සෝභිත හිමි අපවත් වුනාද? අපවත් කළාද?

පූජ්‍ය මාදුළුවාවේ සොභිත හිමිගේ අපවත්වීම පිළිබ‍ඳව සැකයක් පැතිර යමින් පවතී.

යහපාලන ආණ්ඩුව ගෙන ඒම සඳහා මුලික වී කටයුතු කල උන් වහන්සේට විශාල දේශපාලන සතුරන් ප්‍රමාණයක් රටේ සිටි බවට සැකයක් නැත. උන් වහන්සේට වැළඳී තිබූ දියවැඩියා රෝගය, වකුගඩු රෝගය පිළිබඳ හා හෘද රෝග පිළිබදව ඉතිහාසය දන්නා වූ නවලෝක රෝහලට ඇතුලු නොවී සෙන්ට්‍රල් රෝහලට ඇතුලු වී හෘද රෝග සැත්කම් සිදු කිරීම හා එම සැත්කම්වලින් පසුව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුලු වීම පිළිබඳ යම් යම් සැක මතුවෙමින් තිබේ. සෙන්ට්‍රල් රෝහලේ උන්වහන්සේගේ ප්‍රතිකාර කළ ඇඳ ඉහපත් අතුරුදහන් වීම පිළිබඳව යම් යම් සැක මතුවෙමින් පවතී. මෙවැනි තත්ත්වයක් තුළ උන්වහන්සේගේ අපවත්වීමත් ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබඳ මෙන්ම සැකයක් සමාජය තුළ මතුවෙමින් පවතී.

කුමාර් නැවතත් කැලෑ පනීද?

සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණ එම වීසා කාලය අවසානවීමෙන් පසු සැඟවෙමින් සිටි පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්, කෑගල්ල අඟුරුවැල්ලේ සිය මවගේ නිවසේ සැඟවී සිටියදී ඊයේ කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කෑගල්ල මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 දක්වා රිමාඩ් භාරයේ තැබීමට නියෝග කොට තිබේ.

මෙතෙක් වීසා නොමැතිව සැඟවෙමින් සිටි කුමාර් ගුණරත්නම් හදිසියේ අත්අඩංගුවට ගැනීමට හේතුව වීසා නොමැතිව සිටීම ද එසේ නැත්නම් ඔහු සැඟවී කරන දේශපාලන කටයුතු පිළිබඳ රජයට ලැබී ඇති තොරතුරු තුළින් නැවතත් ඔවුන් කැරැල්ලකට සූදානම් වෙනවාද? යන කරුණ බව ද විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබී තිබේ.

කුමාර් ගුණරත්නම් ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටියදී ද රහසිගත දේශපාලනයේ යෙදුනු අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණේ 80 දශකයේ කැරැල්ලේ සන්නද්ධ අංශය භාරව සිටි නායකයා යැයි ද, විජයවීරගේ මරණයෙන් පසු ඔහු නැවතත් ජනතා විමුක්ති පෙරමුණ තුළ සන්නද්ධ අංශය භාරව රහසිගත දේශපාලනයේ යෙදුනු අයෙකු බව ද ප්‍රකට කරුණකි. ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලය අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසීම නිසා ඇතිවූ දේශපාලන මතවාදී අරගලය නිසා ඔහුඇතුලු පිරිස පක්ෂයෙන් ඉවත් කළ අතර ඔවුන් ‘පෙරටුගාමී පක්ෂය’ නමින් නව පක්ෂයක් බිහිකර ගත්තේය. මොවුන් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්වීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබූ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලය ජනතා විමුක්ති පෙරමුණෙන් ගිලිහී ගිය අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ බලය පෙරටුගාමී පක්ෂය සතු විය.

පසුගියදා සිදුවූ ජාතික උසස් ගණකාධිකරණ ඩිප්ලෝමා (එච්.එන්.ඩී.ඒ.) සිසු අරගලය ඇතුලු සියලුම සිසු අරගලයන් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය හරහා මෙහෙයවා ඇත්තේ පෙරටුගාමී පක්ෂය බවට තොරතුරු ලැබී ඇති නිසා මොහු අත්අඩංගුවට ගැනීම ඉක්මන් වූ බව ද, විශ්වාසදායක ආරංචිමාර්ග කියයි. කෙසේ වෙතත් පෙරටුගාමී පක්ෂය විසින් ඉදිරි කාලයේදී ආණ්ඩුබලය ලබා ගැනීම නිසා සන්නද්ධ අරගලයකට සූදානම් වෙනවාද යන සැකයක් රාජ්‍ය බුද්ධි අංශ තුළ ඇතිවී තිබෙන බව යම් යම් ආරංචිමාර්ග සඳහන් කරයි.

කුමාර් ගුණරත්නම්ගේ වැඩිමහල් සොහොයුරා වූ චන්ද්‍රම් ගුණරත්නම් ද ජනතා විමුක්ති පෙරමුණේ 80 දශකයේ ශිෂ්‍ය නායකයාව සිටි අතර, ඔහු අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු ද විය. පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ද වූ ඔහු, ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ 87 කැරැල්ලේදී හමුදාව විසින් ඝාතනය කරන ලද බව දැනගන්නට ඇත.

වර්ෂාව නිසා එළවළු මිල අධික වේ

පවතින වර්ෂා කාලගුණය නිසා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලු සියලුම ආර්ථික මධ්‍යස්ථානව එලවළු මිල 100%කින් ඉහල ගොස් ඇත.

වර්ෂාව නිසා එළවළු වගාව විනාශ වීමත්, ඒවා නෙලා ගැනීම අසිරුවීමත් නිසා ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන එළවළු තොග ප්‍රමාණය සීමා වී ඇත. මේ හේතුව නිසා මෙසේ එළවළු මිල ඉහල ගොස් තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුලු ආර්ථික මධ්‍යස්ථාන ගණනාවක ඊයේ බෝංචි රු. 200/=ත් 240/=ත් අතර, කැරට් රු. 100/=ත් 140/=ත් අතර, මාළු මිරිස් 220/=ත් 260/=ත් අතර, ලීක්ස් රු. 50/=ත් 70/=ත් අතර, අමු මිරිස් රු. 400/=ත් 500/=ත් අතර, තක්කාලි රු. 80/=ත් 100/=ත් අතර, මෑකරල් රු. 85/=ත් 105/=ත් අතර, පතෝල රු. 60/=ත් 80/=ත් අතර, වම්බටු රු. 80/=ත් 90/=ත් අතර, දඹල රු. 100/=ත් 130/=ත් අතර, කරවිල රු. 120/=ත් 140/=ත් අතර, වැටකොලු රු. 50/=ත් 70/=ත් අතර, බණ්ඩක්කා රු. 50/=ත් 60/=ත් අතර ආදී වශයෙන් එළවළු මිල ඉහල ගොස් තිබුණි.

පවතින කාලගුණ තත්ත්වය භයානකයි – ප්‍රධාන ජලාශ 18ක් පමණ වාන් දමයි

මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් රටේ ප්‍රධාන ජලාශ 18ක් පමණ වාන් දමන බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, රාජංගණය, නාච්චදූව, කැකිරම්බඩ, වාංඇල, දෙබරවැව, දැදුරු ඔය, ඇල්ලේවෙල යන ජලාශවල වාන් දොරටු විවෘත කොට තිබේ. මීට අමතරව අභය වැව, අඹේවෙල, කන්දේ ඇල, බඳගිරිය, කැකුනදොර, අත්තරගල්ල, වෑමැඩිල්ල, කිඹුල්වානා, මැඩියාව, උස්ගල සියඹලාව සහ මහ වැව ද ඇතුලත් වේ. රාජාංගනය වැවේ මේ වන විට වාන් දොරටු 18ක් විවෘත කර ඇති අතර තත්ත්පරයකට ඝන අඩි 30,000ක ජල කඳක් එම වාන් දොරටු ඔස්සේ පිටතට නිකුත් කරන බව ද වාර්තා වේ.

එසේම, කදුකර ප්‍රදේශවල නාය යෑමේ තර්ජනවලට මුහුණ දී තිබෙන අතර, මෙම නොවැම්බර් මස අවසානය දක්වා මෙම කාලගුණ තත්ත්වයේ වෙනසක් නොවන බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

යුක්තිය, සාධාරණත්වය හා සංහිදියාව වෙනුවෙන් අප පෙරට එන්නෙමු

Justiceලෝකයේ ඕනෑම රටක අනාගතය තීරණය වන්නේ පවතින මොහොතේ එම රටේ සමාජ උත්තර් නිර්මිතයේ පවතින සමාජ මතවාදය ශක්තිමත් කිරීම තුළිනි. ඒ අනුව පසුගිය දශක තුනක් තිස්සේ ශ්‍රී ලංකාවේ සමාජ උත්තර් නිර්මිතයේ පැවති පැසිස්ට් සිවිල් යුද්ධය අවසන්වීමෙන් පසු අද ශී‍්‍ර ලංකාවේ සමාජ උත්තර් නිර්මිතයේ පවතින්නා වූ මතවාදය වන්නේ යුක්තිය, සාධාරණත්වය සහ සංහිදියාව ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් මේ රටේ ජනමාධ්‍ය අති විශාල කැපවීමකින් කටයුතු කළ යුතු අවධියක් උදා වී තිබේ. මෙම තත්ත්වය අපේ ජනමාධ්‍ය කොතරම්දුරට වටහාගෙන ඇතිදැයි ප‍්‍රශ්නයකි. වර්තමාන රටේ ජනමාධ්‍ය හැසිරීම හා භාවිතය තුළ අපට සෑහීමකට පත්විය නොහැකි වී ඇත. යුද්ධය පැවති දශක තුනක් පුරා යුද්ධය වවාගෙන කෑ අපේ සමහර මාධ්‍යය එය අවසන් කරන්නේ කෙසේ දැයි ජනතාවට මග පෙන්වූයේ නැත. සමහර ජනමාධ්‍ය යුද්ධය අවසන් කළ නොහැකි යැයි ජනමතයක් ද පතුරුවා හැරියහ. එදා වහා යුද්ධය අවසන් කර එල්.ටී.ටී.ඊ. පැසිස්ට්වාදී මතවාදය පරාජය කිරීම වෙනුවෙන් පෙනී සිටි අප වර්තමානයේ යුක්තිය සාධාරණත්වය සහ සංහිදියාව ගොඩනැගීම වෙනුවෙන් පෙනී සිටින්නෙමු.

2009 මැයි 18 යුද්ධය අවසන්වීමෙන් පසු මහින්ද රාජපක්‍ෂ රජය රටේ කළ යුතුව තිබූ යුක්තිය, සාධාරණත්වය හා සංහිදියාව ගොඩනැගීම දෙවැනි කොට තකා ධනේෂ්වර සංවර්ධනය උදෙසා කටයුතු කළ ද, ඉහත සංකල්ප ක‍්‍රියාත්මක නොකර, කරන ආර්ථික සංවර්ධනය තුළින් පමණක් සමාජ ප‍්‍රගමනය සිදු නොවන බව ඔවුන්ට වටහා ගැනීමට නොහැකි විය. යුද්ධයෙන් පෑරුණු සිත් ඇති උතුරු නැගෙනහිර ජනතාව සංවර්ධනයෙන් පමණක් දිනා ගැනීමට මහින්ද රාජපක්‍ෂ දැරූ උත්සාහය ගඟට ඉනි කැපුවා මෙන් විය.

එල්.ටී.ටී.ඊ.ය යුද්ධයේදී කළ විනාශය ජනතාවට සිහිවීම සඳහා යුද්ධයේ නෂ්ටාවශේෂ තවමත් ආරක්‍ෂා කළ යුතු යැයි සිතන පිරිසක් ශ‍්‍රී ලංකාවේ ද සිටී. එය අතිශය ප‍්‍රතිගාමී අදහසකි. යුද්ධය යනු විනාශකාරී ක‍්‍රියාවලියකි. යුද්ධයක් අවසන්වීමෙන් පසු එම ක‍්‍රියාවලිය යළි සිහිගැන්වීමට එහි නෂ්ටාවශේෂ තබා ගැනීම නැවත එම ජන සමාජය තුළ සංහිදියාව ගොඩනැගීමට ඉමහත් බාධාවකි. එමනිසා, එවැනි නෂ්ටාවශේෂ පිරිසිදු කොට එම ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. යුද නෂ්ටාවශේෂවලින් යමක් තබාගත යුතුව ඇත්නම් එය යුද කෞතුකාගාරයක් පිහිටුවා තැන්පත් කළ යුතුය. යුද්ධයේදී විනාශ වුනු සියලු ස්ථාන නැවත ප්‍රතිසංස්කරණය කළ යුතුය. එසේම, සිවිල් යුද්ධයකදී, රටේ එම යුද්ධයට සහභාගී වී මිය ගිය සියලූ පාර්ශවවල සාමාජිකයින් හා ඝාතනය වූ අහිංසක සිවිල් වැසියන් සිහි කිරීම උදෙසා සිහිවටනයක් ගොඩනැගීම සංහිදියා ක‍්‍රියාවලියේ වැදගත් දෙයකි. අපේ ජන සමාජයට එවන් ඉතිහාසයක් ඇත. එදා, දුටුගැමුණු-එළාර යුද්ධයේදී එළාර නරපතියා මිය ගිය තැන ඔහුගේ සොහොන් කොත ඉදිකොට එම සොහොන ඉදිරියෙන් යන සෑම කෙනෙක්ම එයට ගෞරව කළ යුතු යැයි දුටුගැමුණු රජු රාජ ආඥාවක් නිකුත් කළේ ඒ නිසාය. ඒ තුළින් එදා ජන සමාජය තුළ සංහිදියාව ගොඩනැගීම උදෙසා දුටුගැමුණු රජු ඉමහත් සේවයක් කළේය. වර්තමානයේ ද එවැනි ක‍්‍රියාවලියකට රජය මැදිහත්ව කටයුතු කිරීම තුළින් සිත්පෑරුණු වේදනාවට පත් සියලූ ජනකොටස්වල සමගිය, සංහිදියාව ගොඩනැගිය හැකිය. එමනිසා උතුරු නැගෙනහිර පැවති යුද්ධයේ සියලු නෂ්ටාවශේෂ ඉවත් කොට එම ස්ථානයන් ප‍්‍රතිසංස්කරණය කිරීම වර්තමාන රජයේ වගකීමකි.Dove of peace

යුක්තිය, සාධාරණත්වය හා සංහිදියාව වෙනුවෙන් අද අප අරඹන වෙබ් අඩවියට සහයෝගය ලබා දී අප සමග දිගු ගමනකට එක්වන ලෙස ඒ සඳහා කැපවුනු සියලූ දෙනාට සහෝදරත්වයෙන් ඇරයුම් කරමි.