධ කිරිම බැංකුවේ ව්‍යාපාර කටයුතු වලට බලවත් පහරක් වන බව මෙම කළමණාකාරිත්‍වයේ පිරිස් වලට නොපෙනි යැම කනගාටුවකට කාරණයකි. හොරකමක් වංචාවක් පිලිබඳව එල්ලවි තිබෙන චෝදනාවක් බැංකුවේ ව්‍යාපාර කටයුතු සම්බන්‍ධයෙන් පවතින කුමන්ත‍්‍රණයක් හැටියට ජනතාවට පෙන්වා දිම නම් අදම මුග්ධ කි‍්‍රයාවක් බව නොකියාම බැරිය.

විවේචන හා අපවාද වලින් උසිගැනිවිම් කෙසේ හෝ ඩිජිටල් කරණය දඩමීමා දියත් කරගැනීම වෙනුවට හැකි අයුුරින් ප‍්‍රධාන බැංකුකරණයට අදාලව සිය ව්‍යාපාර කටයුතු වලින් උපයන ලාභ ප‍්‍රමානය ලැජ්ජා නොවන තත්‍වයකට වැඩිකර ගැනිමට උනන්දුවිම විශාල මුදල් සම්භාරයක් වැය කරමින් සැලසුමක් ඉලක්ක දෙසට හඹා යාමට කාලෝචිත බවඳ සඳහන් කල යුතුය. තැන්පත්කරුවන් ගේ මුදල් රිසිසේ වැය කිරිමට ඉඩකඩ තිබෙන පලියටම එසේ කිරිම දඩුවම් ලැබිය යුතු කාරණයක් බව සිහි තබා ගත යුතුය.

රුසිරිපාල තෙන්නකෝන්

ගයාෂාන්ගේ සිද්ධියෙන් හෙළිවන ‘පොලිස් පිස්සුව’

අතුරුදන් ව සිටි ගයාෂාන් හම්බන්තොට පොලිසියට බාර වී තිබේ. වධහිංසාවලට ලක්වී පොලිස් ස්ථානයෙන් පළා යාමෙන් අනතුරුව දින අටක් පමණ ඔහු විවිධ ස්ථානවල ඇවිදමින් සිට ඇත. අවසානයේ බෞද්ධ හිමිනමකට දුරකථනයෙන් කථා කර තිබෙන අතර, එම හිමිනම ඔහු ව පොලිසියට භාරදීමට මැදිහත් වී තිබේ.

මාධ්‍ය විසින් දැක්වූ උනන්දුවට පින්සිදුවන්නට රට පුරාම මේ ප‍්‍රශ්නය සාකච්ඡා විය. වාර්තා වූ අන්දමට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ගයාෂාන්ගේ පියාට කතා කර පොරොන්දු වී තිබෙන්නේ තරුණයා සොයාගැනීම සඳහා තමන්ට තිබෙන බලය තුළ කළ හැකි සෑම දෙයක්ම කරන බවට ය. එසේත් නැතිනම් තරුණයාට යම් දෙයක් සිද්ධ වී තිබේ නම් දැඩි පියවර ගන්නා බවට ය.

විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා පොලිසිය තම 150 වැනි සංවත්සරය සමරමින් සිටින මේ අවස්ථාවේ මේ සිද්ධියේ සලකා බැලිය යුතු අංග ගණනාවක්ම තිබේ. අනිවාර්යයෙන්ම කිව යුත්තේ, වයස පිළිබඳව කතා කරන්නේ නම් ශ‍්‍රී ලංකා පොලිසිය අවුරුදු 150ට වඩා වයස්ගත බව ය. මන්ද, එය ආරම්භ වුණේ බි‍්‍රතාන්‍යයන් විසින් මුහුදුබඩ පළාත් අල්ලා ගත් වහාම ය. මේ අනුව ශ‍්‍රී ලංකා පොලිසිය ආරම්භ වූ වසර 1795 විය යුතුය.

මේ ආයතනය මෙතරම් පෞරාණික නිසාම, ගයාෂාන්ගේ සිද්ධියේදී සිදු වූ දේවල් සිද්ධ විය යුතුව තිබුණාද යන්න විමසා බැලීම වටී.

මේ තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතුව ප‍්‍රදේශයේ නිවසක ගබඩා කර තිබූ වී බෑග් කිහිපයක් සොරකම් කිරීම බව දැන් හොඳින් දන්නා කරුණකි. මේ සම්බන්ධයෙන් තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිණි. ඔවුහු මේ සොරකම තමන් නොකළ බව කියමින් විරෝධය පෑහ. එසේම මෙම සොරකම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බව ද කියමින් ඒ බව ප‍්‍රතික්ෂේප කළහ. නිසැක වශයෙන්ම, මෙතරම් පෞරාණික ආයතනයකට අයත් නිලධාරීන්, වී සොරකමක් සම්බන්ධ ප‍්‍රශ්නයක් විමර්ශනය කිරීමට අවශ්‍ය මූලික පුහුණුවවත් ලබා සිටිනවා විය යුතුය. පරිණත මිනිසුන් වූ මේ නිලධාරීන්, එතරම් ලේසියෙන් එකී ‘විමර්ශනය’ සිදුකරන්නට තීරණය කළේ ඇයි? මේ ප‍්‍රශ්නය ශ‍්‍රී ලංකාවේ ඕනෑම තැනක ජීවත් වන ඕනෑම කෙනෙකුගෙන් ඇසුවහොත් ලැබෙන පිළිතුර වන්නේ ‘හැම තිස්සෙම ඒ අය එහෙම තමයි කරන්නෙ’ යන්නයි.

කිසිම සැකයක් නැතිව, පොලිසියේ විවිධ නිල තල හොබවන්නන් මේ බව, එනම් රටපුරාම පොලිසිය, වසරක් වසරක් පාසා සාමාන්‍ය මිනිසුන්ට හිරිහැර කරන ආකාරය දැන සිටිනවා විය යුතුය. වසර 200කටත් අධික කාලයක් තිස්සේ සිද්ධ වූයේ එය බව ඔවුහු දැන සිටිති. තවමත්, මේ විකාරය නවත්වන්නට එක ඇඟිල්ලක් හෝ සෙළවී නැත. පොලිසිය මෙවැනි පල් මෝඩ විදිහට හැසිරෙන විට ජාතියක් ගොඩනගන්නට හැකිදැයි අඩුම ගණනේ පාර්ලිමේන්තු සභිකයන්, අමාත්‍යවරුන් යනාදී මෙකී පොලිස් නිලධාරීන්ගේ අධිකාරිය උසුළන එකදු පුද්ගලයෙක්වත් අසන්නට සිතාවත් නැත.

මෙහි මීළඟි අදියර මීටත් වඩා – දරන්නට අසීරු තරම් ග‍්‍රාම්‍ය ය. පොලිසිය තුළම ආරක්ෂිත ස්ථානයක් වෙත ගෙන යන තරුණයන්ට ඉන්පසු බරපතළ ලෙස පහර දෙනු ලැබේ. ඒ ඇයි? පාපොච්චාරණ ලබාගැනීමටත් ඔවුන් නොකළ යම්කිසි දෙයක් තමන් විසින් කළ බව බලෙන් කියවා ගැනීමත් සඳහා ය. දැන්, ශ‍්‍රී ලංකා නීතියේ 1994 අංක 22 දරණ වධහිංසා වැළැක්වීමේ පනතේ අඩංගු අන්දමට, මේ වධහිංසාවට සෘජුව හෝ වක‍්‍රව සම්බන්ධ මේ පොලිස් භටයන් හැම කෙනෙක්ම බරපතළ වැඩ සහිත වසර 7 කට නොඅඩු සිර දඬුවමකට සහ රුපියල් 10,000 ක දඩයකට යටත් කළ යුතු දරුණු අපරාධයක් සිදුකර තිබේ.

මෙහිදී නැවතත් බරපතළ නොගැළපීමක් ඇති වේ. ඔය කියන අන්දමට වී බෑග් කිහිපයක් එකී තරුණයන් විසින් සත්‍ය වශයෙන්ම සොරකම් කර තිබුණා වුණත්, ( ඒ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති වුවත්) එය සුළු සොරකමක් පමණි. ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකර තිබෙන්නේ බරපතළ අපරාධයකි. පැහැදිලිවම, ශ‍්‍රී ලංකාවේ පොලිස්ක‍්‍රමය තුළ තර්ක ශාස්ත‍්‍රයට කිසියම්ම හෝ තැනක් තිබෙනවා නම් මෙකී පොලිස් නිලධාරීන්ද, ඔවුන්ගේ උසස් නිලධාරීන් ද ඔවුන්ගේ ප‍්‍රධානීන් ද මේ බරපතළ නොගැළපීම දැකිය යුතුය.

නමුත් සමහරවිට තර්ක ශාස්ත‍්‍රයට මේ පිළිබඳව කරන්නට කිසිවක් නැති නිසාම මේ අමු පිස්සුව කුමක්දැයි බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැත. අප විසින් පෙර සඳහන් කර තිබෙන අන්දමට, මේ පිස්සුව පොලිසියට වරින් වර වැළඳෙන පිස්සුවක් නොවේ. එය සෑම කල්හිම, රට පුරා සෑම පොලිස් ස්ථානයකම සිදුවන්නකි.

මේ පොලිස් ස්ථාන අධීක්ෂණයේදී සමාජයීය වශයෙන් වැදගත් නිලතල දරන පුද්ගලයන් දෙදෙනෙක් වෙති. එක්කෙනෙකුට කියන්නේ පොලිසියේ ඕඅයිසී (OIC) හෙවත් පොලිස් ස්ථානාධිපති කියා ය. අනෙක් කෙනාට කියන්නේ ඒඑස්පී (ASP) හෙවත් සහකාර පොලිස් අධිකාරී කියා ය. රටපුරාම සිටින මෙවැනි නිලතල දරන නිලධාරීහු මේ සිද්ධියේ තිබෙන පිස්සු ගතිය හොඳින් දනිති. එසේම පොලිස් රාජකාරි කිරීමේ නිසි ක‍්‍රමය එය බවටත් ඔවුහු අනුමත කරති. මෙහිදී නැවතත් අප ඇසිය යුත්තේ හේතුව සහ තර්කයෙන් ඔවුන් මෙතරම් දුරස් වී නීතිය තනි කරන්නේ මන්ද යන්නයි.

පොලිස්පතිවරයාම තරුණයාගේ පියාට කතා කර තමන්ට හැකි සෑම දෙයක්ම කරන බව කීවත්, වධහිංසාව සහ අවමන් සහගත සැලකිල්ල සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතිය උල්ලංඝනය කරන පොලිස් නිලධාරීන්ව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවූ බවට කිසිම වාර්තාවක් නැත. ඔහු කර තිබෙන එකම දෙය එම පොලිස් නිලධාරීන් ව යම්කිසි වෙනත් පොලිස් ස්ථානයකට මාරු කර යැවීම පමණි. මෙය දඬුවමක පෙරනිමිති හඟවන කි‍්‍රයාවක් යැයි අප සිතිය යුතුය. මෙහිදී නැවතත්, පෙර සිද්ධියට ඔබ ආපසු ගියහොත්, සුළු සොරකමකට සැක කළ තරුණයන් තිදෙනෙකුට දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇති අතර, එසේ වධ හිංසා සහ අවමන් සහගත සැලකිලි නමැති බරපතළ අපරාධය සිදුකළ පොලිස් නිලධාරීන් ට ස්ථාන මාරු ලබාදීම පමණක් සිදුකර තිබේ.

මේ අවස්ථාවේදී පවා අප අසන්නේ පොලිස්පතිවරයා අදාළ සහකාර පොලිස් අධිකාරිවරයා සම්බන්ධයෙන් ගත් කි‍්‍රයාමාර්ගය කුමක්ද යන්නයි.

පොලිස් ස්ථානයක ආසන්නතම අධීක්ෂකවරයා වන්නේ සහකාර පොලිස් අධිකාරීවරයා ය. ඔහු විසින් කළ යුතු කාර්යයන් දෙපාර්තමේන්තු නියෝගවල දැක්වේ. මෙකී නියෝග ද ශතවර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ ක‍්‍රම ක‍්‍රමයෙන් විකසනය වී තිබේ.

මෙහිදී කාරණය වන්නේ පොලිස් ස්ථාන අධීක්ෂණය කිරීම නමැති සහකාර පොලිස් අධිකාරිවරයා විසින් කළ යුතු රාජකාරිය නොකර සිටීම සම්බන්ධයෙන් කිසිදු සහකාර පොලිස් අධිකාරිවරයෙක් දඬුවමට ලක්නොවීමයි. කුඩා සමාගමක වුවත්, අධීක්ෂකවරයා සිය රාජකාරිය කරන්නට අසමත් වේ නම් ඔහු ව හෝ ඇය ව අස්කර දැමේ. නමුත් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සිය රාජකාරිය කරන්නට අසමත් වන විට දඬුවමක් නැත.

මෙහිදී නැවතත් ඔබ මුල් සිද්ධිය වෙත ගමන් කරන්නේ නම්, වී මලූ කිහිපයක් සොරකම් කිරීම නිසා අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම, වධහිංසා පැමිණවීම සහ අතුරුදහන් වීම සිදු වී තිබේ. නමුත් ජේ්‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් සිය රාජකාරිය කරන්නට අසමත් වන විට ඒ සඳහා දඬුවමක් නැත.

මෙහිදී ‘හරි දේ සහ වැරදි දේ’සඳහා ආදේශ වන පරිමාණය කුමක්ද? පැහැදිලිවම මේ පරිමාණය බාහිර සමාජය සඳහා ආදේශ වන්නක් නොවේ. එයින් ඉතාම සරල ලෙස පෙන්වන්නේ සමාජය තාර්කික යැයි සලකන දෙය සහ පොලිස් ස්ථාන තුළ තාර්කික යැයි සලකන දෙය අතර පැහැදිලිවම ඉතා විශාල වෙනසක් තිබෙන බවයි.

මේ සතියේ විදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශය විසින් තවත් කමිටු කිහිපයකට සාමාජිකයන් පත් කළ බව නිවේදනය කළේය. ඒ, රට තුළ සිදුවන සියලූ ආකාරවල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ විමසා බලන්නට ය. මේ කමිටු පත්කරන්නේ දැනටමත් තිබෙන කොමිසම් විශාල සංඛ්‍යාවකට අමතරව ය.

මේ කමිටු සහ කොමිසම් විසින් අපට අපේ නිදහස ගෙන දෙනු ඇතැයි අප සිතිය යුතුද?

අපට කලින් සර්කස් එකම නැවත නැවත දැකීමට සිදු වේවිද?

පිළිතුර රැුඳී තිබෙන්නේ මේ තරුණයා අතුරුදන් වූයේ කෙසේද යන පැනයට විසඳෙන ආකාරය මත පමණක් නොවේ. ඉහතින් සඳහන් කළ දරුණු අතාර්කිකත්වය පිළිබඳ ගැටලූව ආමන්ත‍්‍රණය කරන්නේ කෙසේද හෝ එය දිගටම ගැටලූවක් ලෙසම පවතිනවාද යන්න මත ද එයට පිළිතුර රැුඳී තිබේ.

පොලිසියට භාර වීමෙන් පසුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ පොලිස් නිලධාරීන් විසින්, තරුණයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තත්, තමන් විසින් අත්අඩංගුවට ගත්තේ තරුණයන් දෙදෙනෙක් පමණක් බවට පොලිස්පොතේ වැරදි ලෙස සටහන් යොදා ඇති බවත්, ඒ සඳහා ඔවුන්ට විරුද්ධව පියවර ගන්නා බවත් ය. කෙසේ නමුත් නියත වශයෙන්ම මෙහි තිබෙන වඩාත්ම බරපතළ ගැටලූව වන්නේ තරුණයන් තිදෙනාව වධහිංසාවලට ලක්කිරීම යි. 1994 අංක 22 දරණ වධහිංසාවට එරෙහි පනත යටතේ වධහිංසාව යනු බරපතළ වැඩ සහිතව සත්අවුරුදු සිර දඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් ගෙවිය යුතු වරදකි.

ගයාශාන් පළාගොස් තිබෙන්නේ පොලිස් වධහිංසාවෙන් බේරීම සඳහා ය. නමුත් මේ වන විට පොලිසිය, මේ වධහිංසාව පිළිබඳ කාරණය නොසලකා හරිමින් සිටින්නේ රට පුරා සෑම පොලිසියකම මේ හිංසාකිරීම සිදුවන නිසා විය හැකිය. දිනපතාම වධහිංසා පිළිබඳ පැමිණිලි ලැබෙතත්, දැනට වසර ගණනාවක් තිස්සේ වධහිංසා පනත යටතේ නඩු පැවරීමක් සිදුවී නැත.

බැසිල් ප‍්‍රනාන්දු

 

විමල්ගේ ඉල්ලන් කෑම හා මහින්දානන්ද ඇතුළට යෑම​

මෙවර මා ලිවීමට අපේක්ෂා කරනුයේ දින කිහිපයකට පෙර සිදු වූ සිදුවීම් දෙකක් පිළිබඳවය. පළමුවැන්න වනුයේ: යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය ගැන ගතු කීමට මල්වතු නාහිමි බැහැ දැකීමට ගිය මන්ත්‍රි විමල් වීරවංශට උන්වහ‍න්සේ කල අවවාදාත්මක අනුශාසනාව පිළිබඳවය. අනෙක මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීම පිළිබඳවය.

මහ නාහිමිවරුන්ගේ අවවාද අනුශාසනා තීන්දු තීරණ ගැනීමේදී තුට්ටුවකට මායිම් නොකළද අපේ බොහෝ දේශපාලනඥයන් උන්වහන්සේලා බැහැ දැකීමට යෑම මේ වන විට පුරුද්දක් කර ගෙන ඇත. ඒ හරහා මහා සංඝයාට ගරු කරන බව පිටතට පෙන්වීමට උත්සාහ කළද ඒ තුළ ඇත්තේ ජනතාව නොමඟ යවමින් හුදු ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමේ උත්සාහයක් පමණි. අටපිරිකර රැගෙන මහානාහිමි වන්දනාවේ යන බොහෝ දේශපාලනඥයන් එසේ කරනුයේ මාධ්‍යවේදීන් රොත්තක් ද පිරිවරාගෙනය. තම ගමන මාධ්‍යයට විකිණීම ඔවුන්ගේ එකම අරමුණය. පසුගිය සතියේ මන්ත්‍රි විමල් වීරවංශ ද මහනුවර ගියේ එවැනි මාධ්‍ය සන්දර්ශනයක් සිදු කරමින් ප්‍රචාරාත්මක වාසියක් ලබා ගැනීමේ අරමුණෙන් මිස වෙ‍ෙනකක් සඳහා නොවේ.

මල්වතු මහා නාහිමියන් බැහැදුටු වීරවංශ මන්ත්‍රිවරයා උන්වහන්සේට මූලිකවම අවධාරණය කර තිබුණේ යෝජිත නව ව්‍යවස්ථාවේ ආදීනව පිළිබඳවය. ඊට උන්වහන්සේ දුන් පිළිතුර පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මේ වන විට පසුවන තත්ත්වය පිළිබඳව සු‍ළුවෙන් හෝ අවධානය යොමු කිරීම වැදගත්ය.

රජයේ අපේක්ෂාව වී ඇත්තේ තවත් මාස හයකින් පමණ එම ක්‍රියාවලිය සැබෑවක් බවට පත් කිරීමය. දැන් ව්‍යවස්ථාදායකය තුළ වෙනම කමිටු පත් කර සිදුවනුයේ එහි මූලික රාමුව සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවකි. ඒ වෙනුවෙන් වන ප්‍රධාන මෙහෙයුම් කමිටුව තුළ දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග යන විමල්ගේ සමීපතම හිතවත්තුද සිටිති. යෝජිත නව ව්‍යවස්ථාවේ සැකිල්ල හෝ නිර්මාණය නොවී ඇති පසුබිමක විමල්ලා තර්ක කරනුයේ බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් ඒ හරහා සිදුවන බවය. කොරහේ කිඹුලන් දකින විමල්ගේ මේ කතාව ඇත්තක් නම් දිනේෂ්ලා ඉටු කරමින් සිටිනුයේ ද බෙදුම්වාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් වන ව්‍යාපෘතියකට සහාය දීමකි. හීනෙකින් හෝ දැක නොමැති ව්‍යවස්ථාවක් පිළිබඳ කන්කෙඳිරිගාමින් තැන තැන යන විමල්ට ඒ ගැන නියම පිළිතුර ලැබුණේ මල්වතු මහානාහිමි බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය. ජනප්‍රිය භාෂාවෙන් කියතොත් එය “ඉල්ලන් කෑමක්ම” විය. විමල්ගේ බෙදුම්වාදි කතාව සාවධානව අසා සිටි මල්වතු නාහිමියන් මන්ත්‍රිවරයාට අවවාද කරමින් සඳහන් කර තිබුණේ නව ව්‍යවස්ථාව ගැන කිසිදු වැදගත් සඳහනක් ඒ පිළිබඳව වගකීම සහිත කිසිදු ආයතනයකින් නිකුත් කර නොමැති පසුබිමක එබඳු ප්‍රකාශ සිදු කිරීම යෝග්‍ය නොවන බවය. අනෙක් අතට යෝජිත නව ව්‍යවස්ථාවට බෙදුම්වාදය ශක්තිමත් කරන කිසිදු වගන්තියක් ඇතුළත් නොකරන බවට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා පුන පුනා පවසා ඇති පසුබිමක මෙසේ ජනතාව තුළ බොරු බියක් නිර්මාණය කිරීම යෝග්‍ය නොවන බව උන්වහන්සේ මන්ත්‍රිවරයාට ප්‍රකාශ කර සිටියහ.

බෞද්ධාගමේ ප්‍රධාන නායකයෙකු ලෙස මල්වතු මහානාහිමි දක්වන අදහස් ඉතා වැදගත්ය. දේශපාලනඥයන්ගේ ආමිස පූජාවලට ගිජුව පිටකොඳු බිඳගත් බවට සංඝ සමාජයට චෝදනා එල්ල වන පසුබිමක දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව පොදු ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් මල්වතු මහානාහිමියන් පෙන්වන උජුපටිපන්න ගුණය රටට සමාජයට පමණක් නොව සම්බුද්ධ ශාසනයේ චිරස්තථියට අතිශයින් ම තීරණාත්මක බලපෑමක් ගෙන දෙන බව ප්‍රශ්න විරහිතය. මල්වතු, අස්ගිරි මහානාහිමිවරුන්ගේ මතයට අවුරුදු සිය ගණනක් තිස්සේ ලැබී තිබුණේ ඉහළ පිළිගැනීමකි. විශේෂයෙන් ම මහනුවර නගරය ගත් විට එහි සියල්ල තීරණය වූයේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන්ගේ අනුමැතියට යටත්වය. උන් වහන්සේලාගේ අවසරය නොමැතිව කිසිවක් කන්ද උඩරට සිදු නොවූ තරම්ය. එය උන් වහන්සේලා දරා සිටි නිල බලයක් නිසා සිදු වූවක් නොව, ගරුත්වය හා පිළිගැනීම තුළ සිදු වූවකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අග්‍රාමාත්‍ය ධුරයේ සිටියදි සිදු වූ සිදුවීමක් පිළිබඳව මේ ලියුම්කරු අසා ඇත. එකල චීන දළදා වහන්සේ මෙරටට වැඩමවා ඇත. බෞද්ධ සාහිත්‍යයේ දළදා වහන්සේලා සිව් නමක් පිළිබඳව චිරප්‍රසිද්ධ අදහස් සමාජගතව ඇති පසුබිමක ඊට අයත් නොවන චීන දළදා වහන්සේව මෙරටට වැඩමවීම සම්බන්ධයෙන් රටවැසි බෞද්ධ ප්‍රජාව තුළ වූයේ පහන් හැඟීමක් නොවේ. ඔවුන් එය ප්‍රසිද්ධියේ පිට කරන්නට විය. නමුත් ඒ විරෝධය මධ්‍යයේ වුවද දළදා වහන්සේ මෙරටට වැඩමවාලීමට මැතිනියගේ රජය විසින් කටයුතු කරන ලදි. පළමුව අනුරාධපුරයට වැඩම කරවන ලද චීන දන්ත ධාතූන් වහන්සේලා අනතුරුව මහනුවරට රැගෙන විත් ප්‍රදර්ශනය කිරීමට බලධාරීන් කටයුතු කළ මුත් මල්වතු – අස්ගිරි මහානාහිමිවරු ඒ පිළිබඳව දැක්ව‍ූයේ දැඩි විරෝධයකි. ඒ සමයෙහි මහමළුවේ අයිතිය පැවතියේ දළදා මාළිගාව භාරයේ නොව රජය යටතේය. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් රජය චීන දළදා වහන්සේව මහමළුවේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලදි. පසුව බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන මහතා එම අවුල්සහගත තත්ත්වය මැනවින් දුටු අතර මහමළුවේ අයිතිය දළදා මාළිගාවට ලබා දීමට ඔහු අනතුරුව තීරණය කළේය. 1977 න් පසු බලයට පැමිණි ජේ.ආර්. ජයවර්ධන රජය දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුරට වැඩම කරන බවට ආරංචියක් පැතිර ගිය මොහොතේ මහානාහිමිවරු ඊට දැඩි විරෝධය පළ කර සිටියහ. ඒ නිසාම එවැනි යෝජනාවක් පිළිබඳව යළි අසන්නටවත් ලැබුණේ නැත. එසේ දැවැන්ත සමාජ බලයක් මහා නාහිමිවරුන් වටා ගොඩනැඟී තිබුණ ද පසුගිය වසර දහයක කාලය තුළ උන්වහන්සේලා දැරූ මතයට මෙරට තුළ ඒ හැටි තැනක් හිමි නොවූ තරම්ය. ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශ පාලකයන්ට කිසිදු වැදගත්කමකට නැති හිස් ලියකියවිලි බවට පත්විය.

ලෝක උරුම භූමියක් ලෙස සැලකෙන දළදා මාළිගාව අසල නාමල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු කාල්ටන් ක්‍රීඩා සමාජය රාත්‍රි මෝටර් රථ ධාවන තරග පවත්වද්දී ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නිකුත් කළ ඒකාබද්ධ ලියවිල්ල දෙස එදා සිටි පාලකයන් අවධානය යොමු කළේ නැත. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා රිමාන්ඩ් කළ මොහොතේ මල්වතු මහා නාහිමි ඊට එරෙහිව මහමළුවේ සංඝායනාවක් පැවැත්වීමට සැරසෙද්දී එසේ කළහොත් අලුත් නිකායක් පිහිටුවන බවට තර්ජනය කරමින් කොළඹින් “පණිවුඩයක්” මහනුවරට ලැබුණි. කොළඹ සිට එම පණිවුඩය රැගෙන ආවේ උඩුවේ ධම්මාලෝක හා කඹුරුගමුවේ වජිර යන රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මුළු ඇ‍ඟෙන් ම පෙනී සිටි භික්ෂූන් වහන්සේ ‍ෙදනමය. දළදා මාළිගාව අසල ඇති A – 26 පාර විවෘත කළ යුතු බව කියමින් මල්වතු නාහිමි මහනුවර නගර සභාව හා එක්ව යම් ක්‍රියා මාර්ගයක් ගනිමින් සිටියදී එය නතර කිරීමට මහනුවරට එවනු ලැබුවේ රාජපක්ෂවරුන්ගේ සුරතලා වූ මර්වින් සිල්වාවය. 2011 දී ත්‍රෛනිකායික භික්ෂූන්වහන්සේ එක්ව ථෙරවාදී පනත රැගෙන ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී සංඝයා වහන්සේ භේද කරමින් එය ආපසු හැරවූයේ ජාති ප්‍රේමය, දේශප්‍රේමය, බෞද්ධාගම ගැන කථා කරන මේ මහත්වරුය. තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් “කහසිවුර” දඩමීමා කර ගෙන සිටින ‍රාජපක්ෂලා මහානායකහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට සැලකුවේ ඒ ආකාරයෙනි. විමල් වීරවංශලා එදා කළේ ඒ කටයුතුවලට උඩගෙඩි දීමය.

බුද්ධාගම මුල් කර ගනිමින් රට තුළ දේශපාලන පෙරළියකට අර ඇඳීමට හිටපු ජනාධිපතිවරයාව ප්‍රවර්ධනය කරමින් සිටින කණ්ඩායම කටයුතු කරමින් සිටින බව පෙනෙන්නට ඇත. උතුරේ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කරන බව කියමින් ප්‍රචාරක ව්‍යාපෘතියක ඔවුන් පැටලී සිටින බව මේ දිනවල සයිබර් අවකාශයේ සැරිස‍රන්නෙකුට දැක ගත හැකිය. තිස් අවුරුදු යුද සමයේ පැවතියාටත් වඩා දැන් තත්ත්වය බරපතළ බව පෙන්වීමට ප්‍රචාරක යුද්ධයක් දියත් කර ඇත. මේ ප්‍රවණතාවට වර්ධනය වීමට ඉඩ දීම ඉදිරිය ගැන කල්පනා කරද්දි ඒ හැටි හොඳ දෙයක් නොවේ. සැබැවින්ම රජය මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාර ඒ වෙනුවෙන් පැවතිය යුතු අවධානයේ තරම සමඟ කිසිසේත් ම සමපාත නොවේ. එබැවින් ඒ පිළිබඳ රජයේ අවධානය යොමු වීම වැදගත් ය.

‘ඒකාබද්ධ විපක්ෂය’ ලෙස පෙනී සිටින කණ්ඩායමේ ප්‍රධානියකු වන මහින්දානන්ද අලුත්ගමගේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත. කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නි‍ෙවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකණෙ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ පසුගිය බ්‍රහස්පතින්දා ය. මුදල් විශුද්ධිකරණ පනතේ 03 හා 04 වගන්ති ප්‍රකාරව නීතිවිරෝධී ආකාරයෙන් ධනය රැස් කිරීම, එම ධනය රැස් කළ ආකාරය සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමට අපොහොසත් වීම වත්කම් ප්‍රකාශනයක් ලබාදීමට අපොහොසත් වීම ප්‍රකාරව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන තිබුණි. වංචා දූෂණ පිළිබඳව පසුගිය සමයේ දැඩි හඬක් නැඟු විපක්ෂ මන්ත්‍රීවරයකු වන මහින්දානන්දගේ සමස්ත ඉතිහාසයම පිරී ඇත්තේ එබඳු සිදුවීම්වලින් ම වීම දෛවයේ සරදමකට වඩා වැඩි දෙයක් නොවේ. ගඟසිරිපුර විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මහින්දානන්ද අලුත්ගමගේ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් වූයේ මන්ත්‍රීවරයකු වූ තම පියාගේ වරප්‍රසාද භාවිත කරමිනි. මහින්දානන්දගේ පියා වූ මීතලාවේ සයිමන් අලුත්ගමගේ කලක් නාවලපිටියේ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ ය. රාජකීය විද්‍යාලයට ඇතුළත් වුව ද මහින්දානන්ද අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ හැටි දක්ෂතා පළ කළේ නම් නැත. පියාගෙන් පසු මහින්දානන්දගේ සොහොයුරු විජයානන්ද නාවලපිටියේ ශ්‍රී.ල.නි.ප. ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වූ මුත් ඔහු වැඩි කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටියේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි නැඟිටීම තීරණාත්මක කඩඉමකට පැමිණ තිබූ ඒ සමයේ ශ්‍රී.ල.නි.ප. වෙනුවෙන් දේශපාලනය කිරීම පහසු කටයුත්තක් නොවූ අතර ඒ නිසා ම විජයානන්ද ආසන සංවිධායක ධූරයෙන් ඉවත්ව රටින් පිටවීමට තීරණය කළේ ය. මහින්දානන්දව ක්‍රියාකාරී දේශපාලනයට කැඳවූයේ විජයානන්ද රටින් පිටව යෑමය. 1993 වසරේ පළාත් සභා මැතිවරණය කැඳවූ අවස්ථාවේ ඊට අලුත්ගමගේ පවුලේ සාමාජිකයෙකුට ඉදිරිපත් වන ලෙස ඇරියුමක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් ඉදිරිපත් විය. මහින්දානන්ද ඒ වනවිට සිටියේ ආර්ථික වශයෙන් එතරම් සුවපහසු තැනක නොවේ. නාමධාරී මූල්‍ය ආයතනයක රුපියල් 1250/= ක වැනි වැටුපකට වසර ගණනාවක් සේවය කළ ඔහු කෑගල්ලේ හා මහනුවර ජයබිම හා ඒ ඇන්ඩ් ආර් යනුවෙන් දේපළ සමාගම් දෙකක් ආරම්භ කළ ද ඒ හැටි සාර්ථකත්වයක් ඔහුට එහිදී ලබා ගත නොහැකි විය. ආර්ථික වශයෙන් නන්නත්තාරව සිටි මහින්දානන්දට බණ්ඩාරනායක මැතිනියගෙන් ලැබුණු ඉල්ලීම මහමෙරක්ම විය. දෙවරක් නොසිතමින් පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට හෙතෙම තීරණය කළේ ය. එම මැතිවරණයේදී මහනුවරට පොදු පෙරමුණෙන් තරග වැදුණු කණ්ඩායමේ නායකත්වය දැරුවේ ජනාධිපති නීතිඥ විජය වික්‍රමරත්නය. ගාමිණී දිසානායක මහතා ද ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් 93 මධ්‍යම පළාත් සභා මැතිවරණයට නුවරින් තරග කළේ ය. මහින්දානන්ද වැඩි අපහසුවකින් තොරව කෙටි කාලයකින් දේශපාලනයේ ඉහළට ගියේ ය. 1995 වසරේදී මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැතිවරයා වූ මහින්දානන්ද අලුත්ගමගේ 2000 වසරේදී පාර්ලිමේන්තු‍වට තේරී පත්වූයේ මනාප ඡන්ද 71653ක් ලබමිනි. ඉන් වසරකට පමණ පසුව පැවැති මහා මැතිවරණයේදී එම ඡන්ද ගණන 21000 කින් පමණ අඩු වුව ද ඔහු අඛණ්ඩව මේ දක්වාම පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

දූෂණ වංචා සම්බන්ධයෙන් මහින්දානන්දට විවිධ චෝදනා එල්ල වුව ද ඔහුගේ සුඛෝපභෝගි ජීවිතය හා ඉහළ ආදායම් ඉපයීම පිළිබඳව තොරතුරු පළමු වරට හෙළිවූයේ ඔහුගේ බිරිඳ වූ ආශා විජයන්ති දික්කසාද නඩුවක් පැවරූ අවස්ථාවේදී ය. එහිදී ඇය ඉහළ වන්දියක් ලබා ගැනීම සඳහා අලුත්ගමගේ ගේ වත්කම් හා දේපළ පිළිබඳව විස්තර රැසක් අධිකරණයට ලබාදී තිබුණි. පසුව එම වත්කම් පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට ද පැමිණිල්ලක් ලෙස ලැබී තිබුණි. රුපියල් එක්දහස් දෙසිය පනහක මාසික වැටුපකින් සෑහෙන කලක් ජීවත්වූ අලුත්ගමගේ ඒ සා විශාල ධනයකට හා දේපළකට උරුමකම් කීම අදහා ගත නොහැකි තරම් විය. අලුත්ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබුණ ද රාජපක්ෂ හිතවතෙකු වූ ජගත් බාලපටබැඳිගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ කොමිසම ඒ ගැන කිසිවක් කළේ නැත. එසේ යට ගසා තිබූ මහින්දානන්දගේ ලිපි ගොනුව යළි උඩට ආවේ යහපාලන වෙනස සිදුවූ පසු ය. ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක B 22467/1/2015 යටතේ B වාර්තාවක් අලුත්ගමගේට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගොනු කරන ලදී. එම ගොනු කිරීමේ සඳහන්ව තිබූ තොරතුරුවලට අනුව 1987 වසරේදී මූල්‍ය සමාගමක ණය එකතු කරන්නෙකු ලෙස සේවය කරමින් රුපියල් එක් දහස් දෙසිය පනහක පමණ මාසික වැටුපක් ලැබූ මහින්දානන්ද කෙටි කාල පරාසයක් තුළ පහත දේපළ අත්පත් කර ගෙන තිබුණි.

බොරැල්ල, කුරුප්පු පාරේ, අංක 66 දරන පර්චස් 20.85ක නි‍ෙවස, නුවර ජෝර්ජ් ආර් ද සිල්වා මාවතේ, අංක 309 බී දරන නි‍ෙවස හා එම ලිපිනයේ ම සඳහන් පර්චස් 18.03ක ඉඩම, රාජගිරිය, නාවල පාරේ, චන්ද්‍රා වෙත්තසිංහ මාවතේ අංක 15/1 දරන පර්චස් 15.05ක ඉඩම, ඇල්විටිගල මාවතේ, ට්‍රිලියම් රෙසිඩන්ස් හි අංක 159/9/2 දරන නි‍ෙවස, (රු. ලක්ෂ 285කට මිල දී ගෙන ඇත) කොළඹ 07, කිංසි පාරේ අංක 70/3/1 දරන නි‍ෙවස ලක්ෂ 270කට මිලදී ගෙන ඇත. මේවාට අමතරව එංගලන්තයේ නි‍ෙවසක් ද, සිංගප්පූරුවේ ඩොලර් ලක්ෂ 5.05ක තැන්පතුවක් ද මහින්දානන්දට ඇත.

ඉතා කෙටි කාලයක් තුළදී ඔහු උපයාගෙන ඇති මේ වත්කම් වාර්ෂික වත්කම්, බැරකම් ප්‍රකාශ තුළ ඇතුළත් කර නැත. එසේම විදේශයන්හි ඇති බැංකු ගිණුම් ද ප්‍රකාශයට පත් කර නොමැත.

මීට අමතරව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තීරුබදු රහිත සංකීර්ණයේ ඇති චේම්බර් ඔෆ් ගිෆ්ට් හා විඩු ලංකා (V – DOOLANKA) ආයතනයෙහි හිමිකරු ද මහින්දානන්දය.

මෙයින් පමණක් මහින්දානන්දට එරෙහිව එල්ල වී ඇති චෝදනා නතර නොවේ. ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පවා ඔහුට එරෙහිව බරපතළ චෝදනා අවස්ථා ගණනාවකදී එල්ල විණි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ කොන්ත්‍රාත්තු මත තමනට හිතවත් කවිඳු බිල්ඩර්ස් ආයතනයට ලබාදී ඇති මහින්දානන්ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශ සංචාරයන්හි නිරත වෙද්දී ගුවන් ටිකට් පත් ලබාගෙන ඇත්තේ රත්වත්තේ කෙනෙකුට අයත් සමාගමකිනි. ඔහු ඒ සියල්ල සිදුකර ඇත්තේ තම අභිමතයට ය.

පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේදී කැරම් පුවරු 14000ක් හා දාම් පුවරු 14000ක් මිල දී ගෙන ඇති මුත් ඒවා ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩාවලට ලැබී නොමැත. පසුව කැරම් පුවරු 14000ක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් භාණ්ඩ බෙදා හරින ලද ගබඩාවක තිබී සොයාගන්නා ලදී. එම ගබඩාවේ තිබී මහින්ද රාජපක්ෂගේ හා ඔහුගේ පුත්‍රයාගේ ඡායාරූප සහිත බිත්ති ඔරලෝසු ලක්ෂයක් ද සොයාගන්නා ලදී. ලක් සතොස හරහා කැරම් පුවරු හා දාම් පුවරු මිල දී ගැනීම කර ඇති අතර ඉන් එම ආයතනයට සිදුවූ අලාභය රුපියල් ලක්ෂ 390 කි.

අප ඒ සියලු විස්තර දිගහැරියේ දේශප්‍රේමය, දූෂණ වංචා ගැන පැය විසි හතරේම දොඩවන දේශපාලනඥයකු ගේ සැබෑ කෙරුවාව පෙන්වීමට ය.

මහින්දානන්ද විසින් අයථා දේපළ අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 2013 වසරේ පරීක්ෂණයක් පැවැතෙත්දී ඔහු ප්‍රකාශ කර සිටියේ මන්ත්‍රීවරයකු ලෙස තමන්ට හිමි වූ වාහන බලපත්‍ර 5ක් විකුණා රුපියල් මිලියන 50ක මුදලක් උපයාගත් බව ය. එම ප්‍රකාශය ඇත්තක් නම් එහිදී ද මහින්දානන්ද සිදු කර ඇත්තේ වරදකි. ඒ මන්ත්‍රීවරුන්ට තම වාහන බලපත්‍ර අලෙවි කිරීමේ හැකියාව හිමි වූයේ 2013 වසරේ අය වැයෙන් පසුව වීම නිසා ය. ඒ අනුව එහිදී ද රජයට විශාල බදු වංචාවක් ඔහු සිදු කර ඇති බව පෙනී යයි. තම දේපළවලින් රුපියල් මිලියන අනූවක පමණ දේපළක් සිය බිරියගේ නමින් මිල දී ගත් බව මහින්දානන්ද පැවසුව ද එය ද පිළිගත ‍හැකි කාරණයක් නොවේ. ඒ පෞද්ගලික ආයතනයක සේවය කළ සෑහෙන කාලයක් රුපියල් දහසකට අඩු වැටුපක් ලැබූ තැනැත්තියකට එසේ දැවැන්ත ආයෝජනයක් තාර්කිකව සිදු කළ නොහැකි බැවිනි. ජපානයේ සිටින සොහොයුරා මුදල් එවූ බව කියමින් ඔහුව ද තම ‘ගැලවිජ්ජාව’ වෙනුවෙන් අලුත්ගමගේ භාවිතා කර ඇති මුත්, නීතියෙන් ගැලවීමට තරම් එය ප්‍රමාණවත් දැයි ඉදිරි කාලයේදී අපට දැක බලාගත හැකි වනු ඇත.

චාමර ‍ලක්ෂාන් කුමාර

 

ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කිරීම තුළින් ශ්‍රීලනිපය දෙකඩ කිරීම

මහින්ද රාජපක්‍ෂ –

මහින්ද රාජපක්‍ෂ
මහින්ද රාජපක්‍ෂ

 ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරුන් වූ මහින්ද යාපා අබේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී.රත්නායක, ගාමිණි ලොකුගේ හා කහෙලිය රඹුක්වැල්ල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඇතුළුව තවත් කීපදෙනෙකුම එම තනතුරු වලින් ඉවත් කර තිබේ. ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර මෙයයි. මීට පෙර අවස්ථාවලදී දිලුම් අමුණුගම, එස්.එම්. චන්ද්‍රෙස්න, සාලින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, කංචන විජේසේකර හා ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක්ද තම ආසන සංවිධායක ධූර වලින් නෙරපා හරිනු ලැබීය. පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ පක්‍ෂ සාමාජිකත්වය පවා අත්හිටුවා ඇත. මේ දඩයම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වේ. පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම දේශපාලන පක්‍ෂ අතරින් වැඩිම මනාප ලබාගත් දේශපාලඥයායි. ඉවත් කොට තිබෙන ආසන සංවිධායකවරුන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ දිස්ත්‍රික්කවල වැඩියෙන්ම මනාප ඡන්ද ලබාගත් කීප දෙනා අතර සිටි. උදාහරණයක් වශයෙන් ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ පලවෙනියා විය. දිලුම් අමුණුගම මහනුවර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය.

එස්.එම්. චන්ද්‍රෙස්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමුවෙනියා විය. රෝහිත අබේගුණවර්ධන කළුතර දිස්ත්‍රික්කයේ දෙවෙනියා විය. මහින්ද යාපා අබේවර්ධන මාතර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය. සී.බී. රත්නායක නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආරුමුගන් තොන්ඩමන්ට පසු දෙවෙනියා විය. පවිත්‍රා වන්නිආරච්චි රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වෙනියා විය. මේ සියළු දෙනාම තම දිස්ත්‍රික්කවල ජනප්‍රිය දේශපාලඥයින් වෙනවා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බල කණුද වේ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ සිට අද දක්වා පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ද 17 දෙනෙකු නෙරපා හැර තිබේ.

මුළු රටම හඳුනන මෙවැනි පුද්ගලයින් වෙනුවට නව ආසන සංවිධායකවරුන් හැටියට පත් කොට තිබෙන්නේ එක්කො පරාජිත අපේක්‍ෂකයන් නැත්නම් පලාත් සභා මට්ටමින් පවා අඩු මනාප සංඛ්‍යාවක් ලබා ගත් අපේක්‍ෂකයන්ය. මේ ආකාරයට ජනප්‍රිය සංවිධායකවරුන් ඉවත් කොට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ කිරීමේ වගකීම අවසානයේදී පක්‍ෂ නායකයා වන ජනාධිපතිවරයාට බාර ගැනීමට සිදු වනු ඇත. අපි මේ දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ දෙවෙනි අදියරයි. පළමු අදියර වූයේ ශ්‍රීලනිපය විසින් පාලනය කරනු ලබන සියළුම පලාත් පාලන ආයතන විසුරුවා හැරීමයි. මේ පලාත් පාලන ආයතන තිබුණේ නම් ඕනෑම මැතිවරණයකදී ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට විශාල පිටුවහලක් වනු ඇත.

පලාත් පාලන ආයතන විසුරුවා හැරීමෙන් පැහැදිලි වාසියක් එජාපයට අත් වූ බව අවිවාදාත්මකය. එජාපය හා ශ්‍රිලනිපය අතර හවුල් ආණ්ඩුවේ කාලය අවුරුදු දෙකේ සිට පහ දක්වා වැඩි කරනු ලැබුවේද පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවෙන් හෝ විධායක සභාවෙන් හෝ අඩුම වශයෙන් ආණ්ඩුව සමඟ සිටින ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමෙන්වත් නොවිමසාය. එජාපයට වාසිය ලබා දීම සඳහා ගන්නා මේ පියවරයන් ඉතා සාවධානව නිරීක්‍ෂණය කරන මෙන් මම සියළුම ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටිමි.

-ලංකාදීප

40 වසරකට කලින් සම්මත කරගත් වඩුක්කොඩෙයි යෝජනාවට කිසි විටක ඊලාමය සඳහා ජන වරමක් ලැබුණේ නැත

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට, දෙමළ ජනතාවගේ වෙනම ස්වාධීන රාජ්‍යයක් හෙවත් ඊලාමයක් ප‍්‍රකාශයට පත් කරමින් යෝජනා සම්මත කර ගැනුණු, 1976 මැයි 14 වැනි දා පැවති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ විශේෂ සැසිවාරයට දැන් හතළිස් වසරක් සපිරෙයි.

අමිර්තලිංගම්

ජනප‍්‍රිය විශ්වාසය වුණේ, දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන උතුරු පළාත සහ මිශ‍්‍ර වාර්ගික සංයුතියකින් යුත් නැගෙනහිර පළාත ඒකබද්ධ කොට ගත් ‘බෙදුම්වාදී යෝජනාව’ වෙනුවෙන්, 1977 ජුලි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔවුන්ගේ ප‍්‍රධාන පක්ෂය වන ‘දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට’ දෙමළ ජනතාව ජනවරමක් දුන් බවයි. 1980 ගණන්වල සහ 1990 ගණන්වල ලංකාවේ සේවය කළ ඇමරිකානු විදේශ සේවා නිලධාරීන්ගේ විශ්වාසය වුණේත් එයම බව, එවකට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලනික විශ්ලේෂකයා වශයෙන් ඔවුන් සමග කිට්ටුවෙන් කටයුතු කළ මම දනිමි.

1976 මැයි 14 වැනි දා යාපනේ වඩුක්කොඩෙයි නගරයේ පැවති දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප‍්‍රථම සම්මේලනය තුළ, පක්ෂ නායක එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ, උතුරු නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කර ගත්, ශ‍්‍රී ලංකා රජයෙන් වෙන් වූ ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට ඒකමතිකව යෝ්ජනා සම්මත කරගත්තේය.

එම යෝජනාවේ එක් කොටසකින් මෙසේ කියැවේ:

‘‘1976 මැයි 14 වැනි දා වඩුක්කොඩෙයි මැතිවරණ කොට්ඨාශයේදී රැුස්වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ප‍්‍රථම ජාතික සම්මේලනය මෙසේ ප‍්‍රකාශ කර සිටී:

දෙමළ ජනතාවගේ ශ්‍රේෂ්ඨ භාෂාව, ඔවුන්ගේ ආගම්, ඔවුන්ට ආවේණික සංස්කෘතිය සහ උරුමයක් සහිත ජනතාවක් වශයෙන්ද, යුරෝපීය ආක‍්‍රමණිකයන්ගේ ආයුධ බලයෙන් යටපත් කෙරෙන තෙක් සියවස් ගණනක් තිස්සේ විශේෂිත වූ භූමියක තමන්ගේම වූ ස්වාධීන රාජධානියක් පිළිබඳ ඉතිහාසයක් ඇති ජනතාවක් වශයෙන්ද, ඊටත් වඩා, තමන්ගේ භූමි භාගයේ තමන් විසින් තමන්ව පාලනය කරගන්නා වෙනම ඒකකයක් වශයෙන් පැවතීමේ අභිලාෂය සහිත ජනතාවක් වශයෙන්ද, දෙමළ ජනතාව යනු, සිංහලයන්ගෙන් වෙනස් වූත්, විශේෂිත වූත්, ජාතිකමය දේශයක් වන්නේය. එසේම, දෙමළ ජනතාවගේ ජාතික රාජ්‍යත්වයේ සෑම අංගයක්ම, එනම් ඔවුන්ගේ භූමිය, භාෂාව, පුරවැසි භාවය, ආර්ථික ජීවිතය, රැුකියා සහ අධ්‍යාපනික අවස්ථාවන් ඔවුන්ව අහිමි කොට, නව යටත්විජිතවාදී හාම්පුතුන් වන සිංහලයන් සතු බලය අපහරණය කරමින්, 1972 ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා දෙමළ ජනතාව වහල් ජාතියක් බවට පත්කොට ඇති බව මේ සම්මේලනය ලෝකයාට ප‍්‍රකාශ කොට සිටී.

බහුතරයක් උතුරු නැගෙනහිර පළාත්වලින් පිටත වෙසෙන ජනතාවක් නියෝජනය කරන වතුකරයේ කම්කරු වෘත්තීය සමිතියක් වශයෙන් ලංකා කම්කරු කොන්ග‍්‍රසය, වෙන් වූ දෙමළ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සම්බන්ධයෙන් දක්වා ඇති කොන්දේසි සැළකිල්ලට ගන්නා අතරේම, මේ රටේ දෙමළ ජාතියේ හුදු පැවැත්ම ආරක්ෂා කර ගැනීම සඳහාම, ඕනෑම ජාතියකට ආවේණික ස්වයං-නිර්ණ අයිතිය මත පදනම්ව, නිදහස්, ස්වෛරී, ලෞකික, සමාජවාදී දෙමළ ඊලාම් රාජ්‍යයක් යළි ස්ථාපිත කිරීම නොවැළැක්විය හැකිව තිබෙන බව මෙම සම්මේලනය සම්මත කර සිටී.’’

දකුණු ආසියාව සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය ලේකම්වරයා වන රිචඞ් බුෂර් 2006 ලංකාවට පැමිණි අවස්ථාවේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් අමතමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නයට දෙන විසඳුමක් තුළ ලංකාවේ දෙමළ ජනතාවගේ ‘නිජබිම’ පිළිබඳ අදහස ඇතුළත් විය යුතු යැයි කියා සිටින අවස්ථාව වන විට, ඊට දශක ගණනාවකට පෙර සිටම එල්.ටී.ටී.ඊ. ප‍්‍රචාරණය මගින් එම අදහස ලෝක ප‍්‍රජාවට ඒත්තු ගන්වා තිබුණි. උතුරු සහ නැගෙනහිර ජනතාව, දෙමළ නිජබිමක් සහ වෙනම ස්වාධීන රාජ්‍යයක් සඳහා වූ 1976 වඩුක්කොඩෙයි යෝජනාව වෙනුවෙන්, 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී සිය කැමැත්ත ප‍්‍රකාශ කරන ලදැයි ඉන් කියැවිණ.

ඇත්ත වශයෙන්ම, 1979 ඇමරිකාවේ මැසචුසෙට්ස් ප‍්‍රාන්ත ආණ්ඩුවේ සැසිවාරයකදීත් මේ යෝජනාව සම්මත කර ගැනුණි. ඒ අවස්ථාවේ දෙමළ විමුක්ති එක්සත් පෙරමුණේ නායක එම්. සිවසිතම්බරම් සභා ශාලා විශේෂ ගැලරියේ වාඩි වී සිටියේය. මේ සිද්ධිය හේතු කොටගෙන, කොළඹ විශාල ඇමරිකානු විරෝධයක් ප‍්‍රකාශයට පත්විය. ලංකාව බෙදීමට ඇමරිකාව කටයුතු කරන බවට ලංකාවේ මාධ්‍ය චෝදනා කෙළේය. මැසචුසෙට්ස් යනු, ඇමරිකාව සමන්විත වන ප‍්‍රාන්ත ආණ්ඩු පනහකින් එකක් පමණක් වන බවත්, ඇමරිකාවේ සෑම ප‍්‍රාන්ත ආණ්ඩුවක්ම ස්වාධීන ජනතා ඡන්දයෙන් පත්කර ගැනෙන අතර සෑම ප‍්‍රාන්ත ආණ්ඩුවක්ම වොෂින්ටනයේ ඇමරිකානු මධ්‍යම රාජ්‍යයෙන් නිදහස්ව තම කටයුතු කරගෙන යන බවත්, එදා අපි පෙන්වා දුනිමු. ඒ නිසා, මේ යෝජනාව සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවේ හෝ ඇමරිකානු කොන්ග‍්‍රසයේ (පාර්ලිමේන්තුවේ) කිසි සම්බන්ධයක් නැති බවත් ලංකාවේ මාධ්‍ය සගයන්ට සහ වෙනත් කොටස්වලට ඒත්තු ගැන්වීමට අපට හැකි විය. ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ විරෝධය සමහන් වුණි.

ශ‍්‍රී ලංකාව අරභයා වන ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්ති න්‍යාය පත‍්‍රය බොහෝ කොට සකස් වුණේ, උතුරු සහ නැගෙනහිර වෙසෙන බහුතර ජනතාවක් වෙනම රාජ්‍යයක් සඳහා අනුමැතිය ප‍්‍රකාශ කොට ඇතැයි යන විශ්වාසය මතයි. 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමෙන් පසු අද පවා ඇමරිකානු අදහස එයාකාරයි.

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ හඳුනාගන්නා ඊලාම් භූමි භාගයට, උතුරු පළාතට අයත් පරිපාලන දිස්ත‍්‍රික්ක 4 සහ නැගෙනහිර පළාතට අයත් පරිපාලන දිස්ත‍්‍රික්ක 3 අයත් වෙයි. කෙසේ වෙතත්, නැගෙනහිර පළාතේ මුළු ජනගහනය අනුව එහි වෙසෙන දෙමළ සංයුතිය සියයට 41 ක සුළුතරයකි. එම පළාතේ දිස්ත‍්‍රික්ක තුන වෙන වෙනම ගතහොත්, මඩකලපුව දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සියයට 71 ක බහුතරයක් වන අතර, ඉතිරි දිස්ත‍්‍රික්ක දෙකේදීම එය නියෝජනය කරන්නේ සුළුතරයකි. එනම්, ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයේ සියයට 34 ක් සහ අම්පාර දිස්ත‍්‍රික්කයේ සියයට 20 ක් වශයෙනි.

මේ දිස්ත‍්‍රික්ක හතේම මුළු ජනගහනය, 1981 ජන සංගනනයට අනුව, මිලියන 2.9 කි. එයින්, දෙමළ ජනගහනය මිලියන 1.36 ක් හෙවත් සියයට 65 කි. 2007 වන විට එම සංඛ්‍යාව සියයට 50 දක්වා පහළ වැටී තිබුණි. එසේ වී තිබුණේ සිංහල ජනපදකරණයක් නිසා නොව, එම පළාතේ විසූ ජනගහනයෙන් විශාල පිරිසක් රටේ දකුණු පළාත්වල පදිංචියට යාම නිසා ය. 1977 පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩි ආසන සංඛ්‍යාවක් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දිනා ගත් බව සැබෑව. එහෙත්, ඡුන්ද ප‍්‍රතිශතයන් අනුව ගත් විට ඇඳෙන්නේ, වෙනත් චිත‍්‍රයකි. දිස්ත‍්‍රික්ක හතේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ලැබුණු ඡන්ද ප‍්‍රතිශතයන් මෙසේ ය:

යාපනය සියයට 71. 81 යි. මන්නාරම සියයට 51.44 යි. වව්නියාව සියයට 58.82 යි. මුලතිව් 52.16 යි. ඒ අනුව, උතුරු පළාතේ එකතුව සියයට 58.56 කි.

ත‍්‍රිකුණාමලය සියයට 27.18 කි. මඩකලපුව සියයට 32.14 කි. අම්පාර සියයට 20.25 කි. ඒ අනුව, නැගෙනහිර පළාතේ එකතුව සියයට 26.52 කි.

මේ අනුව, පළාත් දෙකම එකට ගත් විට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණට ලැබුණේ සියයට 42.5 කි. ඊලාම් සංකල්පය සඳහා කැමැත්ත පළ කොට ඇත්තේ උතුරු පළාතේ සියයට 60 කට අඩු ජනතාවක් වන අතර, නැගෙනහිර පළාතේ මුළු දෙමළ ජනගහනය සියයට 41 වුවද, මේ මතය සඳහා ඡන්දය ප‍්‍රකාශ කොට තිබුණේ සියයට 26 ක් පමණි.

මෙය තවත් පැත්තකින් විමසා බැලිය හැක. එනම්, දෙමළ ජනතාවගෙන් කොපමණ ප‍්‍රමාණයක් උතුරු නැගෙනහිර පළාත්වලින් පිට පළාත්වල වාසය කරත්ද යන්නයි. එහිදී, 1971 දී දෙමළ ජනතාවගෙන් සියයට 29.2 ක් ද, 1981 දී සියයට 32.8 ක් ද, 2014 දී සියයට 54 ක් ද වාසය කෙළේ රටේ වෙනත් පළාත්වලයි. මේ, ඉන්දියානු සම්භවය සහිත වතුකරේ දෙමළ ජනතාව සැළකිල්ලට නොගනිමිනි.

ඊලාමයක් සඳහා දෙමළ ජනතාවගේ වරමක් ලැබී ඇතැයි යන වැරදි ආකල්පය තවමත් සංසරණය වන්නේ එවැනි වටපිටාවක් යටතේ ය.

*2016 මැයි 16 වැනි දා ‘ඒෂියන් ටි‍්‍රබියුන්’ වෙබ් අඩවියේ පළවූ “Vaddukoddai Resolution- 40 Years Ago- Never Received a Mandate for Ealam” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

දයා ගමගේ –

රට දැන් ජාතික ප්‍රශ්නයේ බරපතළම තැනකට ඇවිත්

අපේ රටට නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයට සමගාමීව උතුරු පළාත් සභාව පෙඩරල් ක්‍රමයක්‌ පිළිබද යෝජනාවක්‌ සම්මත කර ගැනීම නිසා දේශපාලන ක්‌ෂේත්‍රය තුළ උණුසුම් තත්ත්වයක්‌ නිර්මාණය වී තිබේ. මෙම යෝජනාවට එජාපයත් ශ්‍රීලනිපයත් දැඩි විරෝධය පළ කිරීමෙන් රට යළිත් ප්‍රශ්නයේ ආරම්භයට ගමන් කර ඇති බව පවසන මහාචාර්ය සුමනසිරි ලියනගේ මෙම අර්බුදය විසදා ගත හැක්‌කේ නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගැනීමෙන් පමණකැයි පවසයි. ජනතාවගේ ප්‍රශ්න විසදාගත හැකි ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගත හැක්‌කේ කෙසේද යන්න පිළිබදව දිවයින ඉරිදා සංග්‍රහය සණස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පිළිබද පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුමනසිරි ලියනගේ සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

අපේ රටට අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යද? පවතින ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමෙන් අද මතු වී ඇති ප්‍රශ්නවලට විසදුම් සොයාගන්න බැරිද?

1977 ව්‍යවස්‌ථාව සම්මත වුණාට පස්‌සෙ එය ක්‍රියාත්මක කිරීමේදී මතු වූ ප්‍රධාන හේතු තුනක්‌ නිසා නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව මතු වුණා. 1977 ව්‍යවස්‌ථාව යටතේ ඇතිකළ විධායක ජනාධිපති ක්‍රමය තුළින් එක්‌ පුද්ගලයකු යටතේ සියලු බලතල සංකේන්ද්‍රනය වී තිබීම ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරය කියන කාරණය පළමුවැන්න. දෙවැන්න එයින් හදුන්වා දුන් සමානුපාතික ඡන්ද ක්‍රමය. එහි හොද ලක්‌ෂණ තිබුණත් එයින් අතිශයින් වියදම්කාරී ඡන්ද ක්‍රමයකුත් ඡන්දදායකයාට දුරස්‌ථ වූ නියෝජිතයකු පත් වෙනවාය කියන අදහස. තුන්වැනි හේතුව ටිකක්‌ පසුව මතුව ආ තර්කයක්‌. එනම් ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකවාදී ප්‍රශ්නයට ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම ව්‍යවස්‌ථාව සුදුසු වන්නේ නැතැයි කියන තර්කය. මේ ප්‍රධාන හේතු තුන නිසා පවතින ව්‍යවස්‌ථාවට පැලැස්‌තර දැමීමෙන් මේ ප්‍රශ්න විසදිය නොහැකි බව විශේෂයෙන් 1994 චන්ද්‍රිකා කුමාරතුංග සමයේ මතුව ආ කතිකාවක්‌.

නව ව්‍යවස්‌ථාවක්‌ හදන්නෙ කොහොමද කියන ප්‍රශ්නයට පොදු එකගතාවක්‌ සොයාගන්න බැරිවුණා?

චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග බලයට පත්වුණේ පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ බවට පත් කර අලුත් ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරන බවට ජනතා ජනවරමක්‌ අරගෙන. නමුත් ඇය එම ජනවරම අනුව ක්‍රියා කළේ නෑ. ඒ වෙනුවට ඇය පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමයක්‌ හරහා ඊට උත්සාහ දැරුවත් ඇය විසින්ම එය අනවශ්‍ය ලෙස දික්‌ගැස්‌සීම හේතු කොට ගෙන එය 2000 වන විට තේරුමක්‌ නැති අභ්‍යාසයක්‌ බවට පත්වුණා. ඊටපසු විශේෂයෙන් එල්ටීටීඊ සටන උග්‍රවීමත් සමග විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද කියන ප්‍රශ්නය සිංහල ප්‍රජාව පැත්තෙන් මතු වුණා. විධායක ජනාධිපති ක්‍රමය ඇති කළ අවස්‌ථාවේ සිංහල ප්‍රජාව ඊට විරුද්ධ වූ අතර දෙමළ ප්‍රජාවේ දැනුවත් පිරිස්‌ ඊට පක්‌ෂ වුණා. ඊට හේතුව මුළු රටේම ජනතාව පත්කරගන්නා ජනාධිපතිවරයෙක්‌ දෙමළ ජනතාවට මෙන්ම අනෙක්‌ සුඵ පක්‌ෂවලට යම් රැකවරණයක්‌ ලබාදේවි යන මතය දෙමළ බුද්ධිමතුන් තුළ ඇතිවීමයි. නමුත් මහින්ද රාජපක්‌ෂ සමය වන විට ශ්‍රී ලංකාවේ ඒකීය භාවය වෙනුවෙන් විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යය කියන මතයක්‌ සිංහල ප්‍රජාව තුළ ඇති වුණා. බලය බෙදීම සම්බන්ධයෙන් 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අපේ ව්‍යවස්‌ථාවට ඇතුළත් වීමත් මේ කාලයේ දී සිදුවුණා.

2015 ඡන්දෙන් පස්‌සෙ සිංහල ප්‍රජාව තුළ අලූත් ව්‍යවස්‌ථාවක්‌ පිළිබද කතිකාව යළි පැනනගිද්දී දෙමළ ප්‍රජාව පෙඩරල් ක්‍රමයක්‌ පිළිබද යෝජනාව යළිත් ඉදිරිපත් කොට තිබෙනවා? විග්නේෂ්වරන් මතු කරන යෝජනාව ඊටත් එහා ගිය එකක්‌. ඔහු මතුකරන්නේ උතුරු නැගෙනහිර එක්‌කිරීමෙන් එක්‌ ප්‍රාන්ත රාජ්‍යයකුත් ඉතිsරි පළාත් තවත් ප්‍රාන්ත රාජ්‍යයකුත් ලෙස පාලන ක්‍රමයක්‌ බිහිකළ යුතු බව?

විග්නේෂ්වරන්ගේ යෝජනාව සහ සන්ධීය ක්‍රමය. පෙඩරල් ක්‍රමය කියන්නෙ මධ්‍යම ආණ්‌ඩුව තිබියදීම තිබෙන රාජ්‍ය සමූහයක්‌. විග්නේෂ්වරන් කියන්නේ රාජ්‍ය සමූහයක්‌ ඇතිකර ඒවාට අවශ්‍ය නම් මධ්‍යම ආණ්‌ඩුවකට යා හැකි තත්ත්වයක්‌. එය පෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්‌.

පසුගියදා බලයෙන් හමුදා කදවුරකට ඇතුඵවීම සහ බස්‌රථයකට පහරදීමේ සිද්ධීන් හරහා මේ යෝජනා තවත් අර්බුදකාරී තත්ත්වයකට ගමන් කර තිබෙනවා. මේ නිසා ජනවර්ග අතර සංහිදියාව වෙනුවට ප්‍රධාන ජනවර්ග දෙක අතර යළිත් උණුසුම් තත්ත්වයක්‌ නිර්මාණය වී තිබෙනවා නේද?

මේ තත්ත්වය අලුතින් සිතාබැලිය යුතු කරුණු දෙකක්‌ නිර්මාණය කර ඇති බවයි මගේ අදහස. පළමුවැන්න ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් දෙමළ ජාතික ප්‍රශ්නය සහ වෙනත් සුඵ ජනතාවගේ ප්‍රශ්න විසදීමට හැකියාවක්‌ තිබේද යන්න. දෙවැනි කාරණය වර්තමානයේ යෝජිත ව්‍යවස්‌ථා සංශෝධන යෝජනාවලින් හදනු ලබන ව්‍යවස්‌ථාවකින් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ඉඩක්‌ ලැබේද යන ප්‍රශ්නය.

පවතින ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමෙන් ජාතික ප්‍රශ්නය විසදිය නොහැකි තත්ත්වයට දැන් එය පත්ව ඇති බව මගේ අදහසයි. දැන් ඉදිරිපත් වන යෝජනාවලින් පෙනෙන්නේ සිංහල දෙමළ මුස්‌ලිම් ඇතුඵ සියලු ජනවර්ගවලට එකග විය හැකි ව්‍යවස්‌ථාවක්‌ ඇති කර ගත හැකිද යන ප්‍රශ්නය මතුව ඇති බවයි. විග්නේෂ්වරන් හා ටීඑන්ඒ පක්‌ෂයේ අදහස්‌ මතු වීමත් සමග එක්‌සත් ජාතික පක්‌ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ කණ්‌ඩායම් දෙකම පෙඩරල් හෝ සහසන්ධීය ක්‍රමයකට දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව දැන් මේ ප්‍රශ්නයේ ආරම්භක තැනට නැවතත් ගමන් කරන ස්‌වභාවයක්‌ පෙනෙන්නට තිබෙනවා. එනම් අප මේ ගමන් කරන්නේ 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පදනම් කරගත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවකටද, පෙඩරල් ක්‍රමයකටද, එසේත් නැත්නම් මේ දෙක අතර කුමන තැනකදී එකගත්වයක්‌ ඇති කර ගත හැකිද කියන අතිශයින් බරපතළ ප්‍රශ්නයකට දැන් මුහුණ දී තිබෙනවා. වර්තමාන සංදර්භය තුළ මේ ප්‍රශ්නයට එකගතාවක්‌ ඇතිකරගන්න අපේ දේශපාලන පක්‌ෂවලට හැකිවේ යෑයි මට නම් පෙනෙන්නෙ නෑ. යම් එකගත්වයක්‌ ඇතිකරගත්තත් දෙමළ ප්‍රජාවේ පහළ මට්‌ටම් තුළ අද ඇතිවී ඇති ප්‍රශ්න දෙස බලන විට, අපට පෙනෙනවා 2015 ජනවාරි 8 වැනිදායින් පසු උතුරු පළාත් සභාව යම් ස්‌වාධීන මට්‌ටමකින් ක්‍රියාත්මක වෙනවා. උතුරු පළාත් සභාවේ ක්‍රියාකාරිත්වය හා හැසිරීම දිහා බැලුවහම දෙමළ ජනතාවට කිසියම් ගර්වයක්‌ තිබුණත් ඔවුන්ට එතරම් ප්‍රතිලාභ ලැබෙන බවක්‌ පෙනෙන්නට නෑ. උතුරු පළාතේ පහළ මට්‌ටමේ ජනකොටස්‌, කුල පීඩනයට හසු වූ ජනකොටස්‌වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උතුරු පළාත් සභාවෙන් සතුටුදායක කාර්යභාරයක්‌ ඉටුවන බවක්‌ පෙනෙන්නට නෑ. මගේ අත්දැකීම් අනුව නම් එය හුදු ප්‍රචාරකවාදී ආයතනයක්‌ විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ. එයින් පෙනෙන්නේ උතුරු පළාතේ මෙන්ම දකුණු පළාතේත් යුද්ධයෙන් පීඩා ලැබූ ජනතාවගේ අදටත් නොවිසඳුණු ප්‍රශ්න දෙස බලන විට ව්‍යවස්‌ථා රාමුවකින් ඔබ්බට යන්නා වූ බරපතළ ගැටලූ ගණනාවක්‌ මේ සමාජයේ තිබෙන බවයි. එම ගැටලු එන්න එන්නම උග්‍රවන බවත් පෙනෙනවා. විශේෂයෙන් නව ලිබරල්වාදී ආර්ථිකයෙන් ඇති කරනු ලබන තෙරපීමත් එක්‌ක සාමයේ ප්‍රතිලාභ සමාජයේ පහළ මට්‌ටමට ලැබෙන බවක්‌ පෙනෙන්නට නෑ. එවන් තත්ත්වයක්‌ තුළ හුදු අලුත් නෛතික රාමුවක්‌ ගොඩගැනීමෙන් පමණක්‌ මේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් සොයන්න පුඵවන්ද කියන ප්‍රශ්නය අද රට හමුවේ තිබෙනවා. ජනවාර්ගික ප්‍රශ්නය පිටුපස එක්‌ ජනකොටසකගේ අනන්‍යතාව පිළිබද ගැටලුව වගේම ඔවුන්ගේ මූලික උවමනාවන් පිළිබද ගැටලුවත් බරපතළ ලෙස මතුව තිබෙනවා.

උදාහරණයක්‌ විදිහට දැන් මේ නිවාස 65000 ව්‍යාපෘතියයි කොළඹ මහආණ්‌ඩුවෙන් කරන ව්‍යාපෘතියකුයි අරගෙන බලමු. ඒවා අතර වෙනසක්‌ නෑ. මා එසේ කියන්නේ උතුරු නැගෙනහිර හදන මේ නිවාස ඒ ප්‍රදේශවලට සුදුසුද? එක නිවාසයක්‌ සදහා මෙපමණ මුදලක්‌ වැය කළ යුතුද? මේවා මේ පළාත්වල ජනයාගේ නිවාස උවමනාවන් සදහා ගැලපෙනවද? මෙය හයිවේ එකක්‌ හැදීමේ ව්‍යාපෘතියක්‌ නෙමෙයි. අපේ රටේ නිවාස හැදීමේ ව්‍යාපෘතියකුත් පිටරට සමාගමකට දිය යුතුද? නිවසක්‌ හැදීමට යන මුදලින් යම් කොටසක්‌ එම නිවාස ලබාදීමට අපේක්‌ෂිත අයට දීලා ඒ අයගේ ශ්‍රමයත් අරගෙන වඩා අඩු වියදමකින් තම තමන්ට ගැලපෙන නිවාස ලබාදීමේ ව්‍යාපෘති පසුගිය ආණ්‌ඩු දෙකේදීම ක්‍රියාත්මක වුණා. අපේ රටේ නිවාස හැදීමේ තාක්‌ෂණය පිටරටින් ගේන්න දෙයක්‌ නෑ. නමුත් මේ නිවාස 65000 ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය තුළින් පෙනෙන්නේ ජනතාවගේ නිවාස අවශ්‍යතාවට පිටින් යම් බලවේගයක්‌ මේ ව්‍යාපෘතිය තුළ ක්‍රියාත්මක වන බවයි. අපේ රටේ ජනතා ප්‍රශ්න විසදීමට එබඳු බාහිර බලවේග ක්‍රියාත්මක වෙනවා නම් හුදු නෛතික රාමුවකින් ව්‍යවස්‌ථාව වෙනස්‌ කළාට ජනතාවගේ ප්‍රශ්න විසෙද් යෑයි හිතන්න බෑ. මේ විදිහට අපි හදන ව්‍යවස්‌ථාව විධායක ක්‍රමයෙන් පාර්ලිමේන්තු ක්‍රමයට ගියත් පෙඩරල් ක්‍රමයට ගියත් ඒකීය ක්‍රමයෙන් කිසියම් සන්ධීය ක්‍රමයකට ගියත් ඡන්ද ක්‍රමයේ වෙනසක්‌ වුණත් සාමාන්‍ය ජනතාවට බලය පරිහරණය කරන්න ලැබෙන්නේ නෑ. මේ ගෙවල් 65000 හදන්නෙ ජනතාවට නම් එය හැදීමේ බලය පරිහරණය කළ යුත්තේ කවුද? එම තීන්දුව ගත යුත්තේ කැබිනට්‌ටුවද? පළාත් සභාවද? ජනතාවද කියන ප්‍රශ්නය මතුවෙනවා. ජනතාවට එය පරිහරණය කරන්න බැරිනම් ඒ නිවාස ප්‍රශ්නය විසෙ`දයිද? ප්‍රභූ පන්තියට නොව සමාජයේ පහළ පංතිය සැලකිල්ලට ගනිමින් තීරණ ගැනීමේ බලතල කිසියම් ප්‍රමාණයකට ඔවුන්ට හිමිවෙන්නා වූ ව්‍යවස්‌ථා ක්‍රමයකට යා යුතුය කියන අදහස අද ව්‍යවස්‌ථා කතිකාව තුළ කාලයේ වැලිතලාවෙන් වැහිලා. නව ව්‍යවස්‌ථාව කෙසේ විය යුතුද යන්න පිළිබඳ මහජන අදහස්‌ විමසූ කමිටුවත් ක්‍රියාත්මක වුණේ ප්‍රභූ සන්දර්භයක්‌ තුළ බවයි මගේ අදහස. මේ ව්‍යවස්‌ථාවෙනුත් බලය ලබාගැනීමට මහන්සි ගන්නෙ අර ගෙවල් 65000 හදන්න තීරණ ගත්ත උදවියමයි. මේ රටේ ජනතාවගෙ ප්‍රශ්න විස`දන්න නම් අපි නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගන්න ඕන.

ඒක කොහොමද කරන්නෙ?

ඒ සදහා යෝජනා තුනක්‌ මම කරන්න කැමතියි. තීරණ ගැනීමේ බලය එනම් ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ බලය කිසිම විටක මහජනයා විසින් ඔවුන්ගේ නියෝජිතයින්ට නොදිය යුතු බව ප්‍රංශ ජාතික දාර්ශනිකයකු වන රූසෝ ප්‍රකාශ කර තිබෙනවා. මහජනතාව විසින් පත්කරගන්නා කමිටුවකට විධායක සහ අධිකරණ බලය අභ්‍යාස කිරීමේ බලතල ලබාදීම වරදක්‌ නැති වුවත් ව්‍යවස්‌ථා සම්පාදනය කිරීමේ බලය එම කමිටුවලට ලබා නොදිය යුතු බවයි රූසෝ ප්‍රකාශ කළේ. අද සමාජය තුළ එය එසේම කළ හැකිද යන ප්‍රශ්නය මතුවෙනවා. නමුත් ව්‍යවස්‌ථාවක්‌ සම්මත කරගැනීමට සමාජයේ කුඩාම ඒකකවලත් අනුමැතිය අවශ්‍ය බවට නීති පැනවුවොත් එය කරන්න පුඵවන්. අද ක්‍රමය පාර්ලිමේන්තුවේ සම්මත වෙලා කතානායක අත්සන් කළාම එය ව්‍යවස්‌ථාවක්‌. නමුත් වියයුත්තේ කවුරු කෙසේ සම්මත කළත් සමාජයේ කුඩාම ඒකකවල අනුමැතියත් ඊට අවශ්‍ය බවට තීරණය කළොත් නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කරගන්න පුඵවන්.

අපේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය බොහෝදුරට ඊශ්‍රායලයේ පළාත් පිළිබද මතුවූ දේශපාලන කතිකාවට සමානයි. පලස්‌තීන ජනතාවට සහ ඊශ්‍රායල් ජනතාවටයි සන්ධීය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව හැනා ඇරෙන්ඩ් කියන ජර්මන් ජාතික කාන්තාව වරක්‌ ප්‍රකාශ කළා. නමුත් එය සෑදිය යුත්තේ සමාජයේ ඉතාම කුඩා පරිමාණ ඒකකවලින් බවත් ඇය කිව්වා. ඇය කියූ දේ අපට ආදේශ කළොත් ගෙවල් හදන්නෙ කිලිනොච්චියේ නම් එය ක්‍රියාත්මක කළ යුත්තේ කිලිනොච්චියේ ජනතාව එය අනුමත කළොත් විතරයි. අපේ රටේ නිදහස්‌ වෙළෝද කලාපයේ සේවකයො ලක්‌ෂයකට වැඩි පිරිසක්‌ ඉන්නවා. නමුත් ඒ අයට කිසි නියෝජනයක්‌ නෑ. වෘත්තීය සමිතියක්‌ හදාගන්නවත් බලතල නෑ. හැනා ඇරෙන්ඩ් කියන්නෙ ඒ අයට බලපාන ප්‍රශ්න විසදීමට ගන්නා ක්‍රියාමාර්ග තුළ ඒ අයටත් කිසියම් බලයක්‌ තිබිය යුතු බවයි. අපට නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ හදාගැනීම සදහා මගෙ දෙවැනි යෝජනාව හැනා ඇරෙන්ඩ් ප්‍රකාශ කළ ආකාරයේ සමාජයේ කුඩාම ඒකකවලටත් බලය අභ්‍යාස කිරීමට කිසියම් ඉඩක්‌ ලබාදීමයි.

මගෙ තුන්වැනි යෝජනාව පෙරදිග ව්‍යවස්‌ථා අදහසක්‌. එනම් මහත්මා ගාන්ධිගේ ග්‍රාම රාජ්‍ය ක්‍රමය. නිදහස්‌ ඉන්දියාවේ රාජ්‍ය ක්‍රමය ගම මත පදනම් වූ රාජ්‍ය ක්‍රමයක්‌ විය යුතු බව මහත්මා ගාන්ධි යෝජනා කළා. ඒ ක්‍රමය අපටත් ගැලපෙන බවයි මගේ අදහස. මේ යෝජනා ත්‍රිත්වයට අනුව නිර්ප්‍රභූ ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කර ගත්තොත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ අගමැති ක්‍රමයේ හෝ පාර්ලිමේන්තු ක්‍රමයේ තිබෙන්නා වූ ප්‍රභූ බලය කිසියම් ප්‍රමාණයකට අඩු කිරීමට වගේම ජාතික ප්‍රශ්නයටත් කිසියම් විසදුමක්‌ ලබාදීමට හැකිවේවි. රට තුළ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයකට වැඩි ඉඩකඩක්‌ ලබාගන්නටත් පුඵවන්.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

යුද්ධෙන් පස්සෙ අපිත් ‘ෆේල්’ වුණා

ඩග්ලස් දේවානන්ද පසුගිය ආණ්ඩු සමයේ කුඩා කර්මාන්ත කටයුතු ඇමතිවරයා වූ අතර මේ වන විට වත්මන් ආණ්ඩුව සමගද හිත හොඳින් ක්‍රියා කරන දේශපාලඥයෙකි. නමුත් ඔහු ප්‍රසිද්ධ උත්සව හා දේශපාලන පාර්ශව කිසිදු එකක් සමග පෙනී සිටිනු දක්නට ලැබුණේ ඉතා අඩුවෙනි. මේ ඔහු හා “ද කලම්බො පෝස්ට්” පැවැත්වූ සංවාදයයි.

** පසුගිය ආණ්ඩු සමය සහ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස පවසන්න?

දැන් රටේ තිබෙන්නේ යුද්ධෙන් පසු වර්ධනීය ස්වභාවයක්. පසුගිය රජයට තිබුණේ යුද මනෝභාවයක්. ඔවුන් යුද්ධය අවසන් කළා. වත්මන් රජය ඊට එහා වර්ධනීය තත්ත්වයක් පෙන්නුම් කරනවා පෙනෙනවා.

** පසුගිය රජය සහ වත්මන් රජය දෙමළ ජනතාව පිළිබඳව ආකල්පමය වෙනසක් දක්වනවා ඔබට පෙනෙනවද?

පැහැදිලිවම පෙන්නුම් කරනවා. දකුණේ ජනතා විමුක්ති පෙරමුණ අවි අතට ගත්තම දකුණේ ජනතාව එය ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමක්, ජනතාව වෙනුවෙන් කළ කැපවීමක් ලෙස දුටුවා. ඒ ආකාරයටම කොටි සංවිධානය උතුරේ අවි අතට ගත්තම දෙමළ ජනතාව එය තමන් වෙනුවෙන් කරන සටනක් බවට තේරුම් ගත්තා. කොටි සංවිධානය තමන් ආයුධ අතට ගත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් කියල ප්‍රකාශ කරන කොට මහ ආණ්ඩුවෙන් ඒ බව සනාථ කරන දේවල් සිද්ධ වුණා.
යුද්ධය අවසන් වුණාට පසුව එම රජය සංවර්ධන ක්‍රියාවලියක නිරත වුණා. නමුත් දෙමළ ජනතාවගේ හදවත් දිනා ගැනීමට තරම් ඔවුන් සංවේදී, බුද්ධිමත් ආකාරයෙන් කටයුතු කරන බවක් දකින්නට ලැබුණේ නැහැ. එම සංවර්ධනය ජනතාව අතරට ගෙන යන්න දේශපාලන නායකත්වයට හැකියාවක් තිබුණේ නැහැ.

** ඒ කියන්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව ජනතාවගේ සිත් සැනසීමට ඔබටත් බැරි වුණා?

ඇත්ත වශයෙන්ම බැරි වුණා. අපට මහ ආණ්ඩුව සමග කටයුතු කරද්දී සිමා සහිත ලෙස තමයි කටයුතු කරන්න ලැබෙන්නේ. එම රජය දෙමළ ජනතාවගේ සිත් දිනා ගැනීමට යම් යම් කටයුතු සිදු කළා. නමුත්, එය නියමාකාරයෙන් සිද්ධ වුණේ නැහැ. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යම් යම් දේවල් සම්බන්ධයෙන් ඉල්ලීම් කළත් ඔහු වටේ සිටි පිරිස් නිරන්තරයෙන් ඒ සඳහා අකුල් හෙළුවා.
උදාහරණයක් ලෙස ‘ඕමන්තේ මුරපොල’ ඉවත් කරන්න කියලා ඉල්ලුවම ඒක ඉටු කරන්න වටේ හිටපු පිරිස් ඉඩ දුන්නේ නැහැ. එම මුරපොළ ඉවත් කළා කියල ජාතික ආරක්ෂාවට බාධාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ රජය එය ඉටු කළා.

** විධායක ජනාධිපති ක්‍රමය නැවත අවශ්‍යයි කියල යම් යම් කණ්ඩායම් නැවත ප්‍රකාශ කරන එක හරිද?

විධායක ජනාධිපති ක්‍රමය මගින් අපේ සුළු පක්ෂවලට යම් බලයක් වාසියක් ලැබුණා. බලය ලබා ගැනීම සඳහා අපේ සහයෝගය මහ පක්ෂ සඳහා අවශ්‍ය වුණ නමුත් විධායකය අහෝසි කිරීම මගින් එම තත්ත්වය ඉවත්ව යන බවක් පෙනෙනවා. ප්‍රධාන පක්ෂ එකතු වී බලය ලබා ගත්තට පස්සේ සුළු පක්ෂ හුදකලා වීමක් දකින්නට ලැබෙනවා. එම නිසා විධායකය අහෝසි කිරීමකින් තොරව යම් බලතල අවම කිරීමක් යටතේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනට සොයා බලමින් අපි ඉන්නේ.
19වැනි සංශෝධනයට දෙමළ ජනතාවගේ ප්‍රශ්නත් ඇතුළත් කරන්න තිබුණ නමුත් එහෙම වුනේ නැහැ. ඒ සඳහා දෙමළ ජාතික සංවිධානය සම්පුර්ණයෙන් වගකිව යුතුයි. ඔවුන් තමන්ගේ බලය, තත්ත්වය පවත්වාගෙන යාමට පමණයි කටයුතු කරන්නේ.

** නැවත පදිංචි කිරීම් සහ ඉඩම් ලබා දීමේ තත්ත්වය ගැන සෑහෙනවද?

මේ සඳහාත් දෙමළ ජාතික සන්ධානය වගකිව යුතුයි. මැතිවරණයට පෙර රහස්‍ය සාකච්ඡා පැවැත්වුවා කියල කිව්වා . මේ රජයෙන් එම ඉල්ලීම් ඉටු කරගන්න පුළුවන් කියල ජනතාව රැවටීමක් පමණයි ඔවුන් සිදු කරලා තිබෙන්නේ. නොවිසදුණු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. නමුත් කිසිම බලපෑමක් දෙමළ ජනතාව වෙනුවෙන් රජයට සිදු කරන්නට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් වෙන්නේ නැහැ.

** දෙමළ ජාතික සන්ධානයට අත දික් නොකර මධ්‍යම රජයට අදාලව මේක පැහැදිලි කළොත්?

මධ්‍යම රජයේ නෙමේ මෙතන ප්‍රශ්නය තිබෙන්නේ. දෙමළ සන්ධානයට අවශ්‍ය මේ ප්‍රශ්නය විසඳන්න නෙමෙයි. මේ ප්‍රශ්නය විසඳුවොත් ඔවුන්ට මේ අහිංසක දෙමළ ජනතාව තමන්ට අවශ්‍ය පරිදි නටවන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒක නිසා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් මධ්‍යම රජය ලබා දෙන අවස්ථා මග හරිමින් ඔවුන් දෙමළ ජනතාව නොමග යැවීමක නිරත වෙලා ඉන්නවා.
පසුගියදා රටේ සියලුම මහ ඇමතිවරු කැඳවලා ජනාධිපතිතුමා සාකච්ඡාවක් පැවැත්වුවා. නමුත් විග්නේෂවරන් මහ ඇමතිවරයා ඒකට ආවේ නැහැ.
ඊට පස්සේ උතුරට ගිහින් කියන්නේ රජය අපට අවස්ථාව දුන්නේ නැහැ කියල. දෙමළ ජාතික සන්ධානය තවම ඉන්නේ ජාතිවාදී මාවතක. ඔවුන්ට ඕන දේශපාලන විසඳුමක් ලෙස සඳහන් කරමින් රටෙන් කෑල්ලක් අරගන්න. විසදීමට හැකි ගැටලුවක් දිගින් දිගටම ඇදගෙන යමින් තමන්ගේ බලය තහවුරු කර ගැනීමේ කාර්යයක පමණයි ඔවුන් නිරත වෙන්නේ.

** ඔබට බැරිද දෙමළ ජාතික සන්ධානය හරි මගට ගන්න?

අපි ගමන් කරන්නේ සංහිඳියාවේ මාර්ගයේ. ඔවුන් ගමන් කරන්නේ ජාතිවාදී මාර්ගයේ. ඉතින් කොහොමද එකතු වෙන්නේ?
ඔවුන් දකුණේ නායකයන් එහෙට ගියාම සළු පළඳමින් පිළිගන්නවා. නමුත් දකුණේ දයාබරත්වය දෙමළ ජනතාව අතරට ගෙන යන්නට ඔවුන් කටයුතු කරන්නේ නැහැ. සංහිදියාව ඔවුන්ගේ ශබ්දකෝශයේ නැහැ.

පසුගියදා මාධ්‍යවේදීන් යාපනේට ගියාම විග්නේශ්වරන් කිව්වේ දකුණේ මාධ්‍යවේදීන් ගැන විමර්ශනය කරනවා, නමුත් උතුරේ ඝාතනයට ලක් වූ සහ අතුරුදහන් වූ මාධ්‍යවේදීන් ගැන තැකීමක් නැහැ කියල. මේක සම්පුර්ණයෙන්ම ජාතිවාදී ප්‍රකාශයක්. ජනතාවට මොනවද මොහු මේ ප්‍රකාශ කරන්නේ? උතුරට වෙනස්කම් කරනවා කියල ඔහු ප්‍රකාශ කරන්නට උත්සාහ කරන්නේ.

** භාෂා ප්‍රශ්නය සඳහා කුමක්ද විසඳුම?

අගමැතිතුමා නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්න යනවා. ඒවා පිළිබඳව අප යම් යහපත් බලපොරොත්තුවක් තිබෙනවා. නමුත් දෙමළ ජාතික සන්ධානය උතුරේ සිංහල උගන්වන්න දෙන්නේ නැහැ. ඔවුන් කටයුතු කරන්නේ සංහිඳියාව ඇති කරන්න නෙමේ. පසුගිය රජය සමයේත් අපගේ ඉල්ලීම්වලට ලැබුණේ යහපත් ප්‍රතිචාර නොවෙයි.

** මහින්ද රාජපක්ෂ නැවත බලයට ගේන්න පිරිසක් නැවත උත්සහ කරනවා. ඔබ කොයි පැත්තේද?

සුළු පක්ෂ ලෙස මහ ආණ්ඩුවේ ඉන්නේ කවුද කියන එකට වඩා අපි ඉන්න ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න සුදානම් වෙන්න ඕන. අපේ ජනතාව වෙනුවෙන් ඉටු කර ගත හැකි කාර්යය වෙනුවෙන් ඔවුන් සමග සහයෝගයෙන් අපගේ අරමුණ ඉටු කිරීමට කටයුතු කළ යුතු වෙනව.

** පසුගිය කාලයේ සිදු වූ ඝාතන, දුෂණ වංචා පිළිබඳව විමර්ශනය කරද්දි ඔබටත් ලලිත්-කුගන් අතුරුදවීම සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වෙලා තිබෙනවා?

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පස්සේ අපට ඝාතන සම්බන්ධයෙන් චෝදන එල්ල වෙලා තිබෙනවා. රවිරාජ්, ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් අපට චෝදනා එල්ල වෙලා තිබෙනවා. දේශපාලන උවමනා ඉටු කරගැනීමට අපට ඕනෑම චෝදනාවක් කරන්න පුළුවන් නමුත් විමර්ශනය කරලා, ඇත්ත හෙළිදරව් කරගන්නත් හැකියාවක් තිබෙනවා.

සංවාදය : කසුන් ගනේවත්ත