valampuri-net.com

justice peace and reconciliation

රික්ටර් මාපාංකයේ 7.3ක භූකම්පනයක්-61ක් මරු තුරුළට-300ට තුවාලයි

ඉරාකයේ හට ගත් ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 61 දෙනෙකු මිය ගොස් තවත් 300ක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉරාක සහ ඉරාන දේශ සීමාව ආසන්නයේ රික්ටර් මාපාංකයේ 7.3 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය සිදුව ඇති බව සඳහන්ය.
මියගිය පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් ඉරාන වැසියන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 16 දී මිනිසකු මැරෑ බව විදෙස් සමුළුවකදී ජනාධිපති පිළිගනී

තමාගේ තරුණ වියෙදී තමා දඩබ්බර චරිතයක් බවත්, කීප වතාවක් සිරගතව සිටි බවත් මනුෂ්‍යකු ඝාතනය කළ බවත් ජනාධිපතිවරයකු පිළිගෙන ඇත.

තමා 16 හැවිරිදි තරුණයකු ලෙස සිටියදී මෙසේ මනුෂ්‍යයකු ඝාතනයක් කළ බව ප්‍රකාශ කළේ පිළිපීනයේ ජනාධිපති රොද්‍රිගෝ ඩුටේට්යි.

වියට්නාමයේ පැවැති ප්‍රාන්ත  සමුළුවක් අමතමින් මොහු මේ බව පවසා ඇත.

යම් යම් වැරදි වලට සම්බන්ධ සැක කරුවන්ද විවිධ අවස්ථාවලදී  තමා විසින්ම ඝතනය කළ අවස්ථා ඇති බවද  මොහු මෙහිදී කියා ඇත.

2015 වසරේ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ මුහුදු වෙරළකදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් තමන් පිහියකින් ඇන මනුෂ්‍යයක් ඝාතනය කළ බවයි.

16 හැවිරිදි තරුණයකු ලෙස කළ මනුෂ්‍ය ඝානතනය හා මුහුදු වෙරළේ කළ ඝාතනය එකක්ද නොඑසේ නම් දෙකක්ද යන්න තවම අනාවරණය වී නැත.

මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ්‍ය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ජනාධිපති ලේඛම් පවසා ඇත්තේ සිය ජනාධිපතිවරයා විහිළුවක් කර ඇති බවයි.

ලන්ඩනයේ බිග්බෙන් නිහඬ වෙයි

පසුගිය වසර 157 පුරා අඛණ්ඩව ලන්ඩන්වාසීන්ට වේලාව සලකුණු කළ සුප්‍රකට බිග්බෙන් ඔරලෝසු කුළුණ අගෝස්තු 21 වන දා නිහඬ වන බවට විදෙස් වාර්තා දක්වනවා.

සිව් වසරක කාලයක් සඳහා බිග්බෙන් ඔරලෝසු කුළුණ නිහඬ වන්නේ එහි අලුත්වැඩියා කිරීම් සඳහායි.

කෙසේවෙතත් නව වසර උදාව වැනි වැදගත් අවස්ථාවන්හිදී එය නාද කිරීමට බලධාරීන් පියවර ගනු ඇති.

සිව් වසරක් නිහඬවීමට පෙර බිග්බෙන් කුළුණේ අවසන් නාදයට කන් දීම සඳහා ලබන සඳුදා, තේම්ස් නදියේ ඉවුරේ පිහිටි වෙස්මිනිස්ටර් මැදුරේ සිට පාර්ලිමේන්තුව දක්වා ප්‍රදේශයට එක්රැස් වන ලෙස ජනතාවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

මීටර් 96ක් උසැති එළිසබෙත් කුළුණේ රදවා ඇති බිග්බෙන් ඔරලෝසුව ටොන් 13.7ක බරකින් යුක්තයි.

ඉන්දූනිසියාවට භුමිකම්පාවක්

ඉන්දුනීසියාව ආසන්නයේ රික්ටර් මාපක 6.5ක විශාලත්වයෙන් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

ඉන්දුනීසියාවේ බෙන්කුලු නගරයට කිලෝමීටර් 73ක් බටහිරින් භූ කම්පනය සිදුව ඇති අතර මරණ හෝ අලාභහානි සම්බන්ධව මෙතෙක් වාර්තා වී නොමැත.ඉන්දුනීසියානු භූ විද්‍යා හා කාලගුණ විද්‍යා කාර්යාංශය පවසන්නේ උදෑසන 10.08ට පමණ සිදුවී ඇති මෙම භූමි කම්පාවෙන් සුනාමි අවධානමක් නොමැති බවයි.

භූ කම්පනයේ අපි කේන්ද්‍රය පොළව මට්ටමේ සිට කිලෝමීටර් 35ක් ගැඹුරින් පිහිටා ඇති බවද මෙය තරමක් ප්‍රබල භූමිකම්පාවක් බවද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

(රොයිටර් පුවත් ඇසුරිණි – 085)

ඔක්සිජන් සැපයුම නවතයි-ළමයි 60ක් මරුට

ඔක්සිජන් සැපයුම අඩාල වීම හේතුවෙන් ඉන්දියාවේ ගොරොක්පූර් දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක දරුවන් 60දෙනකු දින පහක් තුළදී මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔක්සිජන් සැපයුම්කරුට බිල්පත් ගෙවීම පමාවීම හේතුවෙන් සැපයුම නතර කර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පිළිගෙන ඇතත් ඔවුන් පවසන්නේ දරුවන් මියයෑමට එකම හේතුව එය නොවන බවයි. අසාධ්‍ය තත්වයේ පසුවූ දරුවන් ස්වාභාවික හේතූන් මත මියගිය බව ඔවුන් පවසා ඇත.මෙලෙස මියගොස් ඇති දරුවන්ගෙන් වැඩිදෙනෙක් අළුත උපන් බිළිඳන්  බව කියැවේ.බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක තුළ පමණක් 30දෙනකු මියගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ දරිද්‍රතාවය ඉහළ කළාපයක් වන මෙම ප්‍රදේශයේ වසරකට එන්සෙෆලයිටීස් වැනි රෝග හේතුවෙන් දරුවන් සියගණනක් මියයන බව පැවසේ.

සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබේ

(බීබීසී පුවත්)

2030 සිට විදුලි වාහන පමණයි. ඉන්දියාවෙන් ඓතිහාසික තීරණයක්

වසර 2030 වන විට තම රටේ අලෙවි වන සියලූම වාහන විදුලියෙන් ධාවනය වන ඒවා පමණක් බවට පත්කරලීමට කටයුතු සිදුකරනු ලබන බව ඉන්දීය බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් ප්‍රකාශ කර සිටී.

“අපි මේ වන විට විශාල වශයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්දියාව තුළ ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිෂ්පාදනය ඉහළ නංවන්න සැලසුම් සකස් කරනු ලබනවා. අපේ අභිප්‍රාය වන්නේ 2030 වසර වන විට ඉන්දියා තුළ එකදු පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථයක් අලෙවි නොකරන පසුබිමක් සකස් කිරීමයි“, යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඉදිරි වසර තුනක කාලය තුළ දී ඉන්දියාව තුළ විශාල පරිමාණයෙන් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බවත් ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරි ආරෝපණ මධ්‍යස්ථාන හා සේවා පහසුකම් දැවැන්ත ලෙස රටපුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්ය.

තවද ලොව ප්‍රධානතම ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදන සමාගම් දෙකක් වන Tesla හා Nissan සමාගම්, ඉන්දීය වෙළෙඳපොළට පිවිසීම පිළිබඳ සිය සැලසුම් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති බවත්, රජයේ ඉදිරි සැලසුම්වල සාර්ථකත්වය මත ලොව අනෙකුත් ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් මොටර් රථ නිෂ්පාදකයින්ට ද ඉන්දීය වෙළෙඳපොළට පිවිසීට ඇති අවස්ථාව විශාල වශයෙන් විවර කරනු ලබන බවත් බලශක්ති අමාත්‍ය පියුස් ගොයාල් වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන ආනයනය සඳහා වාර්ෂිකව ඉන්දියාව දරන පිරිවැය පහත හෙළීමත්, වායූ දූෂණය අවම කිරීම, ජනතාවට අඩුම වියදමකින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලබා දීම වැනි කරුණු හේතු කර ගෙන ඉන්දීය රජය විසින් මෙම තීන්දුව ගෙන ඇති බව බලශක්ති අමාත්‍යවරයා අනාවරණය කර සිටියේය.

-Adaderana

දැවැන්ත රත්‍රන් කාසියක් සොරා ගනියි

ජර්මනියේ කෞතුකාගාරයක තිබූ එලිසබෙත් රැජිණ ගේ රුව සහිත ඩොලර් මිලියන 4 ක් වටිනා දැවැන්ත ප්‍රමාණයේ රත්‍රන් කාසියක් සොරකම් කර ඇති බව වාර්තාවේ.

“big maple leaf” නමින් හැඳින්වුණු කැරට් 24 පිරිසිදු රත්‍රන් වලින් නිමවා ඇති කිලෝග්‍රෑම් 100 ක් බරැති කාසියේ සඳහන් වටිනාකම ඩොලර් මිලියන එකකි.

එහෙත් වත්මන් රත්‍රන් මිල ගණන් අනුව කාසිය එයට වඩා ඉතා ඉහළ වටිනාකමකින් යුක්තවේ.

බර්ලින් නුවර බෝඩි කෞතුකාගාරයේ තිබියදී මෙය සොරා ගෙන ගොස් ඇත්තේ රාත්‍රී කාලයේදීය.

අනතුරු සංඥා ක්‍රියා විරහිත කොට මීටර් භාගයක් පමණ පළලින් යුතු හා විශාල බරකින් යුතු මේ කාසිය සොරුන් රැගෙන ගියේ කෙසේදැයි තවමත් අනාවරණය වී නැත.

සඳුදා උදෑසන 03.30 ට පමණ සොරකම සිදුවූ බව විශ්වාස කෙරෙයි.

තනි පුද්ගලයෙකුට ඔසවාගෙන යා නොහැකි බරකින් යුතු මෙම රත්‍රන් කාසිය රැගෙන යාම සඳහා සොරුන් ජනේලයකින් ඇතුළුවී ඇති බව පොලීසිය පවසයි.

මේ අතර අසල වූ දුම්රිය මාර්ගයක තිබී ඉණිමගක් සොයාගෙන තිබේ.

-BBC

ශෂිකලා තමිල්නාඩුවේ මහ ඇමතිනිය වෙයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නව මහ ඇමතිනිය ලෙස හිටපු මහ ඇමැතිති ජයලිලතා ජයරාම් මෙනවියගේ ආධාරකාරියක වූ වී.කේ. ශෂිකලා නාටරාජන් මහත්මිය පත් කරගන්නා බව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය අද (5) නිවේදනය කළේය.

ජයලලිතා ජයරාම් මෙනවියගෙන් පසු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිධුරයට ඕ.පන්නීර්සෙල්වම් මහතා පත්වූ අතර අද (5) චෙන්නායි නුවර පැවැති පක්ෂ රැස්වීමකදී ඕ.පන්නීර්සෙල්වම් මහතා තම ඉල්ලා අස්වීම බාර දෙමින් ශෂිකලා නටරාජන්  මහත්මිය තමිල්නාඩු මහ ඇමැතිධුරයට යෝජනා කර ඇත.

ඒ අනුව පක්ෂයේ මහලේකම්වරිය වශයෙන් කටයුතු කරමින් සිටි ශෂිකලා නටරාජන් මහත්මිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වශයෙන් පත් කිරීමට පක්ෂ සාමාජිකයෝ ඒකමතිකව තීරණය කළහ.

තමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කඩිනමින් ආණ්ඩුකාරවරයාට බාරදෙන බව ද ඕ.පන්නීර්සෙල්වම් මහතා ප්‍රකාශ කළේය. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් පක්ෂයේ ශෂිකලා නටරාජන් මහත්මිය පක්ෂ මහ ලේකම්වරිය වශයෙන් පත්වූවාය.

ශෂිකලා නටරාජන් මහත්මිය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය වශයෙන් දිවුරුම් දෙනු ලැබුණහොත් මාස හයක් ඇතුළත ශෂිකලා නටරාජන් මහත්මිය ප්‍රාන්ත සභාවට තේරී පත්විය යුතු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
‘ පුංචි අම්මා තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනිය වශයෙන් තෝරාගත්තා’ යැයි ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

‘අපගේ ගෞරවනීය අම්මාගේ අභාවයෙන් පසු මට මහ ඇමැතිධුරය බාරගන්නැයි ඕ.පන්නීර්සෙල්වම් යෝජනා කළා’ යැයි ශෂිකලා නටරාජන් මහත්මිය උපුටා දක්වමින් එම පක්ෂයේ තවත් නිල ට්විටර් ගිණුම තවත් ට්විටර් පණිවිඩයක් යොමු කරමින් සඳහන් කළේය.

-Lankadeepa

 

ඇමරිකා නව රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්

ඇමරිකාවේ නව රාජ්‍ය ලේකම් ලෙස එක්සොන් මොබිල් තෙල් සමාගමේ හිටපු සභාපති හා ප්‍රධාන විධායක රෙක්ස් ටිලර්සන් මහතා ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

64 හැවිරිදි ටිලර්සන් ගේ පත්වීමට සෙනට් සභාවේ 56 දෙනකුගේ අනුමැතිය හිමිවිය. ඔහුට විරුද්ධව සෙනෙට් සභිකයෝ 43 දෙනකු ඡන්දය ප්‍රකාශ කළහ. එරට ඩිමොක්‍රොටික් පක්ෂය ඡන්ද විමසීම වර්ජනය කර ඇත.

ඇමරිකා රාජ්‍ය ලේකම් ලෙස මීට පෙර කටයුතු කළේ ජෝන් කෙරී මහතාය.

-ලංකාදීප

ජනපති පදවියේ දිවුරුම් දෙන්න ට්‍රම්ප් වොෂින්ටනයට

ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීම සදහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට වොෂින්ටන් නුවරට පැමිණ තිබෙනවා.

ධවල මන්දිරයට ගොඩනැගිලි කිහිපයකට මෑතින් පිහිටි ට්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය ඔහුගේ පළමු නැවතුමයි.  ඉන් පසු ලින්කන් අනුස්මරණ ශාලාව ආලින්දයේ පැවති සංගීත සංදර්ශනයකට ද එක්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එහි සිටි පිරිස අමතමින් සදහන් කළේ ඇමරිකාව එක්සත් කිරීමට කටයුතු කරන බවයි.  ඇමරිකානුවන්ට රැකියා සුලභ කිරීමටත්, ආරක්ෂක හමුදා සහ දේශසීමා ආරක්ෂා කිරීමටත් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.  ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම්දීම ශ්‍රී ලංකා වේලාවෙන් අද මැදියම් රැයේදී සිදුකිරීමට නියමිතයි.

-HiruNews